පැරීසිය සුන්දර නගරයක් වන්නේ විවිධ ජාතීන් වෙසෙන නිසා

  👤  2080 readers have read this article !
2017-11-26

ලක්‍ෂ විසි දෙකකින් යුතු ජනගහනයක් වෙසෙන පැරිස් නගරය යුරෝපා සංගමයේ වැඩිම ජනගහනයක් සිටින නගරය වේ. පැරිස් නුවර ප්‍රථම කාන්තා නගරාධිපතිනිය වන ප්‍රංශ සමාජවාදී පක්‍ෂයේ අෑන් හිඩාල්ගෝ පැරීසිය ලෝකයේ සුවදායීම නගරය කිරීමට පෙරුම් පුරයි.

තමාට අවශ්‍ය දැඩි තීන්දු තීරණ නොබියව ගන්නා ඇයව දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ "සිනිඳු වෙල්වට් අත් මේස් එකකින් වසන ලද මිට මොළවාගත් යකඩ අතක්" ලෙසය. අෑන් හිඩාල්ගෝ දකුණු දිග ස්පාඤ්ඤයේ 1959 ජුනි 19 දින සාමාන්‍ය පවුලක උපත ලැබුවාය. 1961 ඇතිවන පැසිස්ට්වාදී සිවිල් යුද්ධයේදී වාමාංශික අදහස් දැරූ විදුලි කාර්මිකයකු වූ ඇගේ පියාට දිවි ගලවා ගැනීමට සිය පවුලත් සමඟ රහසේ ප්‍රංශයට පලා යෑමට සිදුවිය. මෙසේ දෙහැවිරිදි වියේදී ප්‍රංශයට පැමිණෙන ඇය සියලු දුෂ්කරතා ජය ගනිමින් පාසල් අධ්‍යාපනයේදී ඉහළ දක්‍ෂතා පෙන්වූවාය. ඒ නිසා වයස අවුරුදු 14දී ඇයට ප්‍රංශ පුරවැසි භාවය හිමි විය. මේ ඇය පළ කළ අදහස් බිඳකි.

"මා කුඩා කාලයේ අප වැනි ව අසරණව අනාථව විවිධ රටවලින් පැමිණි අනෙක් සරණාගතයන් සමඟ "හා කූඩු" වැනි අයහපත් මුඩුක්කුවල ගාල්වීමට අපට සිදුවුණා. ඒ නිසා යහපත් නිවාස වැඩපිළිවෙළක් ගැන මා සිහින දැක්කේ කුඩා වයසේ සිටයි. ධනපති පන්තිය සඳහා වෙන් කරගෙන තිබෙන බටහිර ප්‍රංශයේ විදේශ සංක්‍රමණිකයන් ස¼දහා නිවාස දහස් ගණන් දැන් ඉදිවෙමින් පවතිනවා. "ඇයි අප අතරට විදේශිකයන් ගෙන එන්නේ" අසන බටහිර වෙසෙන ඉහළ පැලැන්තිය මේ ගැන දක්වන්නේ දැඩි විරෝධයක්. එහෙත් පැරිස් නගරය තුළ බහුවාර්ගික, බහු ආගමික මිශ්‍ර සංස්කෘතියකින් හෙබි ජනතාවක් සිටීම මා දකින්නේ සුබවාදී දෙයක් හැටියට. අප සෑම ජන කොටසක් සමඟම සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීමට පුරුදු විය යුතුයි. ඔවුන්ට සමාන අවස්ථා දෙමින් සියලු දෙනාගේම හැකියාවන් අපේ රටේ දියුණුව අන්තර්ග්‍රහණය කරගත යුතුයි. නගරයක් විවිධත්වයෙන් යුතු ශෝභමාන නගරයක් බවට පත්වන්නේ එවිටයි."

ජීවිතය විඳවන නොව විඳින පරිසරයක් ජනතාවට ලබා දීම ඇගේ අරමුණ වේ. ඒ සඳහා අවශ්‍ය දැවැන්ත ව්‍යාපෘති දැනටමත් ඉදිකෙරෙමින් පවතී. නිවාස සංකීර්ණ දස දහසක්, ළදරු නිකේතන පන්දහසක් සැදීම ඇගේ එක් මැතිවරණ පොරොන්දුවකි. 2016 දී වායු දූෂණය අවම කිරීමට ඇය විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. ර්ථීචපඪඵ ඕපඥචබඩඥඵ එනම් "පැරීසිය හුස්ම ගනු ලබයි." ඒ එක් ව්‍යාපෘතියකි. ඒ යටතේ මාසයේ පළමු ඉරිදා නගරය වෙත එන වාහන අත්හිටුවා ජනතාවට පාපැදි, විදුලි කාර් සහ පොදු ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙන ලදී.

"මට අවශ්‍ය 2020 වන විට කාබන් ඉන්ධන දහනයට නැවැතීමේ තිත තබන්නයි. දැනටමත් අපි විකල්ප ප්‍රවාහන මාධ්‍යය දියුණු කිරීමෙන් නගරය තුළ මෝටර් රථ හිමිකරුවන් 40% දක්වා පහත දමා තියෙනවා." ඇය පැවැසුවාය. නගර මධ්‍යයේ විවිධ ස්ථානවල වාහනවලින් තොර කලාප ඇති කිරීම පා ගමනින් ඇවිදීම දිරිමත් කිරීමට පදික මංතීරු විශාල කිරීම නිසා කැළි කසළ කළමනාකරණය, ප්‍රතිචක්‍රිකරණය ආදියෙනුත්, ඉඩ ඇති සෑම බිම් අඟලකමත් ගොඩනැඟිලි මතත්, තුරුලතා වැවීම, ජලාශවල පවා ජලජ ශාක වැවීම ආදී විවිධ ක්‍රියාකාරකම් මඟින් පැරිස් නගරය පුරා දැනටමත් සෞඛ්‍ය හිතකාමී හරිත පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. පැරීසිය 2024 ලෝක ඔලිම්පික් උළෙලට සූදානමින් සිටී.
ඇයට මුහුණ දීමට සිදුවූ බිහිසුණුම අභියෝගය වූයේ 2015 නොවැම්බර් 13 පැරිස් නගරයට එල්ල වූ මුස්ලිම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. එයින් 130 දෙනකු එතැනම ජීවිතක්‍ෂයට පත් වුණු අතර සිය දෙනකුට අධික සංඛ්‍යවක් තුවාල ලබන ලදී.

"අද ලෝකයේ සෑම ප්‍රධාන නගරයක්ම ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වෙලා තියෙනවා. මේ මොහොතේ අපේ හමුදාවේත් පොලිසියේත් ආරක්‍ෂක නිලධාරීන් විශිෂ්ට ලෙස කටයුතු කරමින් සිදුවුණ විනාශය අවම කරගත්තා. ඔවුන්ට මා හද පත්ලෙන්ම ස්තූති කරනවා. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීමට උපරිමයෙන් කැප වෙනවා."
2015 නොවැම්බර් 13 ප්‍රංශයට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කරුණු වාර්තා කිරීමට පැමිණි එංගලන්ත මාධ්‍යවේදියා ඇගෙන් මෙසේ විමසන ලදී.

අප සාකච්ඡාව ආරම්භ කළේ සවස පහට පමණ. ඔබ මොහොතක විවේකයක් නැතිව රාජකාරියෙහි නිරත වුණා. දැන් වෙලාව රාත්‍රි දහයත් පහුවෙලා. මෙය ද ඔබගේ ජීවිතය?"
"ජනතාව ඔවුන්ගේ වැඩි ඡන්දයෙන් මා නගරාධිපතිනිය ලෙස පත් කොට ගත්තේ ඔවුන් මා කෙරේ විශ්වාසය තැබූ නිසයි. ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කළ හැකි මේ රාජකාරිය භාර ගත්තේ මගේ කැමැත්තෙන්. එසේ නම් මා ඔවුන් සඳහා පැය විසිහතරම කැප කළ යුතුයි නේද?"
ආදර්ශවත් ප්‍රංශ නගරාධිපතිනිය අෑන් හිඩාල්ගෝගේ පිළිතුර විය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon