දේශපාලකයන්ගෙන් බේරිලා නිදහසේ ජීවත් වෙන්න ෆැසිපික් සාගරයේ ඉදිවන පාවෙන රාජ්‍ය

  👤  1864 readers have read this article !
2017-11-26

ලෝකයේ ප්‍රථම "පාවෙන රාජ්‍ය" වසර 2020 දී තහිටි රාජ්‍යයට නුදුරු පැසිපික් සාගරයේ බිහිවීමට නියමිතයි. මෙම දූපත හෝටල්, නිවාස, කාර්යාල, අවන්හල් ආදී බොහෝ අංගවලින් සමන්විත වන අතර එහි ඉදිකිරීම් කටයුතු "සීස්ටීඩින් ඉන්ස්ටිටියුට්" නම් ආයතනයක් මඟින් සිදුකෙරෙනවා. මෙම පාවෙන රාජ්‍ය තමන් ඉදිකරන්නේ මානව සංහතියට දේශපාලනඥයන්ගෙන් විමුක්තියක් ලබාදීමේ අරමුණින් යුතුව බව එම ආයතනය සඳහන් කරනවා.

මෙම පෙරළිකාර සැලසුම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටින්නේ ලොව අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කටයුතු හා මුදල් හුවමාරු සඳහා ප්‍රකට පේපෑල් ජාලයේ නිර්මාතෘවරයකු වන පීටර් තියෙල් විසිනුයි. තමන්ගේම නීති රීති පද්ධතියක් අනුව ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍යයක් ජාත්‍යන්තර මුහුදේ ස්ථාපිත කිරීම කලක සිට ඔහු දුටු සිහිනයක්.

සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ පිළිබඳව තම අදහස් දැක්වූ සීස්ටිඩින් ඉන්ස්ටිටියුට් හි සභාපති ජෝ කුවර්ක් සඳහන් කළේ 2050 පමණ වන විට එකිනෙකට වෙනස් තමන්ටම ආවේණික වූ රාජ්‍ය පාලනයක් සහිත මෙවැනි පාවෙන රාජ්‍යයන් දහස් ගණනක් බිහිවනු දැක්ම තම අපේක්‍ෂාව බවයි. කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්‍ෂාවෙන් දියත් නොකෙරෙන මෙම ව්‍යාපෘතියේ එකම අරමුණ වනුයේ දේශපාලනඥයන්ගෙන් මානව සම්පතට විමුක්තියක් ලබාදීම බව ද ඔහු සඳහන් කළා.

මෙම පාවෙන රාජ්‍යයන් ජලජ ශාක සහ සතුන් බෝ කිරීමේ ගොවිපොළවල්, වෛද්‍ය පර්යේෂණ ආයතන තිරසර බල ශක්ති බලාගාර ආදියෙන් සමන්විත වන අතර එම රාජ්‍යයේ තනි ඒකක ඉදි කරනු ලබන්නේ සෘජු කෝණාස්‍ර, පංචාස්‍ර ආදී හැඩ තලවලින් යුතුවයි. ඊට හේතුව එහි නිවැසියන්ගේ හිතුමනාපයට ඒවා එක් එක් තැනකට රැගෙන ගොස් එකිනෙක ඉතා පහසුවෙන් නැවත ස්ථානගත කිරීමේ පහසුව ලබාදීම සඳහායි.

මෙම ගොඩනැඟිලි ඒකක තනනු ලබන පාවෙන වේදිකා දිගින් මීටර් 50ක් සහ උසින් මීටර් 50ක් වන අතර ඒ සඳහා යොදා ගනු ලබන්නේ වසර 100ක් පමණ කල් පවතින වෙර ගැන්වූ සිමෙන්තියි. මෙහි ඉදිකෙරෙන ගොඩනැඟිලි හරිත පියැසිවලින් යුක්ත වන අතර ඒවා විවිධ වගාවන්වලින් ආවරණය කෙරෙනු ඇත. එසේම මෙම ගොඩනැඟිලි සඳහා බම්බු, පොල්කෙඳි දැව හා ප්‍රතිචක්‍රියකරණයට ලක් කළ හැකි ලෝහ සහ ප්ලාස්ටික් ආදී පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගැනීමටද නිර්මාණකරුවන් බලාපොරොත්තු වෙනවා.
කෙසේ හෝ මෙහි ඉදිකිරීම්වල මූලික පියවර සඳහා නිර්මාණකරුවන්ට ෆෙන්ච් පොලිනීසියා රජයෙන් අනුමැතිය ලබා ගත යුතු වෙනවා. ඒ ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඉදිකිරීම් කටයුතු කිරීමට පෙර තම මෙහෙයුම් සඳහා ස්ථානගත වීමට ස්ථානයක් අවශ්‍ය බැවින්. මේ සඳහා ෆ්‍රෙන්ච් පොලිනීසියා රජය (2,00,000ක පමණ ජනගහනයකින් සමන්විත කුඩා රාජ්‍යයක්) වෙරළ තීරයේ අක්කර 100ක පමණ ප්‍රදේශයක් සීස්ටීඩින් ආයතනය සඳහා වෙන් කොට දීමට පියවර ගෙන තිබෙනවා.

මේ ව්‍යාපෘතිය සඳහා ෆ්‍රෙන්ච් පොලනීසියා රජය විශාල උනන්දුවක් දැක්වීමට එක් හේතුවක් වන්නේ දූපත් 118කින් සමන්විත තම රාජ්‍යය සාගරයේ ජල මට්ටම ඉහළ යෑමෙන් යටවීමේ අවදානමට මුහුණ පා සිටින නිසයි. පාවෙන රාජ්‍යයන් බිහිවීම තුළින් මෙම අවදානමට නොබියව මුහුණ දිය හැකි බවයි එහි පාලකයන්ගේ අදහස් වන්නේ. එසේම මෙම පාවෙන රාජ්‍යයන් නව ආකාරයේ රාජ්‍ය ක්‍රමයන් මෙන්ම නව කෘෂි කාර්මික ක්‍රමෝපායන් ආදියෙන් යුතු බව ඔවුන් සඳහන් කරනවා.

මෙහි ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ සීස්ටීඩින් සමාගම සාගර ජීව විද්‍යාඥයන්, නාවික ඉන්ජිනේරුවන්, ජලජ ජීවී වගාකරුවන්, වෛද්‍ය පර්යේෂකයන්, පරිසරවේදීන්, කලාකරුවන් ආදී 60ක පැවැත්මට අවශ්‍ය වන විවිධාකාර වෘත්තිකයන්ගෙන් සමන්විතයි. ඔවුන්ගේ සැලසුම් අනුව මෙම පාවෙන රාජ්‍ය තුළ ජලජ ශාක හා සත්ත්ව ගොවිපොළ, පාවෙන රෝහල්, වෛද්‍ය පර්යේෂණ දූපත් සහ තිරසර බලශක්ති බලාගාර ඉදිකිරීමට සැලසුම් කොට තිබෙනවා. ඒ තුළින් සීස්ටීඩින් ආයතනය අපේක්‍ෂා කරනුයේ මීළඟ නව ලෝකය සඳහා ව්‍යවසායකත්වය නිදහස උපරිම තලයකට රැගෙන ඒමයි.

මේ තුළින් මිනිසුන්ගේ විවිධත්වය සඳහා විශාල විවිධත්වයක් සහිත රාජ්‍යයන් බිහි කිරීමේ හැකියාව අපට ලැබෙනවා.
මේ පිළිබඳව තම අදහස් දක්වමින් සීස්ටීඩින් නිර්මාතෘවරයකු වන පීටර් තියෙල් පවසනවා.

මෙම පාවෙන රාජ්‍යයන්හි සුවිශේෂීත්වය වනුයේ රාජ්‍ය තුළ එක් එක් නගරද එහි වැසියන් විසින් නිර්මාණය කරගත් පාලනයක් මඟින් පාලනය කිරීමයි. යම් හෙයකින් එම නගර පාලනය තමන්ගේ සිත් නොගන්නේ නම් මේ නිවාස කිහිපය පිහිටි කුඩා දූපත යහපාලනයක් සහිත පාවෙන නගරයක් වෙත පැදගෙන ගොස් ඒ හා සම්බන්ධ වීමේ හැකියාව මෙහි වැසියන්ට ලැබෙනවා. එබැවින් මෙහි පාලකයන්ටද නිතරම තම වැසියන් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කිරීමට සිදුවීම විශේෂයි.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon