මුල්කිරිගල විහාරය ඓතිහාසික මුහුදු ගිරි වෙහෙරද?

  👤  2165 readers have read this article !
2017-11-26

ගවේෂණාත්මක ඔබේ අවධානය බෙහෙවින් යොමු නොවෙන ඉසව්වක් ඓතිහාසික රෝහණ රාජ්‍යය සතුව ඇත. ඒ මුල්කිරිගල ප්‍රදේශයයි. එහි බෙලිඅත්ත - වීරකැටිය මහා මාර්ගයෙහි පිහිටි මුල්කිරිගල මංසන්ධියෙන් හැරී මුල්කිරිගල - ඕකේවෙල මාර්ගයේ තවදුරටත් සැතපුමක් පමණ ගමන් කළ පසු මේ පුදබිමට ළඟා විය හැකිය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවට අයත් වන වීරකැටිය දිසාලේකම් කොට්ඨාසයේ මුල්ගිරිගල ග්‍රාම සේවා වසමේ 'මුල්කිරිගල පුරාණ රජමහ විහාරය' පිහිටා ඇත. පුරාණ කාලයේදී රුහුණු ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධියට පත්වූ පුදබිම් අතරේ මේ ස්ථානයද ප්‍රමුඛ වූ එක් විහාරස්ථානයකි. සී.ඩබ්ලිව්. නිකලස් මහතා පවසන අන්දමට රුහුණු ප්‍රදේශයේ රජ වූ කාවන්තිස්ස රජතුමා විසින් සමුද්ද විහාරය සාදවන ලදී. මේ අනුව විමසා බලන විට සියවස් විසි දෙකකට නොඅඩු කාලයක් තිස්සේ පැවැත එන විහාරස්ථානයක් ලෙසින් මුල්කිරිගල හඳුන්වාදිය හැකිය. මුල් කාලීන බ්‍රාහ්මී ශිලාලිපි දෙකක් මෙහි හමුවී තිබීමෙන්ද මෙහි පෞරාණික භාවය සනාථ වේ.

‍ෙදාළොස්වන සියවසේදී විහාරය 'මුහුන්ද්ගිරි' නමින් හැඳින්වූ බවද එහි පසුකාලීනව ලියැවුණු ශිලාලිපියක සඳහන් වී ඇත.
ඩොනල්ඩ් පර්ගිසන් මහතා පවසන අන්දමට ලංකාවට පැමිණි පෘතුගීසි ජාතිකයන්ගේ ලේඛනවල මුල්කිරිගල ගැන සඳහන් නොවීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් මේ පුදබිම පිළිබඳ දැන නොසිටි බවය. එසේ වුවද ඔවුන්ගෙන් පසුව ලංකාවට පැමිණි යුරෝපීය ජාතීන් මුල්කිරිගල ගැන ඉතා හොඳින් දැන සිටි බවට සාක්‍ෂි ලැබී ඇත.

මුල්ගිරි විහාරයේ භික්‍ෂුන් වහන්සේ ඉතා පුරාණ යුගයේ පටන්ම මෙහි වාසය කළ බවට ඉහතින් සඳහන් කරන ලද බ්‍රාහ්මී සෙල්ලිපි සාක්‍ෂියකි. විශාල ගල් පර්වතයක පිහිටි මේ ලෙන් විහාරය මුහුදට ආසන්නයේ කඳු ගැටයට අෑතින් මුහුද පෙනෙන මේ විහාරයට අන්වර්ථ නාමයක් ලෙසින් මුහුදු ගිරි වෙහෙර විය යුතු යැයි පූජ්‍ය ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ පවසති. ඒ අනුව මුල්ගිරි වෙහෙරේ පැරැණි නාමය මුහුදු ගිරි බවද උන්වහන්සේ සඳහන් කරති. නව වැනි දහවැනි සියවස්වලදී පුදබිම මුහුන්ද් වෙහෙර යැයි නම් කරන ලදී. ගිරි නාමයෙන් රුහුණේ පැරැණි ස්ථාන කීපයක්ම දක්නට ලැබේ. සඳගිරි වෙහෙර, බඳගිරි වෙහෙර යනු එයින් කීපයකි. කතරගම කිරිවෙහෙරෙහි කිරි යන්නද ගිරි ශබ්දයෙන් බිඳී ආවේ යැයි කඹුරුපිටියේ නාහිමියන්ගේ අදහසකි. ගිරි රට පැරැණි ගිරි වෙහෙර එය බව උන්වහන්සේගේ මතයයි.

පොළොන්නරු සමයේ දිඹුලාගල වනවාසී සඟ පරපුරේ දකුණු ප්‍රදේශයට අයත් ප්‍රධාන ශාඛාව මුල්ගිරිගලය. මුල්කිරිගල පුදබිම පිහිටි මේ කන්ද බැලූ බැල්මට එසේ පෙනුණත් මේ විශාල පර්වතය මාල කීපයකින් යුක්තය. මේ පව්වේ මාලයෙන් මාලයට විහාර හතකි. තෙවැනි මාලයේ ලෙන්වල දැනට ඇති චිත්‍ර සියල්ලම පාහේ දහඅට වැනි හා දහනව වැනි සියවසට අයත් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ වත්මන් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ (රසායන සංරක්‍ෂණ) ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. සමහර විට මේ ඇතැම් චිත්‍ර යට ඊට පැරැණි චිත්‍ර තිබිය හැකි යැයිද ඇය පැවැසුවාය.
මේ බිතු සිතුවම්වල තේලපත්ත ජාතකයේ අශ්වයා සරසා ඇත්තේ අඟනක සරසා ඇති ආකාරයෙන් යැයි පාරම්පරික ප්‍රවීණ චිත්‍ර ශිල්පී ඇස්.පී. චාල්ස් මහතා සඳහන් කරයි. උළුවස්සේ සිතුවම් කර ඇති සිංහයන් දෙදෙනාගේ මුවින් පටන් ගන්නා දෙපට ලියවැල් දෙකද සිත් ගන්නා සුලුය.
ජර්මන් ජාතික ජෝන් බොල්ජගෑන් හෙයිඩ් නම් ලේඛකයා මෙරට වසර දෙකක් තිස්සේ සිටි කාලයේදී ලංකාව ගැන ග්‍රන්ථයක් ලියා ඇත. ඒවා අතර මුල්කිරිගල අවට දර්ශනයක්ද තවත් චිත්‍රයක මැද පන්සල, බෝධීන්වහන්සේ කීපයක් හා පොල් ගස්ද චිත්‍රයට නඟා තිබේ.

මුල්කිරිගල පැමිණි බටහිර විදේශික ලේඛකයන් බොහෝ දෙනකු මේ පිළිබඳ ලියා ඇත. ඒ අතරේ බි්‍රතාන්‍ය පාලන කාලයේ රත්නපුරේ දිසාපතිව සිටි ජෝර්ජ් ටර්නර් මහතා 1982දී මුල්කිරිගලට පැමිණ මෙහි පොත්ගුලේ තිබූ මහාවංස ටීකාව වූ වංසත්ථප්පකාසිනි ග්‍රන්ථය ලබාගෙන ඇත. ඔහු විසින් මේ නිසාම මහාවංසය ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කළ හෙයින් ලංකා ඉතිහාසය, බුද්ධ ධර්මය හා පාලි සාහිත්‍යය පිළිබඳ විදේශිකයන්ට පර්යේෂණ පැවැත්වීමට එය ඉමහත් රුකුලක් වූයේය.

වත්මන් මුල්කිරිගල භික්‍ෂු පරම්පරාවේ ආරම්භක හිමියන් වූ පූජ්‍ය වටරක්ගොඩ ධම්මපාල ස්වාමින් වහන්සේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබාගෙන එවක සිංහලේ රජ වූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) රජතුමාගේ පූර්ණ අනුග්‍රහ හා සංඝරාජ හිමිපාණන්ගේ අනුශාසනා මත මුල්කිරිගල පුදබිමට වැඩම කර ඇත. උන්වහන්සේ මේ විහාරස්ථානය පිළිසකර කරවා අලුතින් විහාරයක්ද කරවා උපෝෂථඝරයක්ද ඉදිකරවීය. ඊට අමතරව මෙහි පොත්ගුලටද පොතපත සපයා ගැනීම කර ඇත. මෙහි භික්‍ෂුන්වහන්සේ නිතර නිතර වාසය කළ බවත් පොත්පත් ලිවීම මෙහි සිදුවූ බවත් මුල්කිරිගල විහාර වංසය සඳහන් කරයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය මත පූජ්‍ය වටරක්ගොඩ නායක ස්වාමින් වහන්සේ විසින් කරවන ලද දැනට රජමහ විහාරය නමින් ප්‍රකට වූ විහාර පූජා කිරීමේ පින්කමට රජතුමා විසින් එවන ලද පූජා භාණ්ඩ පිළිබඳ මහනුවර සමයේ සකසන ලද පිරුවානා පොතෙහි ඇති විහාර අස්නෙහි සඳහන් වී ඇත.

එවකට උප දිසාපතිවරයකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතාද 1909 මුල්කිරිගල විහාරය පිහිටි පර්වත මුදුනට නැඟ ඇති බවත් මැටිගත්වලට ගිය ඔහුට එහි කුඹුරු අමුණු හතළිස් පහක් මුල්කිරිගලපන්සල සතුව තිබූ බවත් දැනගන්නට ලැබී ඇත. දැනට අලුත් විහාරය නමින් හඳුන්වනු ලබන පුරාණ විහාරයක් ඇති බව එය 1921දී ප්‍රතිසංස්කරණය කරන ලද බවද එම විහාරයේ බිත්තියේ ඇති ලිපියකින් 1944 වර්ෂයේදී හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රිවරයා ලෙස සිටි ඩී.ඇම්. රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුදු පිළිමයකට නෙත් තැබීමේ උත්සවයක් පැවැත්වූ බවද සඳහන් වී ඇත.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon