මව්බිමට අභියෝගය මව්බිම පමණි

  👤  5490 readers have read this article !
2017-11-19

ඔබේ ආදරණීය පුවත්පත "මව්බිම" අද හත්වැනි වියට පා තබන්නීය. මේ ප්‍රීතිමත් මොහොතේ අපි ප්‍රථමයෙන්ම අපේ ඉදිරි ගමනට දායක වූ පාඨක සහෘදයන් වෙත හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමමු. අලුතින් පටන්ගත් නැවුම් පුවත්පතක් ඉතා කෙටි කලක් තුළ පාඨක ජනතාව විසින් පුවත්පත් අතර දෙවැනි ස්ථානයට ඔසවා තැබීම අසිරිමත් අත්දැකීමකි. අප ලද ජයග්‍රහණයෙහි රහස පාඨක ඔබ කෙරෙහි තැබූ විශ්වාසය මිස අනෙකක් නොවේ.

'මව්බිම' අද පා තබන්නේ සත්වැනි වියටය. අප කෙරෙහි උණුසුම් බලාපොරොත්තු තැබූ පාඨක ජනතාවක් සිටීම අපට ආඩම්බරයක් මෙන්ම ශක්තියක්ද වන්නේය. 'මව්බිම' උපත ලද්දේ බොහෝ දිගු ඉතිහාසයක් ඇති පරිණත පුවත්පත් කලාවක් පැවැති රටකය. අපි මුල සිට පටන් ගත්තෙමු. එය අලුත් පත්තරයකට අභියෝගයක් විය. ඉකුත් හය වසර තුළ අපි එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නෙමු.

අප 'මව්බිම' ඔබ අතට පත් කළේ තවත් පත්තරයක් කියූ පමණින් බොහෝ දෙනා නළල රැලි ගන්වන වටපිටාවකය. "පත්තරවලට දැන් වෙළෙඳපොළක් නැහැ.' 'නවීන තාක්ෂණය සන්නිවේදන ලෝකය හිමි කරගෙන හමාරයි' 'ලංකාවේ මිනිස්සු පත්තර කියවන්නෙ නෑ' 'අලුතෙන් පටන් ගත් පත්තර වැසී ගියා' වැනි පසුගාමී අදහස් මුල්බැස තිබූ කාලයක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් එකවර ජාතික පුවත්පත් දෙකක් පටන්ගෙන ඉහළට ඔසවා තබන්නට අප ආයතනය සමත් විය.
අප පුවත්පත් ලෝකය තරණය කළේ සුමට වටපිටාවක නොවේ. මාධ්‍ය ලෝකයේද මිතුරන් අඩු සතුරන් වැඩි පසුබිමකය.

අප ඉදිරිය කරා මෙහෙය වූ අධිශක්ති එන්නත වූයේ අලුත් පාඨකයකු හැඳින ගැනීම පිළිබඳව අප තුළ පැවැති අසීමිත විශ්වාසයයි. 'මව්බිම' සුවඳ විඳින පාඨකයා සිටින්නේ වියතුන් සභා මැදම පමණක් නොවේ. පොළොව කොටන තැන, පාර කණින තැන, කම්හලේ, ගොවිපොළේ, රන් දහදිය හෙළන මිනිසුන් අතද 'මව්බිම' රැඳෙන්නේය. අෑත පිටිසර හේනක රෑ පැල් රකින ගොවි තරුණයා අත, නගරයේ ත්‍රීවීලරය පදවන සොයුරන් අත, දවසේ මෙහෙවර අරඹන්නට දුම්රියේ, බස්රියේ නගරයට පැමිණෙන මගියා අත, ලංකාවේ කොතැන ගියත් 'මව්බිම' දකින්නට තිබීම ගැන අපි මහත් අභිමානයට පත්වෙමු.

අප මුල සිටම ඉලක්ක කළේ මිනිසුන් බලන පත්තරයක් නොව මිනිසුන් සතිය පුරා කියවන පත්තරයක් පාඨක ඔබ අතට පත් කරන්නටය. අපි එම අරමුණ දිනුවෙමු. සරසවි සිසු පරපුරද, "රැඩිකල් යං ජෙනරේෂන්" එකද අද 'මව්බිම' ළබැඳි සහෘදයන්ය. ලංකාවේ අක්ක නඟෝ නෑනලා, අයිය මලෝ බෑනලා කියවන පවුලේ පත්තරය 'මව්බිම'ය.
පන්සලේ නායක හාමුදුරුවන්ගේ සංඝාවාසයේත්, ටවුමේ ගුණෙ අයියාගේ බජව් දාන කාමරේත් 'මව්බිම' තිබේ. එයයි පුවත්පත් කලාවේ අප ඇති කළ වෙනස. සාම්ප්‍රදායික පුවත්පත් රටාවෙන් පිටමං කර සිටි පිටස්තරයා 'මව්බිම' හොඳම පාඨකයා බවට පත් කරන්නට අපි සමත් වීමු.

පන්හිඳ අතැඟිලි අතර රැඳවූ ලේඛකයාත් දුර කතරක සිටින පාඨකයාත් ඔවුනොවුන් හමුවන පත්තර කලාවක් තනන්නට අපි වෙහෙසුණෙමු. ඒ වෙනුවෙන් ගෙවී ගිය හය වසර පුරා 'මව්බිම' පාර දිගේ ගිය දුර කිලෝමීටර් ලක්ෂ තුන ඉක්ම වන්නේය. අනුකරණය, කොපි කිරීම වෙනුවට නිර්මාණශීලී අලුත් පත්තර කලාවක් අපි රටට හඳුන්වා දුන්නෙමු.
සොරා, අපරාධකාරයා මුද්දරයක් වැනි පුංචි ඡායාරූපයක සඟවනවා වෙනුවට පිටුව පුරා දූෂිතයාගේ මුහුණ පත්තරයේ පළකොට ජනතාවට ඔහු හඳුනා ගන්නට ඉඩ දෙන්නට අපි බිය නොවූයෙමු. ජනතාවට වසන් කරන්නට කිසිවක් අපට නැත. අප රටට හඳුන්වා දුන් පුවත්පත් පිටු සැකසුම් කලාව සන්නිවේදන ලෝකයේ විසල් විප්ලවයක් වූයේය. පැවැති පත්තර අතරට බෝම්බයක් දැම්මා බඳු විය. අපට සමච්චලයෙන් සිනාසුණු මහත්වරු දැන් අපවම අනුකරණය කරති.

'මව්බිම' භාවිත සරල සුගම බස් වහරටද ආරම්භයේදී චෝදනා එල්ල විය. අපි පොඩි මිනිසාට තේරෙන ඔහුගේම බසින් ලියන්නට හුරු වුණෙමු. සම්මත රටාව බින්දා යැයි බොහෝ වියතුන් උදහස් විය. සිංහලය ජීවමාන බසෙකි. අලුත් යෙදුම් දිනපතාම බසට එක්වෙයි. අපි සජීවී සරල බසින් සිරැසි, උප සිරැසි යෙදුවෙමු.
'මව්බිම' දේශපාලනය පිළිබඳව ඇතැමුන්ට ප්‍රශ්න තිබිය හැකිය. අදින් හය වසරකට පෙර 'මව්බිම' මංගල කලාපය ඔබට සහතික වූවා සේම අපට පක්ෂයක් පාටක් නැත. අප සිටින්නේ ජනතාවගේ පැත්තේය. අප විදින්නට ඕනෑ තැනට හරියටම හීය විදිනා බව අපේ පාඨකයෝ දනිති.

සිසු සටන්, කම්කරු, බහුජන අරගල කොතැන වීද අපි එතැන ඔබ සමඟ සිටියෙමු. අරණායක සාමසර කන්දේ, පස්සර මීරියබැද්දේ සොබා දම් දිනිතිය උරණ වූ තැන්හි 24 පැය රැඳෙමින් අපි ජනතා දුක් කඳුළු රට හමුවේ තැබුවෙමු. රටට මරු කැඳවූ ඩෙංගු වසංගතයේදී අපි පත්තරය මදුරු නාශකයක් කළෙමු. පැඟිරි මිශ්‍ර පුවත්පතක් මුද්‍රණය කර අපි කළ විප්ලවය මයිකේ‍රාසොෆ්ට් සභාපති බිල් ගේට්ස්ද අගය කිරීමෙන් අපට ජාත්‍යන්තර කීර්තියක්ද අත්විය.
ගෙවුණු සය වසර තුළ රට තුළ සිදුවූ ඕනෑම අපකීර්තිමත් සිදුවීමකදී අපි මහජන අපේක්ෂා දැන හැඳින ඒ උදෙසා පෙනී සිටියෙමු. අප පසු පස ලුහුබැඳි නඩුහබවලට බියෙන් 'මව්බිම' ජාතික පුවත්පතක වගකීම අත්හළේ නැත.

පැරණි ග්‍රැමෆෝන් තැටිවල ඩඪඵ ථචඵබඥප මධඪජඥ ඔහුගේ ස්වාමියාගේ හඬ යනුවෙන් ලේබලයක් තිබිණි. මාධ්‍යය තුළ නිරූපණය වනුයේ එය හිමි හාම්පුතාගේ හඬ යැයි උපකල්පනයක් පවතී. එහෙත් 'මව්බිම' අපට එය අදාළ නොවීය. අපේ පන්හිඳට කිසි විටෙක තහංචි වැටුණේ නැත. ජනතාව වෙනුවෙන්, ජනතාව උදෙසා ලියනතාක් කල් අපට කිසිදු බාධාවක් එල්ල නොවන බවට සහතිකයක් අපට තිබේ.

බිතු සිතුවම් රූ මෙන් සිටි ඇතැමුන් අපට පිටුපා යනවිට අපට ශක්තියක් වූ පාඨක සමූහයා අප අත අත්නොහරිනවාය යන විශ්වාසය ඇතිව අපි හත්වැනි වසර අරඹන්නෙමු. දිනන ජය කණුව ආසන්නයේ අපි සිටිමු. 'මව්බිම' හෙට දවස හැම අතින්ම සුබවාදී වනු ඇත. අපට ශක්තිය දුන් ඔබට ජය.

අද මව්‍බිමෙන්

තවදුරටත්