සසර සැරි සැරූ කාලය ඉතා දිගුය... එහි කෙළවරක් දැකිය නොහැකිය

  👤  3810 readers have read this article !
2017-12-03

බුදු හාමුදුරුවන්ට පෙර අතීත කාලවල සිටි යෝගීන්, ජීවිත බොහෝ ගණනක පොදු අනන්‍යතාව දැක ඇති බව හා ඔවුන් එය වැරැදි අර්ථවිවරණයන්ට භාජන කිරීම නිසා විවිධ දෘෂ්ටීන් ඇති වූ බවද උන්වහන්සේ දීඝ නිකායයේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි ඉතා සරල ලෙසින් දේශනා කර ඇත. අප කාගේ වුවත් ගණන් කළ නොහැකි අතීත ජීවිත සංඛ්‍යාවක් පැවැති බව හා ඒවා සැමෙකටම පොදු වූ පුද්ගල අනන්‍යතාවක් ඇති බවද බුදු හාමුදුරුවන් දේශනා කර ඇත. 'මහණෙනි, ඔබ සැම කෙනකුන්ම සසර සැරිසැරූ කාලය ඉතා දිගය. මුල කෙළවර දැක්ක නොහැකිය. උපමාවකින් එහි දීර්ඝත්වය පැහැදිලි කළ හැක්කේ මෙසේය. එක් කෙනකු අතීත ජීවිතවලදී එක එක ජාතියක මවගෙන් බිවූ තනකිරි ප්‍රමාණය එකතු වූවානම් මුහුදේ ජලයට වඩා වැඩිවෙයි. මහණෙනි, තමන්ගේ අතීත ජාති සිහිපත් කළ හැකි වන සේ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් ශ්‍රාවකයන් සතර නමක්, වෙනත් සියලු කටයුතු නවතා දමා ඉතා වේගයෙන් පෙර ජාතීන් සිහිපත් කරන්නාහු, එක දිනයකට එක කල්පයක ජීවිත සිහිපත් කොට අවසන් කළහොත් මේ ලෙසින් අවුරුදු සියයක් ගත කිරීමට උන්වහන්සේට හැකි වුවහොත් උන්වහන්සේගේ කාලය අවසන් වන්නේ මුල නොදැකමය. සංයුත්ත නිකායයේ අනමතග්ග සංයුත්තයේ හමුවන මේ දේශනා දෙකින් එක සත්ත්වයකු හෝ උපාදානස්ඛන්ධ සංයුතියක් අනන්‍යතාව ඇතිවම කෙතරම් ජීවිත ගණනක් ගතකර ඇද්දැයි වටහා ගත හැකිය.

මෙතරම් දිගු කාලයක් තිස්සේ පැවතගෙන ආ බව පෙනෙන පුද්ගල අනන්‍යතාවක් සර්වඥාන ඥානයක්ම ලබා නොගත් කවර තරමේ යෝගියකු වුවද සදාකාලික දෙයක් ලෙස විස්තර කර තිබීම පුදුමයක් නොවේ. එසේම තම තමන්ට දැකගත හැකි, දුරම අවස්ථාව දක්වාත් පරීක්‍ෂා කොට එතැන පටන්ම ගලා ගෙන ආ සැටි දක්නා, බුදු බව නොලත් කවර හෝ යෝගියකු එම ජීවිතවල පොදු අනන්‍යතාව නොකැපෙන නොදැවෙන හා නොබෙදිය හැකි ඒකකයක් ලෙස හඳුනා ගැනීමට පුදුමයට කරුණක් නොවිය හැකිය. අතීතයේ එබඳු දිගු කාලයක් පුද්ගලයකුගේ අනන්‍යතාව නොසිඳී ගලා ආ බව අවබෝධ කර ගැනීම ගැන එම පැරැණි යෝගීන්ට ගරු කළ යුතුව ඇත. කෙනකු අර්ධ වශයෙන් හෝ අසම්පූර්ණ ලෙස කිසියම් වැදගත් සත්‍යයක් දැක ඇති කල තමන්ගේ තර්කයන් යොදා අඩුපාඩු පිරවීමට උත්සාහ දැරීම සාමාන්‍ය සිරිතකි. 'ආත්මය' පිළිබඳව ආත්මවාදී දාර්ශනියකයන් ගොඩනඟා ඇති තර්කයන්ගෙන් සමහරක් ඒ ගණයටද ඇතුළත් කළ හැකිය. මෙම පුද්ගල අනන්‍යතාව සදාකාලික ආත්මයක් ලෙස දක්වා ඇති නිසාද ඒ පිළිබඳව කර ඇති විවරණ ස‍ෙදාස් නිසාද බුදු හාමුදුරුවන් ආත්මවාදය ප්‍රතික්ෂේප කර ඇත. එම අනන්‍යතාව හේතු ප්‍රත්‍යයන් නිසා ඇතිවූවක් බවත් එම හේතු නැති වූ පසු ඵලය නතරවන බවත් උන්වහන්සේ අවබෝධ කර ගත්හ. බුදුදහම අනාත්ම දර්ශනයක් ලෙස හැඳින්වීමට මෙය හේතු විය.

