බය නැති අගමැති

  👤  4956 readers have read this article !
2017-11-23

'බය නැති අගමැති' කියා පෝස්ටර් රට පුරාම වැදිලාය. එක්කෝ කවුරුන් හෝ අගමැතිව බය කරන්න ගිහිල්ලාය. එහෙමත් නැත්නම් අගමැති, සොහොනක් අසලින් මහ රෑ තනියම යන්නට ඔට්ටුවක්වත් දාලාය. ඒ දෙකම නොවේ නම් 'බය නැති අගමැති' කියන වචන ටිකට මුලින් සටහන් විය යුතු වචන කිහිපයක් හැලිලාය. ඒ හැලිච්ච වචන මේ දිනවල සමාජ ජාලවල එකතුවෙමින් තිබෙන්නේය.

'දේශපාලනය ලොව දෙවැනියාට පැරැණිම වෘත්තීය යැයි කියනු ලැබේ. එය පළමුවැන්නට බොහෝ සමාන බව මට වැටහුණේ පසුවය.'
මෙහෙම කියන්නේ රොනල්ඩ් රේගන්ය. රේගන් කියන්නේ ඇමෙරිකාවේ සිටි කීර්තිමත්ම ජනාධිපතිවරයෙක්ය. ආණ්ඩුවේ සමහර වැඩ දැක්කම සමහරු කියන්නේ එහෙමය.
ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනකුට ඉල්ලා අස්වෙන්න වුණේ අවුරුදු 3ක් පිරෙන්නත් කලින්ය. බැඳුම්කර මගඩියේ පැටලී සිටින ඇලෝසියස්ලාට දුරකතන ඇමැතුම් දී 'දේශය' ගොඩනඟන්නට දායක වෙච්ච පිරිස්ද ඒ අතර වෙයි.

'එහෙම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට තමයි කියන්නේ යහපාලනය කියලා'.
ආණ්ඩුවේ අය උජාරුවෙන් එහෙම කියන්නේය. බලාන ගියාම ඉල්ලා අස්වීමට වීමත් ඉවත් කිරීමත් ආඩම්බරේට හේතුවෙන දේවල් වගේය.
සමහරු දුරකතන ඇමැතුම් දී තිබෙන්නේ පොත් ලියන්නටය. මේවා දෙපැත්තෙන්ම හිනා යන කතාය.

මොන කයිවාරු ගැහුවත් දැන් ආණ්ඩුවට අවුරුදු 2ක් ඉවරය. ඉතිහාසයේ ඉඳලා සස¼දා බැලුවොත්, අවිධිමත්ම ආණ්ඩු දෙකෙන් එකක් මේකය. මේ රටේ හැදුණු 'අසාර්ථකම' පරාදීනම ආණ්ඩුව 2001 එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවය. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' කියලා සුන්දර වචන සෙල්ලමක් යටින් තිබ්බේ විකුණන් කන රටක ඉරණමය.
එදා එක්සත් ජාතික පෙරමුණ ඡන්දෙට ආවේ 'ඍණ' ආර්ථිකයකට රට පත් කළ 'පොදු පෙරමුණ ගෙදර යවමු' කියලාය. මෙදා ආවේ 'පවුල්වාදයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය දිනවමු' කියලාය.

එදා චන්ද්‍රිකාට කල් ඇතිවම ආණ්ඩුව විසුරුවා ඡන්දයකට යන්න වුණාය. මෙදාත් මහින්ද කල් ඇතිවම ඡන්දෙකට ගියේය. එදා ඡන්දෙට යනකොට බලයේ හිටිය චන්ද්‍රිකා ඡන්දෙට ගිහින් පැරැදුණාය. මෙදා බලයේ සිටි මහින්ද ඡන්දෙට ගිහින් පැරැදුණේය.
සමහරුන්ට නොපෙනුණාට දෙවතාවේම සිදු වුණේ 'කෘත්‍රිම' වෙනසක්ය.

අස්වාභාවික බලහුවමාරුව පිරිසකට 'කෙටිකාලීන' චූන් එකක් වුණාට දිගුකාලීනව රටට 'හෙණ ගෙඩියක්ය'. ඒක මොනතරම් ඇත්තද කියලා පේන්නේ ඒ ආණ්ඩු දෙකේ පැවැත්ම බැලුවහමය. වසර පහකට ජනතාව පවරා දෙන බලය සදාකාලික එකක් සේ සලකා වැඩ කරන්නට යන ඕනෑම පාලකයෙක් ගෙදර යන්නේ හිතාගන්නවත් බැරි විදියටය.
2001 ආණ්ඩුව ආව ගමන් රනිල් කළේ 'එල්ටීටීඊය' එක්ක අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන එකය.

එවක හිටිය කැබිනට් එකේ කිසිවෙක් මේ අවබෝධතා ගිවිසුම දැකලාවත් තිබ්බේ නැත. මාධ්‍ය ඉදිරියට ආව ආණ්ඩුවේ ඇමැතිවරුන් නිරුත්තරව ඇඹරුණේ 'ලොක්කා' කරලා තියෙන දේ හරියට නොදන්නා හින්දාය. ඒ මදිවට ඒ ආණ්ඩුව රටේ ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණා දමන ක්‍රියාවලියක් ගෙන ගියේය. ජාතික ආර්ථිකය විනාශ කොට ඒ වෙනුවට අසාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයක් බදා ගත්තේය. හිතුවක්කාරකම සහ මාන්නය ඔඩුදුවා තිබූ නායකත්වයක් රට පරාදීන තැනකට තල්ලු කරමින් සිටියේය.
ත්‍රිවිධ හමුදාවේ කොඳු කඩා පරාදීන මානසිකත්වයක් නිර්මාණය වෙන තත්ත්වයට පත්කොට තිබුණේය.

රැකියාවක සිහින දුටු තරුණයන්ගේ අපේක්ෂා භංග වූයේ කිසිදු 'රැකියාවක් නොදෙන' ලෙස ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන චක්‍රලේඛ මඟින් තහවුරු කිරීමත් එක්කය. අහිංසක දුප්පත් ජනතාවට බෙදා දෙන්නට ඉන්දීය ආධාර යටතේ ලැබුණු සෙවිලි තහඩුව පවා 'සොරකම් කරපු' ආණ්ඩුවක් ලෙස ඒ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් විය. රැකියා දුන්නේ නැත. බඩු මිල අඩු කළේ නැත. වැඩකරන නියෝජිතයන්ට නිසි තනතුරු ලැබුණේ නැත. සරලම උදාහරණය වූයේ එවක මහනුවරින් දෙවරක්ම මනාප ඡන්ද ලක්ෂය පැන්නූ කෙහෙළිය රඹුක්වැල්ලට මුල්වටයේදී නියෝජ්‍ය ඇමැතිකමක්වත් ලැබුණේ නැත. එවක ආණ්ඩුව ගේන්න ලොකුම ජවය දුන් රාජිතලාට, මහින්ද සමරසිංහලාට පවා මුලින් ලැබුණේ කැබිනට් නොවන ඇමැතිකම්ය. මේවා හින්දා පාක්ෂිකයන් පක්ෂයට එරෙහි විය. ඇතුළේ තම හිතවතුනුත් රටේ පාක්ෂිකයනුත් තමන්ට එරෙහි බව තේරුම් ගැනීමට රනිල්ට නොහැකි විය.

හැබැයි මොනවා නැතත් 'ලස්සන වචන' තිබ්බේය.
'යළි පුබුදමු ශ්‍රී ලංකා' 'කටු අත්තේ මල් පිබිදෙනතුරු ඉවසන්න', 'ඉතින් හදමු අපි අලුත් රටක්' වගේ 'ආලවට්ටම්' සහිත 'ඇඩ්වර්ටයිසින්' ඒ ආණ්ඩුවට තිබ්බේය. හැබැයි ඒ එකක්වත් හරියට වුණේ නැත. සිද්ධ වුණේ අවුරුදු පහට ආව ආණ්ඩුව කටු අත්තත් අරගෙන ගෙදර යන එකය. රනිල් ආණ්ඩුව 2002දී හුස්ම හිරවෙනතුරු දැනගෙන හිටියේ නැත.

අවුරුදු දෙකක් තුළ 'අරාජිකත්වයට' රට තල්ලු කිරීම හැර වෙන කිසිවක් ඉතිරි නොකළ එක්සත් ජාතික පෙරමුණ අවසන් ගමන් ගියේ එහෙමය.
ඒ ආණ්ඩුව රට කොටියාට 'සින්නක්කරේට දෙන' තැනට පත්කොට යන්න ගියේය. ඒ වෙනකොට හමුදාව සිටියේ කඳවුරුවලට 'ගාල්' කරලාය. ආත්ම ශක්තිය තිබ්බේ බින්දුවට වැටිලාය. මහින්ද එහෙව් රට භාර අරගෙන අවුරුදු තුනෙන් යුද්දේ ඉවර කළේය. දවස්වලින් ගත්තොත්, දවස් එක්දහස් අනූපහකින් ඉවර කළේ දවස් එකොළොස් දාහක් තිබ්බ යුද්ධයක්ය.

මහින්ද කළේ මොනවද කියලා අහන අයට ඒකම උත්තරයකට ප්‍රමාණවත්ය. ඒ කාලයේ මහින්දගේ ආණ්ඩුවට කරපු සමච්චල් කෙළවරක් නැත.
'අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ' කියා කීවේ රවිලාය. 'තොප්පිගල කියන්නේ කැලෑවක්' කිවේ රනිල්ය. 'ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්' කීවේ කිරිඇල්ලය.
කරපු සියලු උපහාස අපහාස මැද මහින්ද රට නිදහස් කළා කියන්නේ මිනිස්සුය.

දැන් මේ තියෙන්නේත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවක්ය. එදයි අදයි වෙනසක් නැත. ජාත්‍යන්තරයේ 'කෙලිමඩුවක්' වෙච්ච රටක් මිසක් ජාතිකත්වයක් සහිත රටක් දැන් නැත. ආණ්ඩුව උජාරුවෙන් කීවේ දැන් ජාත්‍යන්තර සම්බාධක ඉවරයි කියලාය. හැබැයි හිටපු හමුදාපති ජගත් ජයසූරිය ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇවිල්ලා තිබේ. තැන තැන කියන 'ලිස්සා යෑම්' හැරුණුකොට ඒ ගැන කෙළින් ස්ථාවරයක් එක්සත් ජාතික පක්ෂයට නැත.

මේ ආණ්ඩුවේ තියෙන්නේත් '2001 රටාවමය'.
2025 පොහොසත් රටක් හදන බව කියන්නේ ජනපති අගමැති දෙන්නම එකට ඉන්න වේදිකාවේය. ඒක එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සැලැස්මය. හැබැයි 2020 වෙනකම්වත් ආණ්ඩුව 'යහතින්' යනවා නම් ඒක ලොකු දෙයක්ය.
'2025 පොහොසත් රටක් අපි හදා ගන්නම්. 2025 වෙනකොටවත් දෙයියනේ කියලා තොලොංචි වෙලා පලයල්ලා. නැත්නම් අපි එළවනවා' කියා සමහරු කියන්නේ 'ඉවසලා බැරිම තැනය.'

එනකොටම 'මහාපරිමාණ වංචාවකින්' වැඩ පටන්ගත්ත මේ ආණ්ඩුව තවදුරටත් 'යහගමනක්' යයි කියා හිතන්නට කිසිම සාධාරණ හේතුවක් පේන්නට නැත. විහිළු සපයන එකයි, ඇනකොටා ගන්න එකයි, සම්පත් විකුණා දැමිල්ලයි ඇර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් ඇත්තේම නැත.
මේ ආණ්ඩුව පවතින්නේ ජනාධිපතිවරයා නිසාමය. ඔහු නොවන්නට මේ ආණ්ඩුව හත අට වතාවක් පෙරළන්නට කල්ය. සාමාන්‍යයෙන් පක්ෂයකට ආණ්ඩු කරන්නට වසර 5ක් ලැබේ. ඒ පහ තුළ රටක් හදන්නට හොඳටම කල් ප්‍රමාණවත්ව. එහෙත් දේශද්‍රෝහී පාලන තන්ත්‍රයකට රටක් විනාශ කරන්න අවුරුද්දක් ඇතිය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ වැඩි කලක් බලයේ ඉන්නට සුදුසු නැති එකක් බව ඔප්පු කරලා ඉවරය.

ගෙදර යැවිය යුතු ආණ්ඩුව රඳවා තබාගෙන ඉන්නේ ජනාධිපතිවරයාගේ 'බලය' නිසාය.
ඕනෑම දැවැන්ත බලයක් ඕනෑම තීරණාත්මක මොහොතක පෙරළෙන බව ඉතිහාසය සේම වර්තමානයත් උදාහරණ සපයමින් සිටී. මහින්දගේ ආණ්ඩුවේ 'බලගතුම' මොහොතේ වරක් ජවිපෙ ටිල්වින් සිල්වා මෙහෙම කීවේය.

'මැදමුලනේයි, කොල්ලුපිටියේයි හාමු මහත්තුරු විශ්වාස කරන්නේ රාජ්‍ය බලය පිළිබඳව නම්, ඒ කියන්නේ ආයුධ පිළිබඳව නම්, අපි කියනවා අපි විශ්වාස කරන්නේ ජන බලය පිළිබඳව කියලා. ජන බලය ඉස්සරහ දණ නොගහපු කවුරුත් මේ ලෝකේ නෑ මහත්තයෝ.
අපි නුදුරේදීම හදනවා ධනපති විරෝධී, අධිරාජ්‍ය විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මධ්‍යස්ථානය. එතකන් රට කන්න. එතකන් ණය ගන්න. එතකන් බඩ පිනුම් ගහන්න. හැබැයි මතක තියා ගන්න. එහෙම හදලා ඒ මහජන සටන ඔයාලා අවුරුදු පහෙන් පනට ලැගලා ඉන්න අරලියගහ මන්දිරය කියන ගුබ්බෑයම ඉස්සරහට ගේනවා. අන්න එදාට හාමුලා ඔයාලා ගේන්න ඔයාලගේ බලය. අපි ගේන්නම් ජනබලය.

හැප්පිලා බලමු.
ඔයාලා අපේ පන්තිය තීරු තීරුවලට බෙදුවා. සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර්, මැලේ, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික මේ හැම විදියටම බෙදිලා ඉන්න අපේ පන්තියේ මිනිසුන් අපි එක සටන් මධ්‍යස්ථානයකට එකතු කරනවා. මහත්තයෝ, එදාට කඳවුරු දෙකයි ඉන්නේ! වැඩකරන ජනතාවගේ කඳවුරත්, ධනපති හාමුලා දෙන්නගේ කඳවුරත් කියන මේ දෙක විතරයි. අපිට 99%යි, හාමුලට 1% අන්න ඒ දවස වැඩි අෑතක නෑ. අන්න එදාට ඔයාලා දෙන්නට යන්න වෙන්නෙත් කලින් හිටපු පාලකයෝ ගිය පාරෙම තමයි.'

ඒ කතාව මේ මහත්තුරුත් හිතේ තියාගෙන ඉන්නවා නම් බොහොම හොඳය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්