‘ඉන්දීය හමුදා රටින් පිටව යා යුතුයි’ දිලීපන්ගේ මාරාන්තික උපවාසය

  👤  6734 readers have read this article !
2017-11-19

දිලීපන් උපවාසය පිළිබඳව කතා කළේ මහත් උදේ‍යාගයෙනි.
"දේශපාලන අංශයේ අයට සංවිධානයට කැපවීම පෙන්නන්නට අවස්ථාවක් මෙතෙක් ලැබුණෙ නෑ."
ඔහු පැවසුවේ රැස්ව සිටි තරුණ කාන්තාවන් ස්වල්ප දෙනා අමතමිනි.

"මේ මගේ අවස්ථාව. සර්ව ශුභවාදී ලෙස මං දකින්නේ මා මැරුණත් ජීවත් වුණත් මෙයින් අපට යම්කිසි දෙයක් ලැබේවි. ඉන්දියන් හමුදාවට රටින් පිටව යා යුතුයි කියන බලකිරීම අපි කළ යුතුම දෙයක්."

බොහෝ දෙනෙක් අතර වූ තරගයකින් මේ සඳහා ප්‍රභාකරන් විසින් දිලීපන් තෝරාගනු ලැබූ බව මම පසුව දැනගතිමි. කොටි සංවිධානය මඟින් මෙවැනි අවිහිංසාවාදී විරෝධතා තුළින් සාම ගිවිසුමට විරෝධය දැක්වීම මැනවැයි මට සිතිණි. එහෙත් දිලීපන් ඒ සඳහා තෝරා ගැනීම මට ගැටලුවක් විය. ඔහු එවැනි කාර්යයක් සඳහා ශරීර සෞඛ්‍යය අතින් ශක්තිවන්තයකු නොවූවා මෙන්ම එවැනි තත්ත්වයකට බිලි නොදිය යුතු තරමේ බුද්ධිමතෙක්ද වූයේය.

1987 සැප්තැම්බර් මාසයේ 15 වැනි දින දිලීපන් නල්ලූර් හින්දු කෝවිල අසල තම උපවාසය ආරම්භ කළේය. කළු සහ රතු ඉරි වැටුණු මගේ කර පටිය ගලවා දමා පාසල් නිල ඇඳුමින්ම මම එහි රාජකාරියට වාර්තා කළෙමි. ප්‍රභාකරන්ගේ උප ප්‍රධානියා වූ මහත්තයා විසින් දිලීපන් අදාළ වේදිකාව මතදී පිළිගන්නා අයුරු මම බලා සිටියෙමි.
ශිවගේ පුතණුවන් වූ මුරුගන් දෙවිඳුන් හට කැපවූ හින්දු කෝවිල් භූමිය හොඳින් ඉඩකඩ ඇති ස්ථානයකි. එහෙත් එහි ගස් වැල් වවා තිබුණේ අඩුවෙනි. එහි ප්‍රධාන ගේට්ටුවෙහි වූ ඔරලෝසු කණුව හින්දු දෙවිවරුන්ගේ විවිධ ඉරියව් සහිත කැටයම් වලින් සහ තවත් කුඩා පරිවාර කණු රාශියකින් අලංකාර කොට තිබිණි. කෝවිලේ පිටත බිත්ති රතු සහ සුදු පැහැති විශාල තීරු මතු වන සේ වර්ණ ගන්වා තිබිණි. යාපනයේ වූ වසර හත්සියයක් පැරැණි සුවිශේෂී පන්සලක් වූ නිසාවෙන්ම කොටි සංවිධානය උපවාසය සඳහා මෙම ස්ථානය තෝරා ගත්තා විය යුතුය.

දීර්ඝ කතා කිහිපයක්ම පැවැත්විණි. සුදු කමිසයකින් හා කළු දිග කලිසමකින් සැරසී සිටි දිලීපන් නියමිත ස්ථානයේ වාඩිවී රැස්ව සිටි ජනකායට සිනහවකින් සංග්‍රහ කළේය. ඔවුන් හට දිලීපන් දෙවියකු සේ හැඟෙනු ඇතැයි කොටි සංවිධානය අදහස් කළේය.

පැය අට බැගින් දින කිහිපයක්ම මම එහි සේවා මුරයෙහි නියුතු වූයෙමි. පාසල් යන බව හඟවා පුරුදු පරිදි බෑගයත් රැගෙන නිවෙසින් පිටවූ මම පාසල හමාර වන වේලාව දක්වා එහි රැස්වන ජනතාව පාලනය කළෙමි. මගේ පාසල් නොපැමිණීම පිළිබඳව ගුරුවරු මගෙන් වචනයකින් දෙකකින් විමසුවා විනා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට උත්සාහ කළේ නැත.

රැස්වන ජනකාය පාලනය කිරීම එතරම් අසීරු කාර්යයක් නොවූයේ ඔවුන් සන්සුන්ව හැසිරුණු බැවිනි. එනිසා මා බොහෝ විට කළේ දැවෙන හිරුට මුවාවෙන්නට සුදුසු තැනක බිත්තියට පිටදී රථ වාහනවලින් යනෙන පිරිස් දෙස බලා සිටීමය. අෑතට එපිට ගම්මානවල සිට පැමිණි සහයෝගය දක්වන්නවුන් නැවත නැවතත් වාදනය වෙමින් හදවතට ආමන්ත්‍රණය කරන ගීතවලටත් කතාවලටත් සවන් දෙමින් සිටියහ. මගේ දෑස නිතරම දිව ගියේ ඔවුන් අතරේ රොෂාන් හෝ අනෙකුත් යෙහෙළියන් දැකගන්නටය.
දිනක් මා රාජකාරිය නිමා කොට යන්නට පිටත් වත්ම මගේ නම සෙනඟ අතුරින් මතු විය. ඒ පිරිමි කඩහඬකිනි. හදිසියේම රොෂාන් මා ඉදිරිපිට පෙනී සිටියේය. වහා ඔහුගේ වම් අත මගේ බයිසිකලයේ අත් රඳවනය මත නතර විය. හුස්ම ගන්නට අමතක වූ නමුදු මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඔහු දැකීම මට සතුටක් වූ නමුදු මගේ සිත කිසියම් සාංකාවකින් පිරී ගියේය.

"ඇයි එදා පලාලි පාරෙදි මාව ගණනකටවත් නොගත්තේ?" රොෂාන් ඇසුවේය.
"මං ඔයාව දැක්කේ පරක්කු වෙලානේ."

මම ගොත ගසමින් කීවෙමි. එහෙත් මට වුවමනා වී තිබුණේ ඔහුට අන් යමක් පවසන්නටය.
"ආයෙ එහෙම ඒ විදියට පැනල යන්නෙ නෑ. ඇයි මට අයිතියක් නැද්ද ඔයාට කතා කරන්න? මං හිතා හිටියෙ ඔයාට මාව විශේෂ කෙනෙක් නේද කියලයි."
මගේ කුස තුළ රැලි මාලාවක් ඉපදී වහා මිය යනු මට දැනුණි.

මට ඔහු සුවිශේෂී වන්නේද? මම කල්පනා කළෙමි. සමහර විට ඔහු මා පිරික්සා බලන්නට උත්සාහ ගත්තා විය යුතුය.
ඔහු මගේ දෑසට එබී මොහොතක් බලා සිටියේය. මට දැනුණේ පුදුමාකාර නිහැ¾ඩියාවකි. වටාපිටාවේ සිටි මහ සෙනඟ නැඟූ හඬ කිසිත් අපට ඇසුණේ නැත. පසු බා යමින් සිටි චණ්ඩ සූර්ය රශ්මිය තුළ මා දුටුවේ ඔහුම පමණකි. මට ඇසුණේ මගේ හද ගැහෙන රාවය පමණකි.
අනතුරුව මම ඔහුගේ අලුත් ඇඳුම් කට්ටලයද, පාවහන්ද, කොට වන්නට කැපූ කොණ්ඩයද දුටුවෙමි. රැවුල බා හමාරව පැමිණි ඔහු වෙතින් කිසියම් සුවඳක්ද නික්මිණි.
"මොනවා වුණත් රොෂාන් අයියා ඔයා නම් අලුත් වෙලා" ඔහු සිනාසුණේය.

"ඔයා මොකද හිතන්නේ? සමහර වේලාවට කවුරු හරි කෙනෙක් එනවා ජීවිතේ අලුත් කරන්න."
ඔහුගේ කටහඬ හිටි හැටියේ බාල විය.
"මේ දවස්වල මට කන්ඩත් බෑ. නිදාගන්ඩවත් බෑ."
මා සිතුවේ දිලීපන් පිළිබඳවය.
"මටත් එහෙමයි."

"රෑ දවල් තිස්සේ මගේ මනෝ ලෝකේ ඉන්නේ ඔයා. වෙන දෙයක් ගැන මට හිතන්ඩවත් බෑ."
ඔහු කතා කළේ දිලීපන් පිළිබඳව නොවන බව මා තේරුම් නොගත්තා නොවේ.
"ඒ කිව්වේ?"
කිසිත් නොදන්නා සේ මම විමසුවෙමි.
ඔහු පිළිතුරක් නොදීම මදෙස බලා සිටියේය. ඔහු මා අසල සිටින හැම මොහොතකම අසාමාන්‍ය චකිතයකින් මගේ සිත පිරී ගියේය. ඒ සමඟම සතුටක්ද දැනුණි. අර පුදුමාකාර නිහැ¾ඩියාව නැවත වරක් අප දෙදෙනා අතරින් ගලා ගියේය.
"මං දැන් යන්ඩ ඕන."
මා එසේ කීවද සත්තකින්ම මට දැනුණේ ඔහු හැර යා නොහැකි බවකි. එහෙත් මට කළ හැකි වූ එකම දෙය එය විය. අප මෙලෙස කතා බහක යෙදී සිටීම අම්මා හෝ කොටි සංවිධානය හෝ කොහෙත්ම අනුමත කරන්නේ නැත.
"මං ඔයාව ආයෙත් කවදද දකින්නේ?"

මා බයිසිකලයට නඟිද්දී ඔහු මිමුනුවේය. "ඊට වඩා හොඳ දෙයක් නැද්ද ඔයාට කරන්නඩ."
"ව්‍යාපාරයෙ වැඩ ඇරුණම වෙන දෙයක් නෑ."
"මට ඔයාව දකින්ඩ ඕනෑ. ඒ කවදද කියන්ඩ."
මා පිටත්ව යද්දී ඔහු විමසනු ඇසිණි.
"දෛවයට වුවමනා දවසක."
මම කෑ ගසා පිළිතුරු දුනිමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon