උපදින හැටි මැරෙන හැටි දිවැසින් දකින හැටි

  👤  2266 readers have read this article !
2017-11-26

උපතද විපතද ඒ දෙක අතර පැවැත්මද කාටත් ලෙහෙසියෙන් දැක්ක හැකි අවස්ථායැ. සිත එකඟ කිරීමෙන් යෝග ඥානය දියුණු කිරීමට සමත් වූ අය මෙහි තවත් වෙනසක් දුටහ. එනම්, මනුෂ්‍යයා වර්තමානයේ ගත කිරීමට බලාපොරොත්තු වන හා ගත කරන ජීවිතයට පෙරද, ජීවිත ගත කළ බව හා මරණයෙන් මත්තෙහිද ජීවිත ගත කිරීමට ඇති බවය. එහෙත් එම දැනුම සම්පූර්ණව නොලැබූ නිසා එක් එක් තැනැත්තා විවිධ නිගමනයන් ඉදිරිපත් කළ බව බුදු හාමුදුරුවන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් කර ඇත. ඒ අය තමන් ලැබූ ඥානයට අනුව දැක ගත හැකිවූ අෑතම කෙළවර සත්ත්වයාගේ ආරම්භය ලෙස දැක්වූහ. යෝග ඥානයක් ලබා ගැනීමට අපොහොසත් වූ තාර්කිකයෝ වර්තමාන ජීවිතය තුළින්ම භෞතික හේතූන් ඉදිරිපත් කළහ. හොඳ කිරීමේ යහපත් ප්‍රතිඵලයක් හෝ නරක කිරීමේ පාඩුවක් ඔවුන්ට හමු නොවීය. බුද්ධ කාලයේ විසූ පූරණකස්සප එයින් කෙනෙකි.

බුද්ධ කාලයට බොහෝ අතීතයේද අභිඥාලාභීන් විසූ බව බුදු හාමුදුරුවන් බොහෝ තැන්වල දෙසා ඇත. අභිඥාලාභියකුට, ඇසින් දැක නොහෙන බොහෝ දේ දැකීමට දිවැසක් ලැබෙයි. දිවැස ඇත්තාට යම් කෙනකු මැරෙන සැටිද නැවත උපදින සැටිද දැකගත හැකිවන බව බුදු හාමුදුරුවන් දේශනා කර ඇත. උන්වහන්සේම දැක්වූ උපමාවක් මෙසේය. උඩුමහලකට නැඟ වීථිය දෙස බලා සිටින කෙනකුට එක ගෙදරක සිට පිටත් වී වෙන ගෙදරකට ඇතුළුවන මිනිසුන් පෙනෙන්නා සේ චුතවන හා උපදින සත්ත්වයන් චුතූපපාත ඥානය ලැබූ තැනැත්තාට දැකගත හැකිය කියාය. එම පැමිණෙන තැනැත්තා ගන්ධබ්බ යන වචනයෙන් හඳුන්වා ඇත. ස්ත්‍රියක හා පුරුෂයකු එක්වීම නිසා ජීවිතයක් හටගන්නා බව පෙර කාලවලත් පිළිගැනී තිබිණි. වර්තමාන සොයා ගැනීම්වලින්ද එය තහවුරු වී ඇත. එහෙත් එම අනුමාත්‍ර ජීවයට ගන්ධබ්බයකු නොපැමිණිය හොත් මිනිස් ජීවිතයක් ආරම්භ නොවන බව බුදු හාමුදුරුවන් බොහෝ තැන්වල වදාරා ඇත. මේ ගන්ධබ්බයාගේ පැමිණීම ඉහත සඳහන් කළ යෝග ඥානයෙන් දුරාතීතයෙහි විසූ යෝගීන් දැක ඇත.

මෙසේ එක තැනක සිට තව තැනකට මාරුවන දෙය කුමක්දැයි පැහැදිලි කිරීමට උත්සාහ දැරූ චින්තකයෝ, එය ඉන්ද්‍රියයන්ට හසු නොවන පදාර්ථයක් ලෙස හඳුන්වා 'ආත්මන්' යන නාමය දුන්හ. දීපංකර බුදුන් සමයේ සුමේධ තාපසයන් වීසිටි බෝසතාණන් වහන්සේ තව වරක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් වූහ. තව වරක තක්ෂලා නුවර දිසාපාමොක් ඇදුරු වී සිටියහ. තව වරක වෙස්සන්තර නම් රජෙක් වී සිටියහ. අවසන් වරට සිද්ධාර්ථ නම් රාජකුමාරයෙක්ව සිටියහ. මේ සැම දෙනාටම පොදු වූ පෞද්ගලික අනන්‍යතාවක්, මඟසටහන් සහිතවම දිගුකලක් තිස්සේ පැවතගෙන ඇවිත් තිබේ. වෙනස් වෙමින් යන මේ සෑම ජීවිතයටම පොදු වූ අනන්‍යතාව වෛදික දර්ශනයෙහි 'ආත්මන්' යන නාමයෙන් හඳුන්වන ලදී. මෙම සොයා ගැනීම විස්තර කිරීමට පටන්ගත් විචාරකයෝ ආත්ම පදාර්ථයේ ලක්‍ෂණ හා ක්‍රියාකාරිත්වය දීර්ඝ විස්තරයන්ට භාජන කළහ. කලක් තිස්සේ ඒ ඒ යුගයන්හි පැවැති විශ්වාසයන්ට හා දැනීම්වලට අනුව එම ආත්මය විස්තර කර ඇත්තේ කිසි කාලයත් වෙනස් නොවන, නැසිය නොහැකි, බෙදිය නොහැකි සෑම පුද්ගලයකු තුළම වෙන වෙනම පවතින පදාර්ථයක් ලෙසය. බ්‍රහ්ම පදාර්ථයෙන් ආරම්භ විණැයි පැවසෙන එම ආත්මය අවසානයේදීම බ්‍රහ්ම පදාර්ථය සමඟ එකතු වීමෙන් සදාකාලික සුවය ලබන බව එම විස්තරවල පැවැසේ.

ගණන් නොකළ හැකි ජීවිත සංඛ්‍යාවකට පොදු වූ පෞද්ගලික අනන්‍යතාවක් ඇති බව බුදුරජාණන් වහන්සේද දුටු සේක. එය සැබෑ බව පිළිගත් සේක. ඒ බව සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයෙහි ඉතා පැහැදිලිව දැකගත හැකිය. එහෙත් එම අනන්‍යතාව සදාකාලික පදාර්ථයක් නොවන බවත් එයද සෙසු පදාර්ථ මෙන් හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වූවක් බවත් හේතු ප්‍රත්‍යයන් නිසා පැවැතගෙන එන බවත් එකී හේතු ප්‍රත්‍යයන් නැති වීම නිසා යම් දවසක නැතිවී යන බවත් බදු හාමුදුරුවන්ගේ ඉගැන්වීමය. බුද්ධ කාලය වන විට ආත්මය නමින් හඳුන්වා තිබූ පදාර්ථයේ ලක්‍ෂණයන් වූ සදාකාලික බව, නොබෙදිය හැකි බව හා බ්‍රහ්ම පදාර්ථය සමඟ ඇති සම්බන්ධය යන මේවා පිළිගත නොහැකි බැවින් ආත්ම යන නාමයම ප්‍රතික්ෂේප කළ බුදු හාමුදුරුවන් වහන්සේ, ජීවිත බොහෝ ගණනකට පොදු වූ පෞද්ගලික අනන්‍යතාව හඳුන්වා ඇත්තේ 'පඤ්ච උපාදානක්ඛන්ධ' යන නාමයෙනි.

උන්වහන්සේ සංයුත්ත නිකායයේ චන්ධ සංයුත්තයේ, මහණෙනි, යම්කිසි මහණ බමුණු කෙනකුන් යමක් ආත්මය වශයෙන් දකිත්නම්, ඔවුන් එසේ දකින්නේ පඤ්ච උපාදානක්ඛන්ධම හෝ එයින් සමහරකි' යනුවෙන් වදාරා ඇත. බුදුහාමුදුරුවන්ට පෙර සිටි මහණ බමුණන් 'ආත්මය'යි ව්‍යවහාර කළේ කුමකටද? බුදු හාමුදුරුවන් 'පඤ්ච උපදානක්ඛÂධ' නමින් හඳුන්වා වදාළේ කුමක්ද යන්න ඉහත සඳහන් සූත්‍රයෙහි නිශ්චිත ලෙස හා අවුල්කර ගත නොහැකි වචනවලින්ම සඳහන්ව ඇත. පුද්ගල අනන්‍යතාවක් දීර්ඝ කාලයක් තිස්සේ උපදිමින් මැරෙමින් සසරෙහි සැරිසරන බව පෙර සිටි මහණ බමුණෝද දැන සිටියහ. එය සැබෑ බව බුද්ධ ඥානයෙන්ද දැක ඇත. පුද්ගලයකු කළ හොඳ නොහොඳ දෙකේ විපාක ලබන්නේද ඔහුය. පිරිසුදු වීම හා අපවිත්‍ර වීම පුද්ගලයා සතුය. (සුද්ධි අසුද්ධි පච්චත්තං) බුදු හාමුදුරුවන් වදාළේද එය පිළිබඳවය. බුද්ධ කාලය වන විට භාරතයේ පැවැති දර්ශනවාද ප්‍රධාන වශයෙන් දෙපිලකට බෙදා නම් දෙකකින් හඳුන්වා තිබිණි. ආත්මවාදී හා අනාත්මවාදී යන නම් දෙකින් ඒ දෙපිල හැඳින්විණි. ආත්මවාදී දර්ශනවලට අනුව පුද්ගලයා මරණයෙන් පසුව ඔහු කළ කර්මයන්ට අනුව වෙනත් තැනක උපතක් ලබයි. මෙසේ අනාදිමත් කාලයක් උපදිමින් හා මැරෙමින් සසර සැරිසරයි. එම ජීවිත සියල්ලට පොදු වූ අනන්‍යතාව ආත්මන් නමින් හඳුන්වා ඇත. අනාත්මවාදී දර්ශනය අනුව මරණයෙන් පසු උපතක් නැත. පඨවි ආදී ධාතූන් ඇසුරෙන් ගොඩනැඟෙන සත්ත්වයා මරණයෙන් පසු නැවතත් පඨවි ආදිය වෙන්වී යෑමෙන් අවසන් වෙයි. මෙම දෙවැනි පිලට අයත්ව සිටියේ ඉතා අඩු දෙනෙකි. පරලොවක් නැති නිසා ආගමක් වශයෙන් ගොඩනැඟීමක්ද නොවීය. එකල අනාත්මවාදීන් ලෙස හැඳින්වුණේ මොවුහුය. බුදු හාමුදුරුවන් වහන්සේ කිසි තැනක 'තමන්වහන්සේ අනාත්මවාදියෙකැ'යි දේශනා කර නැත. එපමණක් නොව, රහතන් වහන්සේ ගැන සඳහන් කරන තැනක සුත්ත නිපාතයෙහි, රහතන්වහන්සේට ආත්ම වාදයක් හෝ අනාත්මවාදයක් නැතැ'යි (අත්තං නිරත්තං නහි තස්ස අÀථි) දේශනා කරද ඇත. බුදු හාමුදුරුවන් තමන්වහන්සේ පුනරුත්පත්තිය පිළිගත් නිසා ආත්මවාදියෙකැයිද උන්වහන්සේ එකල තිබූ ආත්මවාදය ප්‍රතික්ෂේප කළ නිසා අනාත්මවාදියෙකැයිද වාද විවාද කළ අය බොහෝය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්