තාල තරංගයෙන් රසිකයන් පින වූ

  👤  3647 readers have read this article !
2017-12-03

දක්ෂ තාල තරංග වාදකයෙක් වූ හේමපාල ගාල්ලගේ ජීවිතයෙන් සමුගෙන මෙම දෙසැම්බර් 04 වැනිදාට අවුරුදු පහක් සපිරේ. වසර 56ක් වැනි කෙටි ජීවින කාලයකින් අකාලයේ ඔහුට සමුගන්නට සිදුවිය. ටික කලක් රෝගාතුරව පසුවූ ගාල්ලගේ 2012 දෙසැම්බර් 04 වැනිදා ජීවන මියැසියට සමු දුන්නේය.

ගාල්ලගේ සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යම තබ්ලා වාද්‍ය ශිල්පියකු විය. ප්‍රවීණ සංගීතවේදීන් පිටරටවලදී මෙන්ම මෙරටේදීද පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගවලට ගාල්ලගේ නැතිවම බැරි වාද්‍ය ශිල්පියකු විය. චිත්‍රපට සංගීතයට, ටෙලි නාට්‍ය සංගීතයට, සරල ගීත වැඩසටහන්වලට, සංගීත ප්‍රසංගවලට, වෙනත් සංගීත පටිගතකිරීම්වලට ගාල්ලගේ අවශ්‍යම තබ්ලා වාදකයා විය. හේමපාල ගාල්ලගේ යන නාමය සංගීත ලෝකයේ ඉහළින්ම කියැවෙන තාල තරංග වාද්‍ය ශිල්පියාගේ නාමය බවට පත්ව තිබිණි.

වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයේ වසර 30කට වැඩි කාලයක් තබ්ලා හා ඩ්‍රම්ස් වාදකයා වූයේ ගාල්ලගේය. අමරදේවයන්ගේ දෙස් විදෙස් ප්‍රසංගවලටත් ගාල්ලගේ තාල තරංග වාදකයා ලෙස වැඩි වාර ගණනක් සහභාගිවී ඇත. මුල් පෙළේ ප්‍රවීණ ගායක ගායිකාවන්ටද දෙස් විදෙස් ප්‍රසංගවලදී අවශ්‍ය වූයේ ගාල්ලගේමය. වික්ටර්ගේ 'ස' ප්‍රසංගයේ මෙන්ම ඔහුගේ වෙනත් සංගීත ප්‍රසංගවලදීද 'හෝපලු වන පෙත' ගීතය ඉදිරිපත් කෙරෙන අවස්ථාවල ගෙජ්ජි වළල්ලක් අත පැලඳගෙන ගාල්ලගේ තබ්ලාව වයමින් වික්ටර් ශාස්ත්‍රීයව ඉදිරිපත් කරන ගායනා කොටස් තබ්ලාවෙන්ද ඒ ආකාරයෙන්ම, හරියටම කිව්වොත් ගායනා කරන අයුරින්ම වාගේ ඉදිරිපත් කිරීම එම ප්‍රසංග නැරඹූ අයගේ මතකයේ තවමත් ඇතුවාට සැක නැත. ගාල්ලගේ තබ්ලාවට පමණක් නොව ඩ්‍රම්ස් වාදනයටද අති දක්ෂයකු විය.

1956-09-26 දින උපන් හේමපාල ගාල්ලගේ මූලික අධ්‍යාපනය ලැබුවේ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයෙනි.
ඉන්පසුව කොලොන්නාව මහ විදුහලෙන් සහ දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් පාසල් අධ්‍යාපනය හමාර කළේය. ගාල්ලගේට දක්ෂ තාල තරංගන වාද්‍ය ශිල්පියෙක් වීමට ඔහුගේ දෙටු සොයුරකු වූ සංගීතඥ, මහරගම ගුරු අභ්‍යාස විදුහලේ හිටපු සංගීත කථිකාචාර්ය ජස්ටින් ගාල්ලගේ බලපෑවේය. අයියා තබ්ලාව වයද්දී ගාල්ලගේ එදෙස බලා සිටියේ ආශාවෙනි. අයියා තබ්ලාව වාදනය කර අවසන් වූ පසු ගාල්ලගේ අයියාගේ තබ්ලාව වයන්නට පටන් ගනී. අයියා මල්ලීගේ අඩුපාඩු පෙන්වා නිවැරැදි කරයි.
ගාල්ලගේ ගේ මුල්ම සංගීත ගුරුවරයා එල්. කේ. ජී. වික්‍රමසිංහ මහතාය. ඔහු එහිදී ඉගෙන ගන්නේ වයලීන් වාදනයයි. පසුකාලීනව තබ්ලාවටම ලොල් වූ ගාල්ලගේ තබ්ලා වාදනය තවදුරටත් ප්‍රගුණ කිරීමට ගියේ වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස් මහතා වෙතටය. ගාල්ලගේට සියලුම තාල වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවක් තිබිණි. එනිසාම ඔහු ඩ්‍රම්ස් වාදනයේද අති දක්ෂයකු විය.

ගුවන්විදුලි වාදක මණ්ඩලයට 1977 දී එක්වන ගාල්ලගේ ගුවන්විදුලි සංගීත පටිගත කිරීම් වැඩි ගණනාවකට තාල තරංග වාදකයකු ලෙස සහභාගි වී ඇත. වාදක මණ්ඩලයේ නියෝජ්‍ය නායක, නායක තනතුරු දැරූ ඔහු 2011 වසරේදී ගුවන්විදුලි සේවයෙන් විශ්‍රාම ලැබීය.

'ශක්ති' මෙන්ම 'සිහ ශක්ති' සංගීත කණ්ඩායම්වල තබ්ලා මෙන්ම ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියා වූයේ ගාල්ලගේය. විවිධ සංගීත ප්‍රසංග සඳහා ඔහු සංචාරය කර ඇති රටවල් බොහෝමය. තමරා චාන්දනී සමඟ 1978දී විවාහ වූ හේමපාල ගාල්ලගේ දරුවන් තිදෙනකුගේ ආදරණීය පියෙක් වූයේය. පවුලේ එකම පුතුද පියාගේ අඩිපාරේ යමින් අද වනවිට තබ්ලා හා ඩ්‍රම්ස් වාදනයේ අති දක්ෂයකු වී සිටී.

නිමල් සෝවිස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්