චීනය ගැන පොත් ලියන සමන් දැක්කම මට මතක් වෙන්නේ කොණ්ඩෙ බැඳපු චීනා

  👤  1929 readers have read this article !
2017-11-26

එකම පුද්ගලයකු ලියූ, එකම පොතක් ගැන එකම දේශනය එක ළඟ සති කිහිපයක් තුළ දෙවතාවක් පවත්වන්නට සිදුවීම, කා තුළවත් සතුට දනවන කාරණයක් නොවෙයි. මා දැන් ඉෂ්ට සිද්ධ කරන්නේ ඒ සතුට නොදනවන කාරණය මට එහෙම කරන්න සිද්ධ වුණේ කටමැත දෙඩීමේ විපාකයන් හැටියටයි.

සමන්ගේ මේ පොත, 'සක්වල පියස දිගේ' ගිය මාසේ, චීනයේ බෙයිජිං නුවර දී කලඑළි දැක්කා. ප්‍රධාන දේශනය කළේ මම. ප්‍රධාන දේශනය කියල කිව්වට ඒක මහා පදරංග ජාතකේ වගේ දීර්ඝ දේශනයක් නෙවෙයි. විනාඩි පහක හයක දේශනයක්. චීන පරිවර්තනයටත් එක්ක විනාඩි 10ක් ගත වෙන්න ඇති. දේශනය අවසානයේදී මම කිව්වා, පැයක් හමාරක් කතා කළ යුතු කාරණා, මං විනාඩි හත අටකට සීමා කළේ පාසල් සමයේ පන්ති කාමරයේදී සාරාංශ ලිවීමට මා දැක්වූ දක්ෂතාව නිසයි කියලා. කතාව ඉවර වුණු ගමන් සමන් කිව්වා, ඒ සාරාංශගත කිරීම ගැන හිතේ කනස්සල්ලක් ඇති කර ගන්න එපා, කරන්න හිතා ගත්තු සම්පූර්ණ කතාව, ලංකාවේදී කරන්න, හෝල් එක බුක් කරල තියෙන්නෙ කියලා. ඒ නිසා තමයි අද මං මේ කතාව කරන්නෙ. ඒත් එක දෙයක් කියන්න ඕනෙ. ඒ ඉස්කෝලවල සාරාංශ ලියන්න මිසක්, සාරාංශ දික් කරන්න උගන්නන්නෙ නැහැයි කියන කාරණාව. ඒ නිසා මේක අසාර්ථක වෑයමක් වෙන්න පුළුවන්.

චීනය ගැන පොත් ලියන සමන් දැක්කහම මට මුලින්ම මතක් වෙන්නෙ 'කොණ්ඩෙ බැඳපු චීනා' කියන කියමන. ඒක තවමත් අප අතර භාවිත වන පැරැණි කියමනක්. ඒත් ඒ කියමන මොන හේතුවක් නිසා හැදිච්ච එකක්ද කියන එක මට හමුවුණු කිසිම ජනශ්‍රැති විද්‍යාඥයෙක් දන්නෙ නැහැ. ඒ වුණත් කොණ්ඩෙ බැඳපු චීන්නුත් කොණ්ඩෙ කපපු චීන්නුත් ඉස්සර බයිසිකල්වල රෙදි බැඳගෙන ගෙවල් ගානේ ගියා. නූඩ්ල්ස් හදලා කොළඹ අවට ප්‍රදේශවල විකිණුවා. දත් බැන්දා. ඒ පැරැණි චීන්නුන්ගෙන් සමහරු තවමත් මරදානේ පුංචි කඩ කාමරවල ඉන්නවා.

ඉස්සර අපේ ගෙවල්වලට ඇවිත් අපට නූඩ්ල්ස් විකුණපු චීන්නු පස්සෙ කාලෙක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හදලා අපට පරිත්‍යාග කරනවා. පෝට්සිටි එක හදනවා. හම්බන්තොට මාගම්පුර වරාය බදු ගන්නවා. තවත් ගත්ත මුකුත් තියෙනවද කියලා විපරම් කරනවා. මට දේවල් දෙන්නත් හදනවා. මේ සැරේ ගිය වෙලාවෙ සමන්ට චීන රූපවාහිනි නාළිකාවකුත් දෙන්න හැදුවා. දැනටත් සිංහල ගුවන්විදුලි නාලිකාවක් බෙයිජිං නුවර ඉඳලා විකාශය කෙරෙනවා. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයක් තියෙනවා. ඒ සිංහලාංශයේ ඉගෙන ගත්තු චීන්නු තරම් හොඳට සිංහල කතා කරන විදේශිකයෝ මේ ලෝකෙ නැහැ. ඇත්තම කිව්වොත් අපේ මිනිස්සුන්ටත් වඩා හොඳයි. වචන උච්චාරණයේදී එක ඉස්පිල්ලක් පාපිල්ලක් වරද්දන්නෙ නැහැ. එක ඉංගී්‍රසි වචනයක් මිශ්‍ර කරන්නෙ නැහැ.

ලෝකයේ අනෙක් බොහෝ රටවලට වඩා චීනය අපේ රටේ ප්‍රසිද්ධයි. මේ දවස්වල නම් චීනය ප්‍රසිද්ධියට පත්වෙල තියෙන්නෙ පිකටිං ව්‍යාපාරවල චීනය ගැන කියවෙන නිසා. ඒත් ඉස්සර චීනය ප්‍රසිද්ධියට පත් වුණේ, චීන මහා ප්‍රාකාරය නිසා, ෆාහියන්, හියුං සියං වැනි චීන බෞද්ධ භික්ෂුන්ගේ දේශාටන වාර්තා නිසා. කොන්ෆියුසියස් වැනි චීන දාර්ශනිකයන් නිසා. මාඕ සේතුං වැනි ජන නායකයන් නිසා. බෙයිජිං ඔපෙරාව නිසා. 38 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී 'ගෝල්ඩන් බෙයාර්' සම්මානය හිමි කරගත් 'රෙඩ් සෝගම්' (1987) වැනි චිත්‍රපට නිසා. සිංහලට නැඟුණ චීන සාහිත්‍යය නිසා. ඒ කියන්නේ ආනන්ද කුමාර සිංහලට නැඟූ බාජින්ගේ 'පවුල', ඒ. පී. ගුණරත්න සිංහලට නැඟූ චූ චෙං එන්ගේ 'වානරයා', ධර්මසිරි ජයකොඩි සිංහලට නැඟූ යං ෂුවොගේ 'හිමපියලි', ඊ. ඇස්. රත්නවීර සිංහලට නැඟූ කාඕ _ යූ - පාඕගේ 'මගේ කුමර දිවිය', හරිශ්චන්ද්‍ර විජයතුංග සිංහලට නැඟූ 'මාඕ සේතුංගේ කලාව හා සාහිත්‍ය', ගුණදාස ලියනගේ සිංහලට නැඟූ 'චීන පෙම් කතා', විමල් දිසානායක සිංහලට නැඟූ 'පැරණි චීන කවි' වැනි කෘති නිසා.
අප චීනය ගැන කොතරම් අසා තිබුණත් කියවා තිබුණත් අවංකවම අප චීනය දැක්කේ සමන් 2012දී පළ කළ 'සේද මාවත දිගේ' කෘතියෙන්. එහි ආ සංචාරක සටහන් 31 ම අතිශය සෞන්දර්යවාදීයි. 'සක්වල පියස දිගේ', සමන් චීනය ගැන ලියන දෙවැනි පොත. එය පළමුවැන්නේ දිගුවක් තමයි. ඒත් දිගුවක් නෙවෙයි. ඒකට හේතුව, පළමුවැන්නට වඩා බොහෝ වෙනස් වීම. මේ පොත පළමුවැන්නට වඩා දේශපාලනිකයි, සමාජීයයි, නැඹුරුයි, අර්ථ සම්පන්නයි.

සමන්, සිය කෘතිය ඔස්සේ අද දවසට, ශ්‍රී ලාංකේය සමාජයට, ගෙන එන වැදගත්ම පණිවුඩය නම් හොරකමට, අල්ලසට, දූෂණයට එරෙහිව වත්මන් චීන ජනාධිපතිවරයා ගෙන ඇති සෘජු, දැඩි, අනම්‍ය, අචල, අවංක, විධිමත්, බලවත් පියවර පිළිබඳ එළිදරව්වයි.

වත්මන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඒ පදවියට පත් වුණේ 2012 අවුරුද්දේ. ඒ පදවිය ලබන්ට කලින් ඉඳලාම ඔහු පක්ෂ සම්මේලනවලදී රට නංවන්ට නම් රට තුළ සිදුවන වංචාවට හා දූෂණයට වැට බැඳිය යුතු බව අවධාරණය කර තිබුණා. සමන් චීනයට යන්නේ මේ ප්‍රතිපත්ති සක්‍රීය වෙමින් තිබුණ අවදියක. ඒ විතරක් නෙවෙයි, දූෂණ හා වංචා පිළිබඳ විනය පරීක්ෂණ පිළිබඳ මධ්‍යම කොමිසම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක් ද ඔහුගේ සංචාරයට ඇතුළත් වෙනවා. ඒ අනුව සමන් අපට මෙබඳු කරුණු අනාවරණය කරනවා.
මේ සමන් උපුටා දක්වන ෂී ජින්පිං ජනාධිපතිතුමාගේ වචන: අප පුංචි මැසි මදුරුන් පමණක් නොව කොටින්වද, ඉහළ අහසේ සරන මකරුන් පවා, අල්ලස් දැලට හසුකරගත යුතුයි. අපිරිසුදු දෑත් ඇති කළු බැටළුවන් පන්නා දැමිය යුතුයි. අල්ලසට හෝ දූෂණයට වරදකරු වන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට වුව ලැබෙන දඬුවම මරණයයි. ඒ මරණීය දඬුවම, ජීවිතාන්ත සිර දඬුවමක් දක්වා ලිහිල් වන්නේ නැත. යහපත් කල්ක්‍රියාව අනුව වසර 20 දක්වා අඩු වන්නේ නැත. විශේෂ ජනාධිපති සමාවකට යටත් වන්නේ නැත.

සමන්ට අනුව ෂී ජින්පිංගේ වචන ඒ විදියටම ක්‍රියාත්මක වුණා. අමරිකානු ඩොලර් බිලියන 14ක් වංචා කළ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයා චුදිතයෙක් වුණා. චොන්චිං පළාතේ කොමියුනිස්ට් පක්ෂ නායකයා සහ දලියෑන් පුරයේ නගරාධිපති වූ ෂිලායි චුදිතයෙක් වුණා.

දූෂණ විරෝධී වැඩ පිළිවෙලේ මධ්‍යම කොමිසමේ මහලේකම් ක්වෙයි ෂොපෙං හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව සමන්ට ලැබෙනවා. ඒ අනුව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට චීනය වුවත් මේ අල්ලස් හා දූෂණ විරෝධී වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සමන්ට සෘජුව දැකගන්ට ලැබෙනවා. උතුරු චීනය, ඊසාන දිග චීනය, නැඟෙනහිර චීනය, මධ්‍යම සහ දකුණු චීනය, නිරිතදිග චීනය, වයඹ චීනය සඳහා වූ දෙපාර්තමේන්තු 6ක් ද ඇතුළත්ව දෙපාර්තමෙන්තු 27කින් සමස්ත චීනයම ආවරණය වන පරිදි විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ඇති ආයතන 5658ක්. සේවකයන්ගේ සංඛ්‍යාව 22,090ක්. මේවායෙහි සේවය කරන්නේ නීතිය, ආර්ථිකය, දේශපාලන විද්‍යාව, කළමනාකරණය ආදී විෂය පිළිබඳ උපාධිධාරීන්. දූෂණ මැඬලීම ක්‍රියාත්මක කෙරෙන අතර කොන්ෆියුසියස් දර්ශනයද පාදක කර ගනිමින් දූෂණ බැඬලීමේ අවශතාව ගැන බිම් මට්ටමේ පටන් විශ්වවිද්‍යාල මට්ටම දක්වා දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් දිනපතා පුවත්පත්, සඟරා, පෝස්ටර්, කටවුට් ඇතුළු සන්නිවේදන මාර්ගවලින් ලැබෙන්නේ ඉහළම අනුබලයක්.

මේ විස්තර අසා සිටින සමන් ද ඇතුළු ඒ සාකච්ඡාවට සහභාගි වන තුන්වන ලෝකයේ රටවල්වල නියෝජිතයන්ට පොළොව පලාගෙන යන්න තරම් ලජ්ජාවක් උපදිනවා. පාකිස්තාන්කාරයා කියන්නේ "අපේ රටවල ඇති දූෂණ මැඬලීමේ ආයතන, දත් හා නිය ගැලවුණු නාකි ව්‍යාඝ්‍රයන් වගේ" කියලයි. සමන් කියන්නේ "අපේ රටවල දූෂණ මැඬලීමේ ගොදුරු බවට පත් වන්නේ කෝඳුරුවන් සහ මැස්සන් පමණක්" බවයි.

සමන් කියපු කතාව, දිනපතාම ඔප්පු වෙමින් තිබෙනවා. අඹගෙඩි 3ක් හොරෙන් කඩපු මහලු මවට දැඩි දඬුවම්. ඉස්කෝලෙට ළමයෙක් දාන්න රු. 10,000ක් ගත් විදුහල්පතිට දැඩි දඬුවම්, අවුරුදු 2500ක ලංකා ඉතිහාසයේ ලොකුම ජනතා මුදල් මංකොල්ලය බැඳුම්කර මගඩිය කළ පට්ට හොරු තවමත් නිදැල්ලේ.
තරාදියත් උස්සගෙන නීතියෙ යුවතිය ඉන්නෙ ඇස් බැඳගෙන නම් තමයි. ඒත් ඒ බැඳගෙන ඉන්න රෙදි කෑල්ල එක්කො දිරලා. පාංකඩයක් වෙලා. නැත්නම් ඒකෙ හිල්. එහෙමයි රටේ ජනතාවට හිතෙන්නෙ. සමන්, "සොඳුරු සැරිසර' මාතෘකාව යටතේ ලියූ 'හනමිචිය දිගේ', 'සේද මාවත දිගේ', 'සරයත් නදිය දිගේ' යන සංචාරක සටහන් මාලාවම චමත්කාරයෙන් ආඪ්‍ය රචනා. 'සක්වල පියස දිගේ' නමැති මේ කෘතියෙත් චමත්කාරජනක රචනා පෙළක් නැතුවා නෙවෙයි, එහෙත් මෙහි කැපී පෙනෙන්නේ සමාජ විචාරාත්මක රචනා කලින් පැවසූ පරිදිම ඒවා අද, මේ මොහොතේ අපේ රටට ගළපා ගත හැකි දත්ත සහිත රචනා. මම මෙතනදි කතා කරන්නෙත් ඒ රචනා ගැන විතරමයි. සමන් මෙහෙම ලියනවා: "ශ්‍රී ලංකාවේ අනුමැතිය සහ අවසරදීම් සම්බන්ධ ක්ෂේත්‍රයක් දූෂණයේ තවාන් බව අපි අත්විඳ ඇත්තෙමු. නිවෙසක සැලසුම අනුමත කරවා ගන්නට, කර්මාන්ත ශාලාවක් අරඹන්නට, ජලය හා විදුලිය ලබා ගන්නට පමණක් නොව ටෙලි නාට්‍යයක් සඳහා ගුවන් කාලය ලබා ගන්නටත් අත යට ගනුදෙනු කළ යුතු බව අප රට කවරුත් දන්නා කියන ප්‍රසිද්ධ රහස්ය." ඔව් හිටපු ඇමැතිවරයෙක් ඉල්ලුවා, ජාතික රූපවාහියේ හරි අයිටීඑන් එකේ හරි ටෙලි නාට්‍යයක, එක එපිසෝඩ් එකට රුපියල් 50,000 ගානේ. මල්ලිගෙ එකවුන්ට් එකටයි සල්ලි වැටුණෙ. නැත්නම් ලිංගික අල්ලසක්. ඇමැතියා ලබාගත් ලිංගික අල්ලස් ගැන පාපොච්චාරණය කරන්නෙ ඒ ටෙලි නිළියන්මයි. අම්මපා චීනේ හිටිය නම් මරණ එක මරණවා. එතකොට තමයි, හිතෙන්නෙ හම්බන්තොටයි පෝට්සිටියයි විතරක් නෙමෙයි, මුළු ලංකාවම චීනෙට බදු දෙනවනං හොඳයි කියල. ඒත් අපරාදෙ කියන්න බෑ, දැන් ඉන්න ජනමාධ්‍ය ඇමැතිතුමා නම් ඔය දෙයාකාරයෙන් මොන ආකාරයකවත් අල්ලස් ගන්නෙ නෑ. මං දන්න තරමට රූපවාහිනි සභාපතිතුමා අල්ලස් ගන්නෙත් නෑ. ගුවන් විදුලි සභාපතිතුමා අල්ලස් ගන්නෙත් නෑ. අයිටීඑන් සභාපතිතුමා අල්ලස් ගන්නෙත් නෑ. ඒ උදවියට බය නැතුව චීනෙටත් ගිහින් රස්සාවක් කරන්න පුළුවන්.

අපේ රටේ ජනපතිවරයෙක් ෂී- ජින්පිං මහත්තයා වාගේ දූෂණ විරෝධී ව්‍යාපාරයක් මෙහෙයවූවා නම් මොකද වෙන්නේ? ඊළඟ ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන් පරදිනවා. සියලු දූෂිත බලවේග එකට එකතු වෙලා අර මිනිහ අතුගාලම දානවා. චීනයේ මොකද වුණේ? පසුගියදා පැවැත්වුණු චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි කොංග්‍රස් සමුළුවේදී ෂී-ජින්පිංගේ නාමය කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නට පක්ෂ සමුළුව ඒකමතිකව තීන්දු කළා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති මාඕ සේතුංගෙන් පස්සෙ ජීවතුන් අතර සිටියදී ව්‍යවස්ථාවට නම ඇතුළත් වූ එකම ජනාධිපතිවරයා බවට ෂී-ජින්පිං පත් වුණා. මාඕ සේතුංගෙන් පසු පහළ වූ බලවත්ම නායකයා ලෙස ෂී-ජින්පින්ව, පිළිගත්තා. ඔහු, ඔහුගේ මුළු ජීවිත කාලය තුළම චීනයේ පරම නායකයා ලෙස සිටිතියි කියාත් චීන ජනයා විශ්වාස කරනවා.

(මතු සම්බන්ධයි)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon