ලෙනාඩ් වුල්ෆ් දෙවැනි වතාවට ලංකාවට ආපු වෙලාවේ හෙළි කළ රහස් මෙන්න

  👤  2155 readers have read this article !
2017-11-26

ලෙනාඩ් වුල්ෆ් යන නාමය මෙරට වැසියන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඒ නම මෙරට වැසියන්ට ඉතාම සමීපය. ක්‍රි.ව. 1904දී ආධුනික කනිෂ්ඨයකු ලෙස ලංකාවේ යටත් විජිත සේවාවට බැඳී යාපනය කච්චේරියට අනුයුක්තව පැමිණි ලෙනාඩ් වුල්ෆ් ක්‍රි.ව. 1908දී උසස් වීමක් ලැබ හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස සේවය කළේය. එහි අවුරුදු තුනක සේවාවකින් පසු බි්‍රතාන්‍ය යටත් විජිත සේවයෙන් ඉල්ලා අස් වූ ඔහු ක්‍රි.ව. 1911දී හම්බන්තොටින් සිය මවුරට බලා ගියේය. ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට වඩාත් ඇලුම් කළ වුල්ෆ් එම දිස්ත්‍රික්කයේ තම අත්දැකීම් අලළා 'ඍඪතචඨඥ ඪද බඩඥ ණභදඨතඥ' නමින් ග්‍රන්ථයක්ද ලිවීය. එකී ග්‍රන්ථය ලංකාවේ මෙන්ම පිටරටද පාඨකයන් අතර ජනප්‍රිය වූ අතර පසුව 'බැද්දේගම' ලෙස එය ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට පරිවර්තනය කෙරිණි.

එදා 1911 වසරේ මැයි මාසයේ පමණ එංගලන්තයට ගිය ලෙනාඩ් වුල්ෆ් හරියටම පනස් වසරකට පසු එනම් 1960 පෙබරවාරි මස යළි ලංකාවට පැමිණියේය. ලංකාවට පැමිණ දින කිහිපයකට පසු 1960 පෙබරවාරි 16 වැනිදා පනස් වසරකට පෙරාතුව තමන් සේවය කළ හම්බන්තොට දැක බලා ගැනීමට ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 81 ඉක්මවා තිබිණි.

එම වකවානුවේ බටහිර ගිරුවා පත්තුවේ ප්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙස තංගල්ලේ සේවය කළ එල්.පී. විතානාච්චි මහතා ලෙනාඩ් වුල්ෆගේ තුන්දින සංචාරයට එක්ව සිටියේය. ඉංග්‍රීසි සාහිත්‍යය, දර්ශනය, ලෝක ඉතිහාසය යන විෂයයන් පිළිබඳව විශාරද දැනුමකින් යුත් විතානච්චි මහතා එකල වෙනත් රජයේ නිලධාරීන්ට වඩා සුවිශේෂී ගුණාංගවලින් හෙබි මහත්මයකු ලෙස විජේසිංහ බෙලිගල්ල පවසා ඇත.

ලෙනාඩ් වුල්ෆ්ගේ දෙවැනි ගමනට සුප්‍රකට ලේඛක විජේසිංහ බෙලිගල්ලට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණේ එල්.පී. විතානච්චි මහතා නිසාය. අසූ වියද ඉක්මවා සිටි ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට කළ තෙදින සංචාරයේදී කළ කී දෑ ගැන විජේසිංහ බෙලිගල්ල තැබූ සටහන් ඇසුරෙන් මෙම ලිපි පෙළ මෙසේ පෙළ ගැසෙනු ඇත.
එදා යටත් විජිතවාදී ලංකාවේ හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස සේවය කොට ඉල්ලා අස් වී 1911 ආපසු එංගලන්තයට ගිය ලෙනාඩ් වුල්ෆ් ලංකාවට පැමිණියේ 50 වසරකට පසුවය. එනම් ලංකාවට නිදහස ලැබී 18 වසරකට පසුවය. වුල්ෆ්ගේ දෙවැනි ගමන හුදු විනෝද චාරිකාවක්ම නොව එදා නිදහස් ලංකාවේ සිදුවෙමින් පැවැති හා අනාගතයේ සිදුවිය යුතු සමාජ වෙනස්වීම් ගැන කියැවෙන පර්යේෂණාත්මක ගමනක් ලෙස හැඳින්විය හැකිය.

වසර 50කට පසු ලංකාවට පැමිණි ලෙනාඩ් වුල්ෆ් 1960 පෙබරවා 16 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කය දැක බලා ගැනීමට ගියේය. එවකට හම්බන්තොට දිසාපතිව සිටි සංගර් පිල්ලේ කදිර්ගාමනාදන් මහතා විසින් වුල්ෆ් උණුසුම්ව පිළිගන්නා ලදී.

දිසාපතිවරයාගේ ජීප් රිය වුල්ෆ්ගේ තෙදින හම්බන්තොට සංචාරයට වෙන්වුණු අතර එකල කච්චේරියේ ආහාර පාලන අංශයේ සේවය කළ එස්. ජයසූරිය මහතා ජීප් රියෙහි රියැදුරු ලෙස කටයුතු කළේය.

හම්බන්තොට කච්චේරියට පැමිණි ලෙනාඩ් වුල්ෆ් මහතා තම සහායිකාවගේ අතින් අල්ලාගෙන සෙමින් ගමන් කළේය. අසූ හැවිරිදි විය ඉක්මවමින් සිටි වුල්ෆ්ගේ දෑසෙහි පෙනුම තරමක් දුබලව තිබිණි. කච්චේරියේ ඉස්තෝප්පුවෙන් මිදුලට බැසගත් වුල්ෆ් දුර බලන කණ්ණාඩියකින් අෑත බැලීය.
'අවුරුදු පනහක් කියන්නේ දීර්ඝ කාලයක්. මං මේ හම්බන්තොටට ආවේ ශතවර්ෂ බාගෙකිනි යැයි කීය. 'ඒත් හම්බන්තොට කිසි දියුණුවක් පේන්න නෑ. එදාටත් වඩා පිරිහිලා ගිහින් වගේ' මෙහිදී උසස් නිලධාරීහු නිහඬව සිටියහ.

ඉංග්‍රීසි, ලතින් භාෂා දක්ෂ ලෙස දැන සිටි බූන්දල ගම්මුලාදෑනියා වූ ගුණරත්න රාජකරුණා එහිදී වුල්ෆ්ට මෙසේ කීය.
'ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයෙන් ඉංග්‍රීසි උගත් උඩරට රදල පවුල්වල අප්පොලාත්, උතුරේ ප්‍රධානීන්ගේ ඉංග්‍රීසි උගත් අයත්, පහතරට වලව්වල හාමුලාගේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී ගියා. ඔවුන් යටත් විජිත පාලනයෙන් වරප්‍රසාද රාජකාරි ගරු නම්බු ලබාගත් ලාංකිකයෝ. ඩොනමෝර් සාමිගෙ නිර්දේශ අනුව ලැබුණු පාලන ක්‍රමයෙන් පාලන තන්ත්‍රයෙහි මහජන නියෝජනය අර මුලින් කිව්ව ප්‍රබල ලාංකික පවුල්වලටම හිමි වුණා.'
'හෙඩ්මන් ඔබ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්නේ' ලෙනාඩ් වුල්ෆ් විමසීය.'

'ඔබතුමාගේ කල්‍යාණ මිත්‍ර බූන්දල මහ අල්ලිස් ගම්බාරයා මගේ මුත්තණුවන්' බූන්දල ගම්මුලාදෑනි ගුණරත්න රාජකරුණා කීය.
'ඕ.... හෝ..... බූන්දල මහ අල්ලිස් ගම්බාරයා මගේ කරුණාවන්ත මිත්‍රයෙක්. මා සමඟ හැම තැනම ගියා' ලෙනාඩ් වුල්ෆ් එසේ අසමින්ම ඔබේ මුත්තා මිය ගියා දැයි විමසීය.
'1936දී මළා. මැරුණ කාලේ වයස අවුරුදු 106යි. ගම්මුලාදෑනියා කීය.
මොවුහු මෙසේ කතාබස් කරමින් කච්චේරි කන්දෙහි තිබූ තානායමට පැමිණියහ.

'දැන් බූන්දල දියුණු ඇති. මං ගිහිල්ලත් පනස් අවුරුද්දක් වුණා. දියුණු කරන්න හොඳ සම්පත් බහුල ගම්මානයක් තමයි බූන්දල. මුහුද ඉතාම ආසන්නයි. මලල මහ කළපුව ගමට ඉහළින් තියෙනවා. මල්ආරෙන් ලැබෙන වතුර මලට කළපුවට එකතු වෙනවා. අක්කර අටසියයක් විශාල බූන්දල ලේවාය දියුණු කළාම බූන්දල දියුණු කරන්න පුළුවන්' ලෙනාඩ් වුල්ෆ් කීය.

කච්චේරි තානායමෙහි සිට ඔවුහු තවදුරටත් අල්ලාප සල්ලාපයෙහි යෙදුණාහ.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1920දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී මට මුණගැසී අපි සාකච්ඡා කළා. මගෙ 'විලේජ් ඉන් ද ජංගල්' දෙවැනි මුද්‍රණය නිකුත් කළේ 1923දී. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තිබුණු සමුළුවකදී බණ්ඩාරනායක මට නැවැත මුණගැහුණා.
බණ්ඩාරනායක වැනි අයකු විසින්ම ලංකාවේ රාජකාරි භාෂාව වශයෙන් සිංහල භාෂාව නීතිගත කරන්නට යෑම ගැන අසා මං පුදුමයට පත් වුණා. මන්ද ලංකාවට නිදහස ලබා ගැනීමට මූලික වුණු උතුරේ දෙමළ ජනතාවට එයින් බලගතු අසාධාරණයක් වන නිසා. බණ්ඩාරනායක එංගලන්තයේදී හොඳ එංගලන්ත සභා බැතිමතෙක්. ඔහු නොවරදවාම දේව මෙහෙයට සහභාගි වුණා.
ඒ වගේම යාපනෙන් පැමිණ එංගලන්තයේ ඉගෙනීම කළ දෙමළ හිතවතුන් සමඟ සබඳකම් පැවැත්වූවා. 1925දී ඔහු එංගලන්තයෙන් ආපසු ලංකාවට පැමිණියා. අපි ඔහුට සුබ පැතුවා.

ආසියාවේ යටත් විජිතවලින් පැමිණ සිටි ඒ ඒ රටවල ප්‍රධාන පවුල්වල ළමයි එංගලන්තයට ආයුබෝවන් කීවේ යම් දිනක අපි ආපසු ලන්ඩනයට එන්නේ අපේ රටවල් පාලනය කරන්නන් ලෙසින් යැයි අනාවැකි හුවා දක්වමින්. ලංකාවේ බණ්ඩාරනායක නමැති ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි අධිනීතිඥයාට ලංකාව පෙනුණේ වැරැදි අන්දමටයි.
බලයට පත්වීමේ පහසු වූද, කෙටි වූද, අර්ථ ශූන්‍ය වූද, අදූරදර්ශී වූද, මාර්ගය ලෙසින් මේ චතුර කථිකයා සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඉණිමගට නැංගා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස සම්මත කර ගැනීම පමාවන විට සිංහල භාෂා ප්‍රේමීන් මන්ත්‍රි මණ්ඩලය වට කළ බව එංගලන්තයේ ප්‍රවෘත්ති සිරස්තලවලින් කියැවුණා' කී ලෙනාඩ් වුල්ෆ් සත්‍යය සඟවන්නට බැරිවා වගේම මේ පිළිබඳව කදිම පින්තූරයක් ලන්ඩන් පුවත්පතක පළ වූ බව පැවැසුවේය.

'ඒ පින්තූරය මොකක්ද' යි බූන්දල ගම්මුලාදෑනි ගුණරත්න රාජකරුණා රාලහාමි වුල්ෆ්ගෙන් ඇසීය.
'සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම ප්‍රමාද වීම ගැන සටන්කාමී වියරුවෙන් ලංකාවේ මැතිසබය වට කළ සිංහල මිනිසුන් ඇමැතීමට පැමිණි බණ්ඩාරනායක එහි මිටි තාප්පයක් මතට නැඟ කතා කරන විට ඔහුගේ දෙපැත්තෙන් පොන්නම්බලම් අරුණාචලම් හා රාමනාදන් සොහොයුරන්ගේ එහි ඇති සිහිවටන ප්‍රතිමාද ඡායාරූප ගත වී පුවත්පතේ පළ වී තිබුණා' යැයි වුල්ෆ් මහතා කීය. දෙමළ ජනතාවත්, දෙමළ භාෂාවත් අමතක කොට සිංහල භාෂාව පමණක් නීතිගත කිරීමේ අසාධාරණය එකී පින්තූරවලින් මොනවට පැහැදිලි කර තිබූ බව වුල්ෆ් පෙන්වා දුන්නේය.

'ලංකාවට නිදහස ලබා ගැනීමට දෙමළ ප්‍රධානීන් කළ සේවය අගමැති බණ්ඩාරනායක පහසුවෙන්ම අමතක කළා. සිංහලයන්ගේ ඡන්දයෙන් පහසුවෙන්ම නායකත්වය ලබාගැනීම බණ්ඩාරනායක ගොඩවුණේ ඉණිමගේ වැරැදි පැත්තෙන්. එහෙම වැරැදි පැත්තෙන් නැග්ගාට පියවරෙන් දෙකෙන් ඇද වැටෙනවා. අගමැති බණ්ඩාරනායක හදිසියේම ඝාතනය කළ ප්‍රවෘත්තිය විනාඩි කිහිපයකින්ම එංගලන්තයට ආරංචි වුණා. බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව ආණ්ඩුවේ භාෂාව කළා වගේ දෙමළ භාෂාවත් ආණ්ඩුවේ භාෂාව කළ යුතුව තිබුණා. මගේ කල්පනාව එහෙමයි' ලෙනාඩ් වුල්ෆ් කීය.

මතු සම්බන්ධයි
නන්දන තෙන්නකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon