නාමල් අනුරපුර වේදිකාවෙන් බැහැලා ගියේ ඇයි ?

  👤  7731 readers have read this article !
2017-11-19

සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි වකවානුවේ සිටම මෛත්‍රි ජාතික දියවැඩියා දින පා ගමනට එක්වීම නොකඩවාම සිදු කළේය. ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් වන පා ගමන මෙවර ගාලු මුව‍ෙදාර ප්‍රදේශයේදී පැවැත්වුණු අතර මෛත්‍රි මෙවර ඊට සහභාගි වුණේ අඛණ්ඩව නව වැනි වතාවටය. මෙහිදී කතා කළ මෛත්‍රි කීවේ පැණි බීම බද්ද අධික ලෙස සීනි යෙදූ කිරි පැකැට්ටුවටද දැමියුතු බවය. මෙම කිරි පැකට් භාවිතයෙන් ළමයින් මුදාගැනීමට රටවටා යන්න තමන් සූදානම් බවද ඔහු කීය.

නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදිකළ, මාලිගාවත්ත 'ලක්සෙත සෙවණ' මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට මෛත්‍රි එක් වූ අතර කොළොන්නාවේ ඉදිකළ ලක්සඳ නිවාස යෝජනා ක්‍රමයද ජනාධිපතිතුමා අතින් පසුගියදා ජනතා අයිතියට පත්විණි.
මේ ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ එක පවුලක් රජ කරවන්න නොව හැම පවුලක්ම රජ කරවන්නයි.
එහිදී මෛත්‍රි කීය.

'මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා මේ රටේ ගෞරවය හා කීර්තිය ජාත්‍යන්තරයට ගෙන ගිය යුග පුරුෂයකු බවත් බොහෝ දෙනා අද තානාපති තනතුරු ඉල්ලන්නේ රටට වැඩ කිරීමට නොව විවේකයෙන් සිටීමට බවත් මලලසේකර මහතාගේ චරිතය ඒ අතින් ආදර්ශවත් එකක් බවත් මෛත්‍රි කීවේ, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ගුණ සැමරුමට එක්වෙමින්ය.

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පෙරේදා සහභාගි වූ මෛත්‍රි ඉන් පසුව ගියේ මල්වතු මහා විහාරයටය. ආගමික වතාවත්වලින් පසුව ජනාධිපතිතුමා මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූ හෙතෙම ඉන් පසුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය වෙත පැමිණ ශාස්ත්‍රපති පණ්ඩිත වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියේය.
කොළඹ ගාලුමුව‍ෙදාර ඉදිකළ ෂැංග්‍රිලා හෝටලය ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල්ගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (16දා) පෙරවරුවේ විවෘත කෙරිණි. මෙම උත්සවය චීන සහ ශ්‍රී ලංකා සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍ර වූ අතර ගෞරවනීය ආරාධිතයා වශයෙන් අගමැති රනිල් ද ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රි ද පැමිණීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

තරු පන්තියේ මෙම හෝටල් මඟින් සංචාරකයන්ට සුඛෝපභෝගී පහසුකම් සහ සේවා පිරිනමන අතර ෂැන්ග්‍රිලා හෝටල් ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ෆිජී, ප්‍රංශය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මුරුසිය, මොන්ගෝලියාව, මියන්මාරය, පිලිපීනය, කටාර්, සිංගප්පූර්ව, ශ්‍රී ලංකාව, ඕමානය, තායිවානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, එංගලන්තය යන රටවල පිහිටා ඇත.
අය-වැයෙන් පසු මුල්ම කැබිනට් හමුව අඟහරුවාදා පැවැත්විණි. ඒ උණුසුමත් එක්ක ආරම්භ වූ කැබිනට් හමුවේ මුල්ම කතාබහ පටන් ගත්තේ, මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ය.
"අය - වැයෙන්, විදේශීය නෞකා සමාගම්වලට ඉඩ ලබාදීම හොඳ දෙයක්. ඒක නරක නෑ. හැබැයි, අපගේ දේශීය නෞකා සමාගම්වලට ආසාධාරණයක් සිදුනොවිය යුතුයි."
මහින්ද කීවේය.

"නෑ. අපිට අසාධාරණයක් වෙන්නේ නෑ. අපි මේ යෝජනාව ගෙනාවේ මෙරට නාවික වෙළෙ¼දාම ශක්තිමත් කරන්න. ඒකෙන් ආයෝජනයක් ලංකාවට එනවා." මංගල සමරවීර කීවේය.
"ඒත්, මේ යෝජනා සංශෝධනය වෙන්න ඕනෑ. නැත්නම් ලොකු අර්බුදයකට යනවා."

මහින්ද නැවත කීවේය.
"කලබල වෙන්න දෙයක් නෑ... මෙරට නැව් සමාගම් හා විදේශීය නාවික ඒජන්තවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය කටයුතු අප ක්‍රියාත්මක කරන්නවා." මංගල උත්තර දුන්නේය.
"මේක මගේ විෂයටත් අදාළයි. ඒකයි මම කියන්නේ. ටිකක් මගෙනුත් ඇහුවානම් වටිනවා." මහින්ද එවර කීවේ තරමක් නොසන්සුන්වය.
ඒ අතරේ කතාබහට අගමැති රනිල්ද එක්විය.

"මේ යෝජනාව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම" රනිල් පැවැසීය.
ඒ කතාබහ නිමාවුණේ තවත් උණුසුම් මාතෘකාවකට පාර කපමිනි. දින ගණනාවක් තිස්සේ පැවැති තෙල් අර්බුදය නිමාවුවද කතාබහ නිමාවක් නැත. වරක් විෂය භාර අර්ජුන කීවේ බාල තෙල් නැව භාරගැන්නැයි තමාට දේශපාලන බලපෑම් ආව බවය.

"එහෙම බලපෑම් කළේ කවුද කියලා ප්‍රසිද්ධියේ කියන්න." දයාසිරි අර්ජුනට කීවේය. කොහොමත් අර්ජුන සහ දයාසිරි ඉන්නේ විරසකයකය.
"කාටවත් බොරුවට වැරැදි පටවන්න ඕන නැහැ. මතුවී තිබෙන අසත්‍ය ප්‍රචාර නිවැරැදි කරන්නටයි මා උත්සාහ කරන්නේ." අර්ජුන පැවැසීය.
"නෑ. ඔබතුමා පුවත්පත් සාකච්ඡාවකදී අයි.ඕ.සී. සමාගම මෙරටට ගෙන් වූ බාල ඉන්ධන නෞකාව, රට තුළට භාරගන්නා ලෙස අමාත්‍යවරුන් දෙදෙනකු තමාට බලපෑම් කළ බවට ප්‍රකාශ කරලා තිබ්බා."
දයාසිරි කීය.

"ඛනිජ තෙල් කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරුන් තිදෙනකු වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන තිදෙනාද මෙහිදී අර්ජුනගෙන් දැඩිව විමසා සිටියේ අදාළ අමාත්‍යවරුන්ගේ නම් හෙළිදරව් කරන ලෙසිනි.

"ඔය නම් හෙළි කරන්න. නැතිනම් අපි ගැනත් ජනතාව සැක සිතාවි." චන්දිම සඳහන් කළේය.
අමාත්‍යවරුන් පිරිස දිගින් දිගටම අර්ජුන රණතුංග මහතාගෙන් කළ මෙම ප්‍රශ්න කිරීම් හමුවේ කැබිනට් මණ්ඩල රැස්වීම වඩාත් උණුසුම් විය.
මෙම ප්‍රශ්න කිරීම හමුවේ අවසානයේදී අර්ජුන රණතුංග මහතා කියා සිටියේ තමා එවැනි නම් පිළිබඳව මාධ්‍ය වෙත හෙළි නොකළ බවක්ය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම රත්වුණේ සාගල නිසාය. ඔහු එහිදී විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ සහ සිදුකරනු ලබන විමර්ශන පිළිබඳවය.
'බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට විමර්ශන සඳහා ලේඛනගත කර ඇති මුළු විමර්ශන සංඛ්‍යාව 370ක් වෙනවා. ඒ අතරින් ලිපිගොනු 73ක් වෙනත් ආයතනවල විමර්ශන සඳහා යොමුකරලා තියෙනවා. ලිපිගොනු 93ක් නීතිපති උපදෙස් සඳහා යොමු කරලා තිබෙනවා. නමුත් නඩු පවරා ඇති විමර්ශන සංඛ්‍යාව 13ක් පමණයි.'
සාගල එහෙම කියද්දී කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෝ තුෂ්ණිම්භූත වූහ.
'එහෙම වන්නේ කොහොමද? සියලු දෙනාම පාහේ සාගලගෙන් ප්‍රශ්න කළහ.

'ඒ විමර්ශන ප්‍රමාදයට වගකිව යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නෙවෙයි. ඊට වගකිව යුතු එකම ආයතනය නීතිපති දෙපාර්තමේන්තුවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය ගැටලුවක් නමුත් එහි රාජකාරි කරන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලුවක් ඇතැයි සාගල කියද්දී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සාගලට සහාය දක්වමින් සාගල කී කතාව තහවුරු කළේය.

තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධි පිළිබඳ පරීක්ෂණ අවසන් මට්ටමක තිබුණත් එම සිද්ධිවලට අදාළ තීරණාත්මක සාක්ෂි ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාමාර්ග නිසාවෙන් හෙළි නොවෙන බවත් බි්‍රතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන් බවට පැවැසෙන හිටපු අධීක්ෂණ මන්ත්‍රි සජින්ද වාස් ගුණවර්ධන සම්බන්ධ විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවේදී අතුරුදන්ව ඇතැයි සාගල පවසද්දී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කියා සිටියේ මේ සියලු තොරතුරු රටේ ජනතාවට පැවැසිය යුතු බවත් ඒ සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බවත්ය.

එවිට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල ප්‍රකාශ කළේ එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවහොත් නීතිපති දෙපාර්තමේන්තුවට ගැටලුවක් විය හැකි බවයි. නමුත් එවිට එජාප ජේ‍යෂ්ඨයන් පිරිසක් ප්‍රකාශ කෙළේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවාහොත් නීතිපති දෙපාර්තමේන්තුවට ගැටලුවක් විය හැකි නමුත් එය නොපැවැත්වුවහොත් සමස්ත රජයටම ගැටලුවක් විය හැකි බවයි.

එසේම එහිදී සාගල ප්‍රකාශ කෙළේ දූෂණ වංචා පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ හා ඊට අදාළ නඩු පැවැරීම් පිළිබඳ ප්‍රගතිය මාසිකව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ තමා ඇතුළත් අනුකමිටුවක් පත් කළ යුතු බවයි.
ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික කැමැත්ත හිමි වූ අතර අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, නීතිඥ නිශ්ශංක නානායක්කාර ඇතුළු පස්දෙනකු එම කමිටුවට පත් කිරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟවිය.

අගමැති රනිල් බ්‍රහස්පතින්දා කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවේ අය - වැය විවාදයට එක්වීමටය.
'කොහොමද ඊයේ එජාප කෘත්‍යාධිකාරී රැස්වීම' කාර්යාලයට ඇතුළු වෙන ගමන් රනිල් අසල සිටි කිරිඇල්ලගෙන් ඇසුවේය.
'ගිය රජයේ වැරැදි කළ අයට දඬුවම් පමා බවට ජනතාව වගේම අපේ මැති ඇමැතිවරු අතරත් තියෙන අදහසට කෘත්‍යාධිකාරියේදී පිළිතුරු ලැබීම වටිනවා' කිරිඇල්ල කීවේය.
පොලිසිය නීතිපතිට යවපු ෆයිල් 92න් නඩු දාලා තියෙනනේ 13කට විතරයි යැයි මෙතැනදී එළිවීම වටිනවා' දයා ගමගේ කතාබහට එක්විය.
'අලුතින් මහාධිකරණ හා අලුතින් විනිශ්චයකාරවරු දාල මේක කරන්න වෙනවා. නැතිනම් මේ යන විදියට ගියොත් මේ නඩු ටික විතරක් අහන්න තව අවුරුදු 8-10ක් වත් යාවි' රනිල් කීය.

'නඩු පමාව ගැන අගමැතිතුමා වාර්තාවක් කැඳවීම වටිනවා. සාගලගෙනුත් සාධාරණ උත්තර ලැබුණා. තවත් කාලය ගත නොකර මේවා අහන ඉක්මන් ක්‍රමවේදය පවා ඉක්මන් කිරීමට කෘත්‍යාධිකාරිය ගත්ත තීන්දුව වටිනවා.'
කෘත්‍යාධිකාරියේදී ඇතිවූ ඇත්ත පසුබිම රටේ ජනතාවටත් ඉක්මනින්
ගෙනියන්න ඕනෑ. ඒක අපේ වගකීමක්' කිරිඇල්ල කීවේය.

මේ වන විට අගමැති රනිල්ට බැඳුම්කර කොමිසමෙන් කැඳවීමක් ලැබී තිබේ. ඒ අනුව හෙතෙම සඳුදා සාක්ෂි දීමට යෑමට නියමිතය.
'අගමැතිතුමා බැඳුම්කර කොමිසමට ගෙන්නනකම් සමහරුන්ට නින්ද යන්නෙ නෑ' කිරිඇල්ල කීවේය.

'එයාල මගෙන් අහල එවපු ප්‍රශ්නවලට මම උත්තර යැව්වා. කොමිසමටත් මම යනවා. මට ඉඩ තියෙන දින කීපයක් කොමිසමට මම යෝජනා කරලත් යැව්වා' රනිල් කීවේය.
"කොමිසමේ වැඩ දෙසැම්බර් 8 ඉවරයි. එතකන් අගමැතිතුමාට රිවස් යන්න කියල යෝජනාවක් ආවා කියලා කතාවක් පැතිරෙනවා. ඇත්තද ඒක' කිරිඇල්ල විමසීය.
'නෑ කවුරුත් මට එහෙම කියලා නෑ. පැතිරෙන මේ කතාව ගැන ඇහුවම ජනාධිපතිතුමාත් කීප දෙනකුට බැනල කියල මට ආරංචියි' කීවේය.

අය - වැයට පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව පසුගිය සිකුරාදා (10දා) පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදීය. ඒ නිසාම කතාබහ ආරම්භ වුණේ අය - වැය මාතෘකාව කොටගෙනය. "මේ අය - වැයෙන් ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලිව පේනවා. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ජනතාව ගැන හිතලා හදපු අය - වැයක් නෙවෙයි" මහින්ද කීවේය.
"ආරංචියක් තියෙනවා ආණ්ඩුව ආයෙත් පාරක් පළාත් පාලන ඡන්දය කල්දාන්න සැලසුම් කරනවා කියලා. සිසිර ජයකොඩි අලුත්ම ආරංචියක් ගෙන ආවේය.
"ආණ්ඩුවට ඡන්ද කිව්වම කකුල් වෙවුලන්න ගන්නවා. මිනිසුන්ට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න බැරිව ඉන්න කොට කොහොමද ඡන්දයකට යන්නේ..? ප්‍රසන්න ඇසුවේය. බරසාර කතාබහ අතර මහින්ද එක විටම එතැන සිටි අයකුට කතා කළේය.
"කෝ අර කේක් එක ගේන්න"
හැමෝම පුදුමයෙන් බලා සිටියදී තරමක විශාල කේක් තසිමක් මේසයට ලැබිණි.
"ඇයි සර් මේ හදිසියේ කේක්..?"

රංජිත් සොයිසා නොදන්න ගානට ඇසුවේය.
"දන්නේ නැද්ද, බර්ත් ඩේ ගර්ල් මෙයානේ"
මහින්ද පවිත්‍රා පෙන්වමින් කීවේය.
කේක් ගෙඩිය ගෙනැවිත් තිබෙන්නේ තමන්ගේ උපන්දිනය නිමිත්තෙන් බව පවිත්‍රා දැනගත්තේ මහින්ද එසේ කියද්දීය. පුදුමයත් සතුටත් පිරීගිය සිතින් පවිත්‍රා කේක් ගෙඩිය කපන්නට වූවාය.

"දැන් කීයද පවිත්‍රා වයස..? විස්සද, තිහද, හතළිහද..?
මහින්ද ඇසුවේ පවිත්‍රා කේක් කපනකොටය.
"අනේ සර් ගෑනු අයගෙන් වයස අහන්න හොඳ නැහැනේ"
පවිත්‍රා සිනාසෙමින් කීවාය.
"කාටද මුල්ම කෑල්ල කවන්නේ බලමු"

ප්‍රසන්න එහෙම කීය.
"මගේ දිස්ත්‍රික්කයේ ඉන්න ජේ‍යෂ්ඨයාට තමයි මම මුලින්ම කේක් කවන්නේ"
වටපිට බැලූ පවිත්‍රා පළමු කේක් කැබැල්ල කැව්වේ වාසුටය. අනතුරුව අසල සිටි රංජිත් සොයිසාටද පවිත්‍රා කේක්ද කැව්වාය. ඒ අතර අනෙක් මන්ත්‍රිවරුන් කෑගසන්නට වූයේ "කෝ මහින්ද මහත්තයාට කේක්" කියමිනි.
වෙනම කේක් කැබැල්ලක් ගත් පවිත්‍රා පීරිසියක තබා එය දෝතින්ම මහින්දට පිළිගැන්වූවාය. "කෝ මහින්ද මහත්තයාට කවන්නේ නැද්ද..? මන්ත්‍රිවරු ඇසූහ. "මගේ හිතේ තියෙන ගෞරවයේ හැටියට මට සර්ට කේක් කවන්න බැහැ" පවිත්‍රා කීවාය.

උපන්දින සාදය අතරේ මහින්ද නැවතත් මැතිවරණය ගැන කතාවට යොමුවිය. "ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කරන ආකාරය ගැන මට විවිධ යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනවා. පසුගිය මැතිවරණයේදී අපි නිහතමානීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවා. ඒකෙන් වෙච්ච දේවල් තමුන්නාන්සේලා දන්නවා. අපි මේ පාර තීන්දුවක් ගන්න ඕනේ අපේ මන්ත්‍රි කණ්ඩායම රැස්කරවලා බවයි මම නම් හිතන්නේ" මහින්ද පැවැසීය. මහින්දගේ කතාවට පක්ෂ නායකයන්ගේ අනුමැතිය ලැබිණි.
මේ දිනවල අනුරාධපුරයට අනෝරා වැසි වැටේ. ඒ නිසා නිතරම අහස කළුවෙලාය. එළැඹෙන පළාත් පාලන මැතිවරණය සිහිතබාගෙන ඒකාබද්ධ විපක්ෂය සිය රැලිය සඳහා තෝරාගෙන තිබුණේ අනුරාධපුර සල්ගාදු
ක්‍රීඩාංගණයය. සල්ගාදු ක්‍රීඩාංගණය යනු අනුරාධපුරයේ විශාලතම
ක්‍රීඩාංගණයය. රැලියේ සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටියේ රෝහිත,

එස්.එම්. චන්ද්‍රසේන, එස්.එම්.රංජිත් සහ ෂෙහාන් සේමසිංහ වැනි මන්ත්‍රිවරුය. රැලිය සාර්ථකව අවසන් කරගන්නට අවස්ථාව ලැබෙන්නට කියා බාරයක් වීමටද සංවිධායකයන් කටයුතු කර තිබිණි. රැලියේ මෙහෙයුම් කටයුතු භාරව සිටි රෝහිත සියලු ග්‍රාමසේවා වසම් නියෝජනය වන පරිදි සාකච්ඡා පවත්වමින් විශාල වෙහෙසක් ගනිමින් සිටියේ කිසිවකට නොදෙවැනි දැවැන්ත රැලියක් පැවැත්වීමේ අරමුණ ඇතිවය.

සෙනසුරාදා මහින්ද අනුරාධපුරයට ආව අතර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රිවරුන්, පළාත් පාලන හිටපු නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මහින්ද හමුවීමට පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුද එදින සිටියේ අනුරාධපුරයේය. රැලිය ගැන අවධානය යොමු කරන අතරේ මහින්ද පක්ෂයේ වත්මන් තත්ත්වය ගැනද කතා කළේය. ඉරිදා උදෑසනම ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගත් මහින්ද අනතුරුව ගියේ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්නටය. "බෙදෙන්නට ගිය රට එකතු කළේ සර්. ඒ හින්දා මේ පාරත් මේකෙන් රට බේරා ගන්න පුළුවනුත් සර්ටම විතරයි, රුවන්වැලි සෑය වන්දනා කරන්නට ආ බැතිමතුන් මහින්දට කීය.
"මම ඉන්නකම් මේ රට බෙදන්න ඉඩ තියන්නේ නැහැ"

මහින්ද ඔවුන් සනසවමින් පැවැසීය.
රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමෙන් අනතුරුව මිරිසවැටිය චෛත්‍යයටත් එතැනින් ජයන්ති විහාරයටත් ගිය මහින්ද ජයන්ති විහාරයේ ඉදිකෙරුණු කේ.බී. රත්නායක අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.
"ඔබතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළේ. අද නිදහස් පාක්ෂිකයෝ ඉන්නේ ඔබතුමා සමඟයි. ඔබතුමාට වරදින්නේ නැහැ" විහාරාධිපති හිමියෝ මහින්දට කීහ.
අනුරාධපුරයේ රැස්වීම ආරම්භ කෙරුණේ සවස දෙකටය. සවස දෙක වනවිටම සල්ගාදු ක්‍රීඩාංගණයට විශාල සෙනඟක් පැමිණ සිටියහ. එතෙක් දිනක් අනුරාධපුරයට ඇදහැලුණු වර්ෂාව එදින නතර වී තිබිණි.

රැස්වීමට පෙර දිනයේ රෝහිත සහ එස්.එම්. ඇමතූ පවිත්‍රා කියා තිබුණේ රැලියේ කාන්තාවන් වෙනුවෙන් වෙන් කෙරෙන කතාව ගීතාට දෙන්න කියාය. මේ වෙලාවේ රැලිය අමතන්නට සුදුසු හොඳම කාන්තාව ගීතා බවත් පවිත්‍රා මන්ත්‍රිවරුන් දෙදෙනාටම කීවාය.
එහෙත් රැලිය ආරම්භ කළ පසුවවත් ගීතා පැමිණ සිටියේ නැත. වහාම පවිත්‍රා ඇමතූ රෝහිත "ඔයා කොහෙද ඉන්නේ" ඇසුවේය.
"මම මේ එන ගමන්" පවිත්‍රා කීවාය.

"ගීතා ඇවිත් නැහැ. දැන් කතාවටත් වෙලාව හරි, ඔයා ඉක්මනට එන්න" රෝහිත පැවැසීය.
කඩිමුඩියේ රැස්වීමට පැමිණි පවිත්‍රා ඒ වනවිටත් නියමිත වෙලාව උදාවී තිබුණු නිසා ජනතාව ඇමතුවාය. ඒ අතරතුර ගීතාද රැස්වීමට පැමිණි නිසා ගීතාටද කතාවක් දීමට රෝහිතට සිදුවිය. අන්තිමේදී කාන්තාවන් දෙදෙනකුටම රැලිය ඇමතීමේ අවස්ථාව හිමිවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බවට තැන තැන පැතිරුණු කතාබහවලට තිත තබමින් මහින්ද රැලියේදී ජනතාවට කීවේ නැවත වරක් රැවටීමට තමන් සූදානම් නැති බවය.

අනුරාධපුර රැස්වීම අතරවාරයේ වේදිකාවේ මහින්දට පිටුපසින් සිටි නාමල් මහින්ද අසලට කිට්ටු වී යමක් කීවේය. ඒ අවස්ථාවේ ඡායාරූපය මාධ්‍යවල කතාබහක් ඇති කරන්නට සමත් විය.
"තාත්තේ මම තංගල්ලේ යන්නද..?"
නාමල් ඇසුවේය.

"ඒ මොකෝ..?"
මහින්ද නාමල් දෙසට නැඹුරුව ඇසුවේය.
"අද ප්‍රසන්නලා උසාවි ගේනවා"
මහින්ද ක්ෂණිකවම නාමල්ට පිටව යෑමට අවසර දුන්නේය.
රිමාන්ඩ් භාරයේ සිටින සියලුදෙනා නිදහස් කර ගැනීමට කටයුතු කළද මුලින් ඇප ලැබීමට නියමිතව තිබුණේ දෙදෙනකුට පමණි. එහෙත් පොලිසිය විසින් චෝදනා ගොනුකර නොමැති බව කියමින් තර්ක කළ විත්තියේ නීතිඥයන්ගේ ඉල්ලීමට කන්දුන් මහෙස්ත්‍රාත්වරයා සියලුදෙනාට ඇප නියම කළේය.
ඇප ලැබුණු රණවීර, අජිත්, ප්‍රසන්න ඇතුළු පිරිස හම්බන්තොටදී
උද්ඝෝෂණයකට එක් වූහ.

කවුරුන් විශ්වාස කළත් නොකළත් දැන් ශ්‍රී ලනිපය දෙකඩ වෙලා තිබේ. දෙපිරිස වෙන වෙනම එන මැතිවරණයට තරග කරන්නට කඳවුරු බඳිමින් සිටී. නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන්ට පණිවුඩ පිට පණිවුඩ එවමින් එක්ව තරග කිරීමට දැඩි උත්සාහයක් දැරූහ.
ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ තීරණාත්මක හමුවක් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදී මන්ත්‍රිවරුන් ඇමතූ මහින්ද අනුරාධපුරය රැලිය සාර්ථක කරගැනීමට දැක්වූ දායකත්වය ගැන ස්තූතිය පළ කළේය.
දවසේ වැදගත්ම කතාබහ ආරම්භ කෙරුණේ ඉන් පසුවය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යොමු කෙරෙන ඉල්ලීම් ගැන එහිදී අදහස් දැක්විණි.

"මටත් කිහිපදෙනෙක්ම යෝජනා, ඉල්ලීම් ඉදිරිපත් කළා. සුසිලුත් මේ ගැන ඇහුවා. මම සුසිල්ටත් එන්න කිව්වා" කී මහින්ද "සුසිල්ට එන්න කියන්න" කීවේය.
මහින්දගේ ඉල්ලීම පරිදි ඒ වනවිටත් රැස්වීමෙන් පිටත සිටි සුසිල්ව කැ¼දවාගෙන ආවේ පවිත්‍රා සහ පියංකර ජයරත්නය. සුසිල් පැමිණ අසුන් ගත් පසු මහින්ද කීවේ "සුසිල් අපිට විවිධ යෝජනා එනවා. හැබැයි මේ මන්ත්‍රිවරුන්ගේ නම් වැඩි කැමැත්තක් නැහැ ඒකට" කියාය.

සුසිල් වැඩේ අත්හැරියේ නැත. ඔහුට ඕන වුණේ පක්ෂ එකතු කරන්නටය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කළේය. පළමුවැන්න වූයේ පොදුජන එක්සත් පෙරමුණ සක්‍රිය කර තරග වැදීමය. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පකෂයත් ඒකාබද්ධ විපක්ෂයත් තමන්ට වාසිසහගත කොට්ඨාස වෙන වෙනම බෙදාගෙන තරග වැදීමය. තුන්වැන්න සියලු දෙනා එකතු වී නිදහස් පක්ෂය යටතේ තරග කිරීමය. සුසිල්ගේ යෝජනාවලට මුලින්ම විරුද්ධ වුණේ ප්‍රසන්නය.
"මම නම් ඔය යෝජනාවලට පෞද්ගලිකවම විරුද්ධයි. අපි

පක්ෂයට කොන්දේසි හතක් ඉදිරිපත් කළා. ඒ ගැන කතාවක්වත් නැහැ. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියලයි. එහෙම නැතිව අපි එකතු වුණොත් ගම්වල අපිට ලැබෙන්න තියෙන ඡන්දත් නැතිව යයි" ප්‍රසන්න කීවේය.
"එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඇත්තටම සටන් කරන්නේ ඒකාබද්ධයේ ඉන්න අපියි. ආණ්ඩුවේ ඉන්න පාර්ශ්වයක් සමඟ එකතු වුණොත් අපිට ඒ සටන ගෙනියන්න වෙන්නේ නැහැ. එහෙම එකතු වෙන්න.... පවිත්‍රා කියාගෙන යනවිටම රැස්වීමට ආවේ චමල්ය.
"මොකක්ද එකතු වෙන කතාව" චමල් ආවේ එසේ කියමිනි. "අපි කොහොමද මෙච්චර දෙයක් කළාට පස්සේ එකතු වෙන්නේ..? එහෙම නම් අපිට මුලින් එකතු වෙන්න තිබුණානේ." චමල් කියාගෙන යන්නට විය.

"සර් මමත් කිව්වේ එකතු වෙන්න ඕනේ නැහැ කියලා තමයි" පවිත්‍රා චමල්ට කීවාය.
"ආ, එහෙම නම් කමක් නැහැ." චමල් පවිත්‍රා දෙස බලමින් කීවේය. මහින්ද සුසිල් දෙසට හැරුණේය.
"සුසිල් ඔයාලගේ යෝජනා ටික අපිට ලිඛිතව එවන්න කියන්න. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරන්නම්" මහින්ද පැවැසීය. සුසිල් පිටව ගිය පසුවත් බොහෝදෙනා කීවේ එකතු නොවිය යුතුය යන මතයේය.

නැවතත් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සිදුවෙන බවට රාවයක් මතුව තිබේ. සිසිර ජයකොඩි කියන්නේ එය ආණ්ඩුව ගැසූ ගැටයක් බවය.
"ආණ්ඩුව හදන්නේ ආපහු ඡන්දෙ කල් දාන්න. දැන් ඡන්දදායකයෝ හයදෙනෙක් පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. මේ හයදෙනාගෙන් එක්කෙනෙක් ඩිලාන් පෙරේරාගේ හිටපු
සම්බන්ධීකරණ නිලධාරියෙක්.

තව කෙනෙක් ලක්ෂ්මන් යාපාගේ පුතාගේ කාර්යාලයේ වැඩ කරන කෙනෙක්. අජිත් පී. පෙරේරා කියනවා ඒකාබද්ධය ඡන්දෙ කල්දාගන්න හදනවා කියලා. හැබැයි නඩු දාලා තියෙන්නේ නම් ආණ්ඩුවේ අයම තමයි" සිසිර පැවැසීය.
කළුතර මදුරාවල පැවැති උත්සවයකට සහභාගි වීමට මහින්ද ගියේ වෙල්ගම, රෝහිත සහ පියල් නිශාන්තද කැටුවය. උත්සවයෙන් අනතුරුව තේ පැන් පානය කරමින් සිටින අතරතුර පිරිස කතාබහ කළේද පක්ෂය. එකතුවීමට එන යෝජනා ගැනය.
"කවුරු මොනවා කීවත් අපිට නම් එකතු වෙලා තරග කරන්න බැහැ. එක පැත්තකින් චන්ද්‍රිකා අපේ අයගේ කන් පළන්න කතා කරනවා. අනෙක් පැත්තෙන් ඩිලාන්ලා අමරවීරලා බැන බැන යනවා" එහෙම කීවේ පියල්ය.

"ඒක නම් ඇත්ත තමයි" මහින්ද පැවැසීය.
"එකතු වෙලා ඡන්ද ඉල්ලන්න ගියොත් ගම්වල මිනිස්සු අපිටත් ඉලපත තමයි ගන්නේ" වෙල්ගම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්