ආත්මවාදය ගැන සානුකම්පිත සඳහන් කරන බුදුහාමුදුරුවන් වහන්සේ දීඝනිකායයේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි මෙසේ දැක්වූ සේක 'මහණෙනි, මෙලොව කිසියම් මහණ බමුණු කෙනෙක් උත්සාහ කොට අප්‍රමාදීව දැඩි උත්සාහයක් දරා මනස යහපත් ලෙස හැසිරවීමෙන්, පෙර ජාතික දැනගත හැකි වන පරිද්දෙන් උතුම් චිත්තසමාධියක් ලබයි. (එම සදාකාලික ආත්මය සාරය කොට ඇති) සත්ත්වයෝ සදාකාලික වූ ලෝකයෙහි සැරිසරති. චුත වෙති, උපදිති. ඒ අතර ශාශ්වත වූ පැවැත්මක් ඇත. මම මෙබඳු චිත්තසමාධියක් ලබාගෙන මෙය දුටුවෙමි කියාය. මහණෙනි, තවත් මහණ බමුණු කෙනෙක් මෙසේම අභිඥා ලබා, තමන්ගේ අතීත ජාති සිහිකරමින් අතීත වූ කල්ප එකයි දෙකයි යනාදී වශයෙන් බොහෝ අතීත කල්පයන් සිහිපත් කොට ඔහුගේ අවංක විශ්වාසයට අනුවම ලෝකය හා ආත්මය සදාකාලිකයි පවසයි.

මෙහිදී බුදු හාමුදුරුවන් පැහැදිලි කර ඇත්තේ පෙර සිටි ඒ ඒ යෝගීන් තමන්ගේ අතීතය සිහිපත් කොට මුලක් දැකගත නොහැකි වූ බැවින් තමන්ගේ වැටහීමට අනුව 'සදාකාලික ආත්මය' යන සංකල්පය ඇති කරගෙන ප්‍රකාශ කළ බවය. අසීමිත දිගු කාලයක් තිස්සේ මැරෙමින් උපදිමින් යන පුද්ගල අනන්‍යතාව උන්වහන්සේද දුටු සේක පිළිගත් සේක. එහෙත් ආත්මවාදීන් පවසන පරිදි අජාතවූ (හටගත් අවස්ථාවක් නැති), සදාකාලික වූ පදාර්ථයක් ලෙස උන්වහන්සේ නොපිළිගත් සේක. පෙර සිටි ආත්මවාදී යෝගීන්, ඉක්මවා, ගමන් කළ ඤාණයක් ලැබීම නිසා උන්වහන්සේ ඔවුන්ගේ තීරණයෙන් අෑතට ගමන් කළ සේක. උන්වහන්සේ වදාළේ ඉතා දීර්ඝ කාලයක් තුළ පැවැතගෙන එන පුද්ගල අනන්‍යතාව හේතු ප්‍රත්‍යයන් නිසා උපන් ශක්ති විශේෂයක් වන බවය. විසිවැනි සියවසේ අඩක් ගෙවෙනතුරු නූතන විද්‍යා ඇසට පෙනී තිබුණේ ඇටම් (ඒබධථ) නමින් හැඳින සිටි පරමාණුව කුඩාම අංශුව ලෙසය. එය හැඳිනගෙන සිටියේ නොබෙදිය හැකි ඒකකයක් ලෙසය. එහෙත් අද වන විට එයද තනි ඒකකයක් නොවන බව හා ඇටමය නම්

ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන්, නියුට්‍රෝන යන මේවා එකට සංග්‍රහ වීමෙන් හටගෙන ඇති බවත් පිළිගෙන ඇත. බුදු හාමුදුරුවන්ට පෙර සිටි බුද්ධිමතුන් ආත්මය නමින් හැඳිනගෙන සිටි ඒකකය තනි පදාර්ථයක් නොව රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පසේ එකට සංග්‍රහ වීමෙන් නිපන් දෙයක් බව බුදුහාමුදුරුවෝ දුටහ. පරමාණුව, ශක්ති තුනක සංයුතිය ලෙස නූතන විද්‍යාඥයන් සලකන්නා සේම පෙර සිටි අය 'ආත්මය' නමින් හැඳින සිටි පුද්ගල අනන්‍යතාව උපාදානස්ඛÂධ නමැති ශක්ති පහක සංයුතිය ලෙස බුදුදහමෙහි හෙළිකර ඇත. එසේම හේතු ප්‍රත්‍යයන් නිසා උපන් එය හේතුප්‍රත්‍යන් සිඳීම නිසා නතර වන බව සත්‍යය. වෛදික 'ආත්ම සංකල්පය' ප්‍රතික්ෂේප කිරීම නිසා බුදු දහම අනාත්ම දර්ශනයක් විය. මෙය වරදවා වටහා ගැනීම නිසා ඇතැම් බෞද්ධ ආචාර්යවරු බුදු දහම උච්ඡේදවාදයක් බවට පෙරළන පරිද්දෙන් විස්තර කළහ.

 

(බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමියන්ගේ දෙසුමක් අසුරෙනි)
සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්