සූර්ය නගරයට සමන් කෝච්චියේ ගියේ පියවි සිහියෙන් නම් වෙන්න බැහැ

  👤  3592 readers have read this article !
2017-12-03

මේ පොතේ එන 'අංක පහේ ආණ්ඩුව' නමැති පරිච්ඡේදයෙන් සමාජීය වශයෙන් අපට වැදගත් වන තවත් අලුත්ම තොරතුරක් සමන් ගෙන එනවා. 'විසිහතර පැය පුරා වැඩ සලසන අංක පහේ ආණ්ඩුව' තියෙන්නේ චීනයේ ජිනාන් නුවර 'ඕනෑ ප්‍රශ්නෙකදි දැන් අපිට තියෙන්නෙ පහට ගණින්න විතරයි' කියලා, ජිනාන් නුවර වැසියන් සමන්ට කිව්වලු. ඒ තමයි, 1 2 3 4 5 නමැති දුරකතන සේවාව. මේ දුරකතන සේවාව විසිහතර පැයේම විවෘතයි. එතැන 200ක් විතර වැඩ. දවසකට දුරකතන ඇමතුම් 5000ක් හෝ 6000ක් ලැබෙනවා. මෙය ඇමතුම් ගාස්තු රහිතයි. පුද්ගලික ගැටලු, රාකාරි ගැටලු, නිවාස ගැටලු මේවාට හැකිතාක් ක්ෂණික විසඳුම් ලබා දෙනවා. බැරිම නම් යම් කාලයක් අරගෙන විසඳුම් ලබා දෙනවා. 2008 සිට ගැටලු ලක්ෂ 60ක් විසඳමින් ඔවුන් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මේවා කියවන කොට අපේ නගරවලටත් 'අංක දහයේ ආණ්ඩුවක්වත්' තියෙනවා නම් කියලා හිතෙන එක හිතෙනවාමයි.

අපේ රටේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්වෙන එන්ජීඕ කාරයන් වෙනුවෙන් සමන්ගේ පොතේ පරිච්ඡේදයක් වෙන්වෙනවා සමන්ට අනුව චීනයේ ලියාපදිංචි එන්ජීඕ සංඛ්‍යාව ලක්ෂ 05ක්. ලියාපදිංචි නොකළ එන්ජීඕ සංඛ්‍යාව ලක්ෂ 15ක්. චීන සමූහාණ්ඩුව විශ්වාස කරන්නේ දුගී භාවය, පරිසර දූෂණය, සෞඛ්‍ය සේවා, අභ්‍යන්තර මානව සංක්‍රමණ, ජලය සහ බලශක්ති ආදියෙහිදී පැන නඟින ගැටලුවලට විසඳුම් ලබාදීම ආණ්ඩුවකට පමණක් තනිවම කළ නොහැකි බවයි. ඔවුන් එන්ජීඕවල, රාජ්‍ය නොවන සංවිධානවල උපකාර ලබා ගන්නේ ඒ ගැටලු විස¼දා ගැනීමටයි. චීනය, එන්ජීඕවලට බය නැති වුණාට ලංකාව නම් එන්ජීඕවලට තවම බයයි.

සමන්, චීනයේ හොඳ මිත්‍රයෙක්. ඒ මිත්‍රත්වය කෙබඳුදැයි කියා අප මීට සති කිහිපයකට කලින් අපේ ඇස්වලින්ම දැක්කා. චීනය ගැන තවත් පොත් ලිවීම සඳහා මුදල් පරිත්‍යාග කරන්ට උත්සුක වන ධනකුවේර චීන්නු සමන්ගේ පොත් චීන භාෂාවට පෙරළන්න උන්නදු වන ග්‍රන්ථ ප්‍රකාශක චීන්නු ආදී විවිධාකාර පිරිමි චීන්නු සහ චීන යුවතියන්.
ඇත්තටම කිව්වොත් වැඩි වශයෙන් චීන යුවතියන්. මේ මිත්‍රත්වය මෙහෙම තිබුණත් පිටුදැකිය යුතු චීන ක්‍රියාකාරකම් ගැන ලියන්ටත් සමන් මේ පොතේදි පසුබට වී නැහැ. අපි බෙයිජිංවල දවස් 10ක් හිටියා. ඒ එක දවසකවත් බෙයිජිංවලට ඉර පෑව්වෙ නෑ. බෙයිජිං අහස අළුපාටයි. ඒ ඇයි කියල මං සමන්ගෙන් ඇහුවෙ නැත්තෙ ඒ වනවිට මං සමන්ගෙ පොතේ 'ඒපෙක් නිල්ල' කියන පරිච්ඡේදය කියවලා තිබුණ නිසයි. ඇයි බෙයිජිං අහස අළුපාට වෙලා වායු දූෂණය, පරිසර දූෂණය, චීනුන් වීදි පුරා සැරි සරන්නේ මුහුණ කට වසාගෙන, මුකවාඩම් බැඳගෙන.

බෙයිජිං පිහිටලා තියෙන්නෙ කඳු වළල්ලකින් වටවුණු කවාකාර ද්‍රෝණියක. ඒ ද්‍රෝණිය පුරා ඉතිර පැතිර ඇත්තේ ගල් අඟුරු කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය. චීනය වැඩි වශයෙන් යැපෙන්නේ ගල්අඟුරුවලින්. බලශක්තියෙන් 70%ක් උත්පාදනය කරන්නේ ගල්අඟුරුවලින්. මේ වායු දූෂණය ගැන ලෝකයේම ඇස යොමු වුණේ 2014 නොවැම්බර් මාසේ හේතුව, බෙයිජිං නුවර ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුව හෙවත් ඒපෙක් සමුළුව පැවැත්වීම. ඇමෙරිකානු ජනාධිපති ඔබාමා, රුසියානු ජනාධිපති පුටින් ආදීන් පවා සහභාගි වූ මේ සමුළුව, අළුපාට ආකාසය සහිත බෙයිජිං නුවර පැවැත්වීම බලධාරීන්ට ප්‍රශ්නයක් වුණා. ඔවුන් කළේ සමුළුවට දින කිහිපයකට කලින් බෙයිජිං හා ඒ අවට නගරවල සියලු කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමීම.

ඒපෙක් සමුළුව පැවැත්වෙන දිනවල බෙයිජිං අහස නිල්වන්ව දිදුලන්ට පටන් ගත්තා. හැමදෙනාම ඒ නිල්පාටට කිව්වේ 'ඒපෙක් නිල්ල' කියලයි. 'ඒපෙක් නිල්ල සුන්දරයි - ඒත් ව්‍යාජයි' සියල්ලන් එක හ¾ඩින් කියා සිටියා. කර්මාන්ත ශාලා විවෘත කළ හැටියේ ඒපෙක් නිල්ල අතුරුදන් වුණා.
දූෂිත වායුවෙන් මිදෙන්ට චීනුන් මොන තරම් වෑයම් කරනවාද කියනවා නම් දවසකට ලක්ෂ පහක් හයක් මුකවාඩම් මිලදී ගන්නවා. බලධාරීන් වනාන්තර නගර ඉදි කරන්නට සැලසුම් කරනවා. පරිසර දූෂණයට හේතු වන කර්මාන්ත ශාලා වසා දමන අතර, පරිසර හිතකාමී නිෂ්පාදන දිරි ගන්වන අතර 'ගගන ගත දූෂණය මැඬලීමේ හා පාලනය කරලීමේ සැලැස්ම' වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 277ක් වෙන් කර තිබෙනවා.

සමන් අපට මේ මතක් කර දෙන්නේ චීනය වැනි බලවත් රටවල් පවා පරිසර දූෂණය නිසා අත්විඳින කටුක දුකයි. අපේ රට තවමත් එතරම්ම අභ්‍යාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දී නැහැ. ඒත් හෙට දවස කොහොම වේවිද? විල්පත්තු වනය ඩෝසර් කරලා ගෙවල් හදනවා. යාල වනය ඩොසර් කරලා කැබලි කර විකුණනවා. ගංගා ඇළ ‍ෙදාළවල ඇති වැලි පර හූරාගෙන යනවා. වන රක්ෂිත මැදින් පාරවල් කපනවා. අපි වගේ එහෙව් කාලකණ්ණින් ජීවත් වන රටකට හැමදාමත් සොබාදහමේ ආශිර්වාදය ලැබෙතියි සිතන්ට පුළුවන්ද?
සමන්ගේ පොතේ තිබෙන තවත් වැදගත්ම පරිච්ඡේද කිහිපයක් ගැන කතා කිරීමෙන් පස්සෙ මගේ කතාව මම නවත්වනවා. ඒ වැදගත්ම පරිච්ඡේද නම් 'ටිබැට් රට' ගැන ලියූ පරිච්ඡේද කිහිපය. ටිබැට් රට, අපේ රටේ වැඩි දෙනා දන්නේ ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියන් නිසා. ටිබැට් ජාතික කියලා කිව්වත් මහින්ද හාමුදුරුවෝ සිකිම් රටේ. ඇස්. මහින්ද කිව්වේ සිකිම් මහින්ද. සිකිම් යනු නැඟෙනහිර හිමාල කඳු වැටියේ දෙකෝටියක් පමණ ජනයා වාසය කරන කුඩා රටක්. ටිබැට් රට එහි උතුරු සීමාව.

පාසල් සමයේදී 'ටිබැට් රටේ සත්වසක්' නම් පොතක් කියවූ බව යාන්තම් මතකයි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨාධිපති මහාපණ්ඩිත රාහුල සංස්කෘත්‍යායන මහතා ටිබැටය ගැන ලියූ පොතක් 'තිබ්බතයේ බොදු සමය' නමින් 1961දී සිංහලයට පෙරළුව බවත් මතකයි. ඒ හැරෙන්ට ටිබැට් රට ගැන සිංහලෙන් ලියැපු කිසිම දෙයක් මට හමුවෙලා නැහැ. එබඳු පසුබිමක මේ පෙතේ එන ටිබැට් විස්තර අපට හරිම අලුත්.

ටිබැටයට ගිය එක් අයෙක් හෝ මේ ශාලාවේ සිටිත්දැයි මට නම් සැකයි. ඊට හේතුව ඉතා මෑතක් වන තුරු ටිබැටය හුදෙකලා වූ රටක් වීමයි. ගොඩබිම් මාර්ග ඉතා දුර්වල වීමත් ගුවන් ගමන් වාර සීමා වීමත් ඊට හේතුවයි. සමන් පෙන්වා දෙන්නේ චීන මහජන සමූහාණ්ඩුවේ අප්‍රතිහත ධෛර්යයෙන් අද වන විට ටිබැටය ලබා ඇති දියුණුවයි. ටිබැටයේ අගනුවර වන ලාසාහි ගොංගා ජාත්‍යන්ර ගුවන් තොටුපොළ අද සතියකට ගුවන් යානා 100ක් පමණ පැමිණෙන සංචාරක ආකර්ෂණය දිනාගත් කාර්ය බහුල ගුවන් තොටුපොළක්. එය, ලොව උසම මට්ටමක පිහිටා ඇති සිවිල් ගුවන් තොට. ටිබැටය සාමයික හා සංස්කෘතික වශයෙන් අපට වැදගත් රටක්. එහි ජීවත් වන්නේ බෞද්ධයෝ. ක්‍රි.පූ. 2 සියවස සිට සිංහල භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා එහි වැඩම කර තිබෙනවා. ලාමා නගරය මැද ඇති පොටාලා මාලිගාවේ ක්‍රි.ව. පන්සිය ගණන්වලදී එරට රජතුමාට ලංකාවෙන් තෑගි ලැබුණු සඳුන් ලීයෙන් නිම කළ අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් තැන්පත් කර තිබෙනවා.

සමන් මේ විස්තර ඉදිරිපත් කරන්නේ අප තුළ විස්මයත්, කුතුහලයත් එකවර ප්‍රාදූර්භූත කරමින්.
සමන්ගේ ටිබැට් ගමන් විස්තරය රසවත් වගේම ත්‍රාසජනකයි. ඔහුගේ දේශාටන ලිපි මාලාවේ ත්‍රාසජනකම අත්දැකීම් සටහන් වී ඇත්තේ ටිබැට් ලිපිවලයි.
සමන්, ටිබැට් රටේ අගනුවර වන ලාසා වෙත පැමිණෙනවා. පොතට නම වශයෙන් යොදා ඇති 'සක්වළ පියස' යනු ලාසා නුවරට කියන තවත් නමක්. ලාසා මුහුදු මට්ටමේ සිට අඩි 11,975ක් උසින් පිහිටි ලෝකයේ විචිත්‍රවත්ම නගරයක්. වාර්ෂිකව පැය 3000ක පමණ කාලයක් හිරුඑළිය පතිත වන නිසා එය සූර්ය නගරය නමිනුත් හඳුන්වනවා. මේ සක්වළ පියසට, මේ සූර්ය නගරයට සමන් යන ගමන නම් අපූරු ගමනක්. ඇඟ කිළිපොළා යන ගමනක්. බෙයිජිං සිට ලාසා දක්වා ගුවනින් පියාසර කළ හැකි වුවත් සමන් තෝරා ගන්නේ චිංහයි සිට ලාසා දක්වා වූ දුම්රිය මාර්ගය. ලෝකයේ උසම දුම්රිය මාර්ගය. චීන ඉංජිනේරුවන්ගේ අසිරිමත් නිර්මාණයක්. ඇතැම් විට දුම්රිය ගමන් කරන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 16,640ක උසින්.

මුහුදු මට්ටමින් ඉතා ඉහළ උසක පිහිටා තිබීම නිසා ලාසා නුවරට එන හැම සංචාරකයෙක්ම ඔක්සිජන් උෟනතාවට මුහුණ දෙනවා. ඒ වන විට වෛද්‍ය රුවන් ඒකනායකගෙන් ප්‍රතිකාර ලබමින් සිටි හර්ද රෝගියෙක් වූ නිසා සමන්ට මේ ගමන කොහෙත්ම කැප නැහැ. මේ නම් සංචාරක උමතුවෙන්ම ගිය ගමනක් විනා ප්‍රකෘති සිහියෙන් ගිය ගමනකැයි මට නම් හිතෙන්නේ නැහැ. නැත්නම් ආහාර අරුචිය, කරකැවිල්ල, නින්ද නොයෑම, ජීවිත අවදානම යන සකල දුක් කන්දරාව විඳිමින් තම මිත්‍රයන් බිය වෙතියි ඔවුන්ට නෑසෙන්ට 'අම්මෝ, අම්මෝ' යැයි කෙඳිරි ගාමින් කෝච්චි ගමනක මිහිර අත්විඳින්ට යන සංචාරකයෝ ලොව කොතෙක් වෙත්දැයි මට නම් හිතා ගන්නවත් බැහැ.

කොහොම වෙතත් පොතේ අවසානයෙහි එන 'සක්වළ පියස'ට ගිය ගමන කියවා මම පොත පැත්තකින් තිබ්බේ කෝටියක් දුන්නත් ටිබැට් රටට නොයන්නට හිත හදාගෙනයි. ඒ මම ඔබට හිතෙන සිතුවිල්ල ඊට වඩා හාත්පසින් වෙනස් වෙන්ට පුළුවන්.

අවසාන වශයෙන් කිව යුත්තේ සමන් අතාවුදහෙට්ටිගේ 'සක්වළ පියස දිගේ' නම් වූ චීන පර්යටනය, චීන භ්‍රමණය, චීන චාරිකාව, චීන සංචාරය, චීන ගමන කියවීම අතිශය ආස්වාද කර මෙන්ම ඤාණාලෝකයද ලබා දෙන ක්‍රියාවක් බවයි.

'සක්වල පියස දිගේ' ග්‍රන්ථය එළිදැක්වීමේදී උළෙලදී කළ දේශනය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්