චේ ගුවේරාගේ දියණියට විජේවීරගේ පුතා හමුවූ මොහොත

  👤  8686 readers have read this article !
2017-11-19

ඉතිහාසය බොහෝ සිදුවීම් පෙළ ගස්වන්නේ ගැඹුරු එමෙන්ම විස්මිත ආකාරයටය. එම සිදුවීම් වනාහි අහඹු අනපේක්ෂිත සිදුවීම් වන්නේය. මේ සමඟ පළවන ඡායාරූපයෙන් ඔබ දකින්නේ එවැනි දෛවෝපගත හමුවීමකි. මෙහි - සිටින තරුණයා මෙරට ජනයා බොහෝසේ ආදරය කරන විප්ලවවාදියාවු ජවිපෙ නායක රෝහණ විජේවීරගේ පුත්‍රයාය. ඔහු සමඟ සමීප ඡායාරූපයේ පෙනී සිටින කාන්තාව ලොවම ආදරය කරන 20 වැනි සියවසේ ශේ‍ර්ෂ්ඨතම විප්ලවවාදී නායකයා වූ අර්නස්ටෝ චේ ගුවේරාගේ දියණියයි. ඇය කියුබාවේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකි. ඔහු රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍යයෙකි. ඔවුන්ගේ දෛවෝපගත හමුවීම සිදුවූයේ නොබෝදා රුසියාවේ මොස්කව් නගරයේ පැවැති ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේදීය.

අලෙයිඩා ගුවේරා උපන්නේ 1960 නොවැම්බර් 24 වැනි දිනය. කියුබානු නායක පිදෙල් කස්තේ‍රා් ඇතුළු නායකයන් සමඟ කියුබාවේ සමාජවාදී විප්ලවයට නායකත්වය දුන් ගරිල්ලා නායක චේ ගුවේරා 1959 කියුබානු විප්ලවය ජයග්‍රහණය කළේය. අලෙයිඩා උපදින විට චේ කියුබාවේ කර්මාන්ත ඇමැතිවරයා වූයේය. කියුබාවේ සමාජවාදය තහවුරු කිරීමෙන් පසු 1965 වසරේදී චේ සිය දරුවන්ද කියුබාවද අතහැර බොලීවියානු විප්ලවය දිනවනු පිණිස රහසිගතව පිටව ගියේය. ඔහු සිය සටන් සගයා වූ කියුබානු අගමැති පිදෙල් කස්තේ‍රා්ට තබා ගිය අවසන් ලිපියේ සඳහන් කර තිබුණේ "මගේ දරුවන් රැකබලා ගන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටින්නේ නැත. කියුබාවේ සෑම දරුවකුටම උදෑසන කිරි වීදුරුව මෙන්ම ආරක්ෂාවද සැලසෙන පරිදි අපි කියුබාව නිර්මාණය කර ඇති බැවිනි." යනුවෙනි.

බොලීවියාවේ හමුදා රජයට එරෙහිව ගරිල්ලා සටන් මෙහෙයවමින් සිටි චේ ඇමෙරිකානු ඛ්.ධ්.ඒ. සංවිධානයේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගනු ලැබ 1967 ඔක්තෝබර් 9දා බොලීවියාවේ ලා හිගුඒරා හිදී වෙඩිතබා ඝාතනය කරන ලදී.

අලෙයිඩා කියුබානු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරා ඇන්ගෝලාව, ඉක්වදෝරය, නිකරගුවාව යන රටවල වෛද්‍යවරියක වශයෙන් සේවය කර දැනට කියුබාවේ විලියම් සෝයර් ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.

රෝහණ විජේවීර ශ්‍රී ලංකා දේශපාලනය තුළ අර්ථ ගැන්වෙන්නේ චේගුවේරාගේ සමකාලීන අනුගාමිකයා ලෙසය. 1943 ජූලි 14දා ගන්දර කෝට්ටේගොඩ උපන් ඔහු 1959 කියුබානු විප්ලවයේ ආස්වාදය ලොවපුරා පැතිර යද්දී 1960 රුසියාවේ මොස්කව් නුවර ලුමුම්බා විශ්වවිද්‍යාලයට වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස ඇතුළු වන්නේය. චේගුවේරා රහසිගතව බොලීවියානු විප්ලවවාදී ව්‍යාපාරය ආරම්භ කළ 1965දී විජේවීර ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේය. 1967 චේගේ මරණය විජේවීරට සැලවෙන්නේ කිරින්දේ අධ්‍යාපන කඳවුරක පන්ති පවත්වමින් සිටියදීය. 1989 නොවැම්බර් 12 වැනිදා එවකට පැවැති එජාප රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රෝහණ විජේවීර පසුදින කොළඹ බොරැල්ල කනත්තේදී වෙඩිතබා ඝාතනය කළෙය.

උවිඳු විජේවීරගේත් අලෙයිඩා ගුවේරාගේත් හමුවීම දෛවෝපගත සිදුවීමක් වන්නේ ඉතිහාසය විසින් මෙවැනි මුණගැස්වීම් අතිශය දුලබ සංසිද්ධීන් වන නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon