මේ බල්ලන් බැඳ දමනු!

  👤  3235 readers have read this article !
2017-11-20

1948 නිදහසින් පසු පාර්ලිමේන්තුව පිහිටුවූ කමිටුවක් මඟින් සකස් කරන ලද "ජාතික ධජය" කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ ධජය ඇසුරු කර ගෙන නිර්මාණය වූවකි. අඩ සියවසකට වැඩි ඉතිහාසයක් ඇති මේ ජාතික ධජය වෙනස් කළ යුතු යැයි කියන පිරිසක් කවදත් මේ රටේ සිටියහ. දකුණේ ඇතැමකුට අනුව දෙමළ හා මුස්ලිම් ජාතීන් සංකේතවත් කිරීමට ජාතික ධජයට එකතු කර ඇති කොළ හා තැඹිලි වර්ණ තීරු දෙක ඉන් ඉවත් කළ යුතුය. ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ කොඩිය ඔවුන් කියන ආකාරයට "ජාතික ධජය" ලෙස යොදා ගත යුත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ කොඩිය හෙවත් සිංහලේ කොඩියයි.

උතුරේද මෙවැනිම පිරිසක් සිටිති. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති නියෝජනය කරන්නේ ඔවුන්ය. ඒ පිරිස පවසන්නේ මේ ජාතික ධජය තුළින් සිංහල ජාතීන් මිස සෙසු ජාතීන් නියෝජනය නොවන බවය. පළාත් අධ්‍යාපන ඇමැති එස්. සර්වේශ්වරන්ට අනුව ජාතික ධජයේ සිංහ රුවෙන් හා කඩුවෙන් සංකේතවත් වන්නේ සිංහල ජාතීන් හා බෞද්ධාගමය. ඉන් සුළු ජාතීන්ට පැහැදිලි නියෝජනයක් ලබා දී නැත. ඔහු දරන මතයේ හරි වැරැද්ද කෙසේ වෙතත් වවුනියාවේ පාසලක උත්සවයකදී දරුවන් ඉදිරියේ අධ්‍යාපන ඇමැතිවරයකු මෙලෙස හැසිරීම බරපතළ කාරණයකි. මීට වසර 67කට පමණ පෙර "ජාතික ධජය" පිළිනොගත යුතු යැයි උතුරේ දෙමළ නායකයන් ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹි බව ඇමැතිවරයා මාධ්‍යට කියා තිබුණද එය පිළිගත නොහැකිය. එදා මෙදාතුර පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හා පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ දෙමළ ජාතික මහජන නියෝජිතයෝ් මේ ජාතික ධජය, ජාතික ගීය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන කටයුතු කළහ. ජාතික ධජය පමණක් නොව ජාතික ගීයද වෙනස් කළ යුතු යැයි මත ප්‍රකාශ කර තිබුණේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවටය. ඒ කමිටු වාර්තාවට අනුව දෙමළ ජාතිකයන් පමණක් නොව සිංහල ජාතිකයන්ද එවැනි අදහස් පළ කිරීම විශේෂත්වයකි.

ඕනෑම මතයක් පළ කිරීමට ඕනෑම අයකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබේ. මත දැරූ පමණින් කිසිවක් වෙනස්වෙන්නේ නැත.

කාරණය අනෙකකි.
උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිගේ මේ ප්‍රකාශයෙන් "ජාතික ධජය" පිළිබඳ විවාදය යළි කරළියට පැමිණ ඇත. එල්.ටී.ටී.ඊ.ය උතුර පාලනය කළ සමයේ එසවූයේ කොටි ධජයයි. "ශ්‍රී ලංකා මාතා" ජාතික ගීය ගැයීම තහනම් කර තිබිණි. යුද ජයග්‍රහණයෙන් පසු ජාතික ගීය දෙමළෙන් ගැයීමට මධ්‍යම ආණ්ඩුව පනවා තිබූ තහනමද ඉවත් කෙරුණු අතර "ශ්‍රී ලංකා තායේ" ලෙස ස්ව භාෂාවෙන් ජාතික ගීය ගැයීමට දෙමළ ජනතාවට අවස්ථාව හිමි විය.

එලෙස කටයුතු කරමින් තිබියදී උතුරේ ඇතැම් දෙමළ නායකයන්ගේ මෙවැනි අන්තවාදී හැසිරීම් දකුණේ සිංහල අත්තවාදීන්ට උඩගෙඩි දීමකි. උතුරේ ජාතිවාදයෙන් දකුණේ ජාතිවාදය පෝෂණය වේ. දකුණේ ජාතිවාදය උතුරේ ගිනි අවුළුවාලයි. දශක ගණනක් පුරා සිදුවූයේ එයම මිස අනෙකක් නොවේ.

ජාතික ධජය විමසා කර බැලීමේදී ඉන් සිංහල ජාතීන් හා බෞද්ධාගම ප්‍රමුඛව නියෝජනය වන බව සත්‍යයකි. "ලාංකික ජාතිය" යන්න ඉන් ගැඹුරින් නිරූපණය නොවේ යැයි මත පළවී ඇත. නිදසුනක් ලෙස ගත් කල ඉන්දියාවේ ජාතික ධජයෙන් "ඉන්දීය ජාතිය" අර්ථවත්ව නිරූපණය කිරීමට ඔවුහු සමත්ව සිටිති. එහෙත් මේ අවස්ථාවේ "ජාතික ධජය" මුඛ්‍ය ප්‍රශ්නයක් කරගත යුතු නැත. ප්‍රශ්නය ඇත්තේ ජාතික ධජයේවත් ජාතික ගීතයේවත් රාජ්‍ය ලාංඡනයේවත් නොවේ. රටට අද අවශ්‍යව ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. දූෂණයෙන් වංචාවෙන් හා අකාර්යක්ෂමතාවයෙන් බැහැර වූ නව රාජ්‍ය පාලනයකි. පුළුල් දේශපාලන ආර්ථික සංස්කෘතික ප්‍රතිසංස්කරණයකි. සියල්ලට ප්‍රථම ජාතික ධජයක් අල්ල ගන්නේ දැනුවත්වම අවුල් වී ඇති රට තවත් අවුල් කිරීමට දායක වන්නන් පමණි.

මේ රටේ පුරවැසියකු වන ඕනෑම කෙනකු ජාතික ධජයට හා ජාතික ගීයට හිස නැමිය යුතුය. විශේෂයෙන් මහජන නියෝජිතයන්ට රාජ්‍ය නිලධාරීන්ට ඒ කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ නොහැකිය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය බෙදා හැරීමට යෝජනා කිරීම රට බෙදීමක් ලෙස දකින, කුමන්ත්‍රණයක් ලෙස දකින පිරිස් සිටින රටක "ජාතික ධජය" ප්‍රශ්නයක් කර ගන්නා සිය පක්ෂයේ නියෝජිතයන්ව පාලනය කර ගැනීමට දෙමළ සන්ධානයේ නායකයන් කටයුතු කළ යුතුය. බුරන බල්ලන් වහා බැඳ දැමීම උතුරේ මහ ඇමැති හා විපක්ෂ නායකවරයාගේ වගකීමයි. නොඑසේ නම් යළි රට ඇදී යනු ඇත්තේ

උතුරු - දකුණු බලු පොරයකටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්