පොලිස්පතිතුමනි ලැජ්ජයි

  👤  3152 readers have read this article !
2017-11-22

ගිංතොට ඇවිළුණු ගින්න මේ වන විට නිවී ගොස් ඇත. එහෙත් අළුයට ගිනි පුපුරු තිබිය හැකිය. පරිස්සම් විය යුත්තේ එනිසාය. එහිදී පොලිසියට පැවැරෙන්නේ විශාල වගකීමකි.
පොලිස්පති පූජිත් ජයසුන්දර ඉකුත් 20 වැනිදා ගාල්ල නගර ශාලාවේ පැවැති ප්‍රජා පොලිස් ඒකක යළි බලාත්මක කිරීමේ රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ ගිංතොට විනාශය වළක්වා ගැනීමට පොලිසියත්, ගම්වාසීනුත් අසමත්ව ඇති බවය. පොලිසිය මෙහිදී "අසමත්" වී නම් ඊට ප්‍රධාන වගකිවයුත්තා අන් කිසිවකු නොව පොලිස්පතිමය.

රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ සුළු ගැටුමක් සමථයකට පත් වූ පසු බාහිර මැදිහත්වීම් හරහා ඇවිළී ගිය ගැටුමේදී සිද්ධින් 116ක් වාර්තා වී ඇති අතර නිවෙස් 74කට හානි සිදුවී තිබේ. වෙළෙඳසල් 16කට, ත්‍රිරෝද රථ 6කට, ලොරියකට, වෑන් රථයකට හා යතුරුපැදි තුනකට හානි සිදුව ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකමත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

අලුත්ගම කළු ජූලිය තරම් නොවුණද ගිංතොට සිද්ධියද බරපතළය. "අලුත්ගම" අත්දැකීම තිබියදී "ගිංතොට" මෙතරම් බරපතළ තත්ත්වයක් ඇති වන තුරු පොලිසිය කළේ මොනවාද යන්න ප්‍රශ්නයකි. "අලුත්ගම" ගැටුම ඇවිළී ගියේ පිටස්තරයන්ගේ මැදිහත්වීමෙනි. එහිදී ඇතැම් දේශපාලනඥයන්, ඇතැම් හාමුදුරුවරුන් හා ඇතැම් පූජකයන් ගිනි ඇවිළීමට මැදිහත් වූ ආකාරයටම ගිංතොට ගින්න ඇවිළීමටද මැදිහත් වී ඇති බව දැනගන්නට ඇත. ඕනෑම ජනවර්ගයක, ආගමක බැතිමතුන් අතර ජාතිකවාදීන්, ආගම්වාදීන් හා අවස්ථාවාදීන් ඇත. ප්‍රශ්න ඇති කිරීමටත්, ප්‍රශ්න අවුල් කිරීමටත් ඔවුහු දක්‍ෂයෝ වෙති. එවැන්නන්ට ඉඩ නොදීම හා ඉඩ නොතැබීම පොලිසියේ වගකීමකි. සිද්ධියක් ඇති වූ විට ගම්වාසීන්ට ‍ෙදාස් පැවැරීමට පොලිසියක් අවශ්‍ය නැත.

ග්‍රාමීය පළාත්වල සිවිල් ආරක්‍ෂක කමිටු ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම පොලිසියේද රාජකාරියකි. "කමිටු" ක්‍රියාකාරීව පැවැතියා නම් මෙවැනි සිද්ධීන් ඇති නොවන බව, සිද්ධියක් ඇති වී විනාශයකට පසුව ප්‍රකාශ කිරීමේ අර්ථයක් තිබේද?
පොලිසිය පමණක් නොව ඒ ඒ ප්‍රදේශවල දේශපාලනඥයන්ද මේ තත්ත්වයට වගකිව යුතුය. පොලිසියේ දුර්වලකමක් පෙනේ නම් ඊට මැදිහත් විය යුත්තේ ඔවුන්ය. එහෙත් කිසිදු පාර්ශ්වයක් සිය වගකීම හරිහැටි
ඉටු කරන බවක් පෙනෙන්නට නැත.

ඉතාම සක්‍රියව කටයුතු කරන්නේ අවස්ථාවාදීන් හා ජාතිවාදීන්ය. ගිනි පුළිඟුවක් මතුවූ සැණින් එය ගිනි ජාලාවක් කිරීමට ඔවුහු දිවා රෑ නොබලා වෙහෙසෙති. ඒ සඳහා අන්තර්ජාලයේ කටකතා ඇතුළු යොදාගත හැකි සෑම මාධ්‍යයක්ම යොදා ගැනීමට ඔවුන් දක්‍ෂය.

ගිනි නිවාලීමට සිටින පොලිසිය ගිනි අවුළුවාලන්නන් ඉදිරියේ අසමත්වී. ගිංතොටින් යළි විදහා දැක්වූයේ ඒ අසමත්කම මිස අනෙකක් නොවේ.
පොලිස්පති පූජිත් ජයසුන්දරට අනුව මෙවැනි සිද්ධීන්වලට හේතුව එක ජාතියක්, එක ආගමක් වෙනුවෙන් සිතා වැඩකිරීමට යෑමය. ඉන් අපිට ලැබෙන්නේ අමනුස්සකමේ ප්‍රතිඵලය. එය නම් සහතික ඇත්තය. එහෙත් ජනතාවගේ අසමත්කම ගැන සොයා බැලීමට පෙර පොලිස්පතිවරයා පොලිසියේ අසමත්කම ගැන සොයා බැලීම වටී.
පොලිස් නිලධාරීන්ට භාවනාව උගන්වනවා වෙනුවට ඉගැන්විය යුත්තේ සියලු දෙනා එක හා සමාන පුරවැසියන් ලෙස සලකා රාජකාරිය කිරීමටය. ඇති තරම් ලේ ගලා ගිය රටක යළි ලේ වැගිරෙන්නට ඉඩ නොතැබෙන ලෙස වගකීමෙන් යුතුව කටයුතු කිරීමටය. ගිංතොට සිද්ධියෙන් පෙනෙන්නේ පොලිසිය අලුත්ගම සිද්ධියෙන් කිසිවක් ඉගෙන ගෙන නැති බවය. රාජ්‍ය බලය ඇති කොටස්වල අනුග්‍රහය ගිංතොට සිද්ධියට ලැබුණා නම් අලුත්ගමට වඩා ඛේදවාචකයක් ගිංතොට ඇතිවනු නිසැකය. මෙහිදී රජයේ හා මාධ්‍යවල සාධනීය මැදිහත්වීම නිසා සිද්ධිය මේ තරමට පාලනය කර ගතහැකි විය.

නියපොත්තෙන් කැඩීමට තිබුණු දෙයක් පොරොවෙන් කපන්න වෙනතුරු බකංනිලාගෙන සිටීමේ වගකීම පොලිසිය භාරගත යුතුය. මෙවැනි සිද්ධින්වලදී තරාතිරම නොබලා පොලිසිය කටයුතු කිරීම අවශ්‍යය. ගිනි පුපුර මතුවූ විටම නිවා දැමිය හැක්කේ පොලිසියටය. පොලිස්පතිවරයාට මේ වන විටත් විවේචන රැසක් සබුද්ධික ජනතාවගෙන් එල්ලවී තිබේ. ගිංතොට සිද්ධිය ඒ චෝදනා වැලට එක්වන අලුත්ම චෝදනාවය.

යළි පොලිසියේ අසමත්කම ගැන කතා කිරීමට කිසිවකුට ඉඩ නොතැබීමේ වගකීම ඇත්තේ පොලිස්පතිවරයාටය. පොලිසියේ අසමත්කම ගැන කීම නොව පොලිස්පතිවරයා කළ යුත්තේ "සමත්" පොලිසියක් නිර්මාණය කිරීමය. පොලිස්පතිවරයාට තවමත් ඊට කාලය ඉතුරුවී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්