මෛත්‍රි කොරියාවේ සිටියදී මහින්ද රනිල් හමුවෙති

  👤  5116 readers have read this article !
2017-12-03

යහපාලන ආණ්ඩුවේ ආයු කාලයෙන් අඩක් නිමාවී ඇති අතර, මේ වනවිට ආණ්ඩුව තුළ යම් යම් 'කම්පන' හටගෙන තිබේ. විශේෂයෙන් ආණ්ඩුවේ මුල් වකවානුව තුළ දෙපාර්ශ්වයේ මැති ඇමැතිවරුන් අතර ගැටුම් මතුවූ නමුත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අතර ගැටුමක් දක්නට ලැබුණේ නැත.
කෙසේ වෙතත් මෑතක සිට දෙපාර්ශ්වයම නායකයන් ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල කරගන්නා තත්ත්වයක් දක්නට ලැබේ.
එහි උච්ඡතම අවස්ථාව එළැඹියේ, මෛත්‍රි ඉලක්ක කොටගෙන එජාප පසුපෙළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියමින් එල්ල කළ ප්‍රහාරයයි. ඒ අතර, සුජීව සේනසිංහද ඒ ප්‍රහාරය තීව්‍ර කළේය. නමුත්, සියල්ලට කිස්කන උත්තරයක් දෙන්නට මෛත්‍රි නිකවැරටියේදී කටයුතු කළේය.

'කොළේ ඉරාගෙන ඇඟේ හලාගත්තම ලොන්ඩරි හතක දාලාවත් පිරිසිදු කරන්න බැරි බව මතක තියාගන්න.'
කියා මෛත්‍රි කීවේය. මේ සියල්ල මෙහේ සිදුවන විට රනිල් සිටියේ
ඉන්දියාවේය. ඒ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ 'සසල' වීම කොතරම්ද යත්, ඊට පසුව කිසිවෙක් 'මීක්' කීවේ නැත. ඒ වෙනුවට අගමැති රනිල් සිය මන්ත්‍රිවරුන්ට නියෝගයක් කළේය.
'මීට පස්සේ මෛත්‍රිව විවේචනය කරන්න බෑ.'

මෙරටට ආ සැණින් රනිල් මෛත්‍රිව හමුවිය. සිදුවන දේශපාලන ප්‍රහාරයන් ගැන සේම අනවබෝධයන් ගැනද කතා කිරීමට රනිල්ට වුවමනා වුවද මෛත්‍රි හිටියේ කාර්ය බහුලවය. ඒ කොරියානු සංචාරය නිසාය.
කෙසේ වෙතත්, ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙතොත් ඇති වන තත්ත්වය ගැන බොහෝ දෙනා සිටියේ විමසිල්ලෙනි. අලකලංචි දුරදිග යෑම වෙන්වීමකින් කෙළවර වේ නම් ආණ්ඩුව දිගටම කරගෙන යෑමට එජාපයට සැලසුමක් තිබිණි. ඒ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමඟ එක්ව අලුත් ආණ්ඩුවක් පිහිටුවීමය.

එසේ වුවහොත් ශ්‍රී ලනිපය පත්වන්නේ බලවත් ව්‍යාකූලත්වයකටය.
මේ අතර පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩවන ශ්‍රී ලනිප මන්ත්‍රින් ගැන තීන්දුවක් ගන්නට ශ්‍රී ලනිපය සූදානම්ව සිටී.
පසුගියදා පාර්ලිමේන්තු ලොබියේදී දුමින්ද දිසානායකට පියංකර ජයරත්න හමුවිය.
'ප්‍රියංකර අයියේ, දැන්ම තීරණය ගන්න හොඳේ?"
දුමින්ද කීය.

'ඇයි?.' 'වෙන පක්ෂවල වේදිකාවලට නඟිනව නම් මට තියෙන්නේ ලියුමට අස්සන් කරන්න විතරයි.'
දුමින්ද එහෙම කියද්දී පියංකර කීවේ.
'ආයේ ඉතිරි එච්චරනේ. ඒකත් කරන්න' කියලාය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ආණ්ඩුවේ
නියෝජිතයන් තර්ජනය කරන බවට ජී. ඇල්. පීරිස් චෝදනා කරන්නේ මේ අනුවය. නිල වශයෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධ විපක්ෂය ගිවිසුමකට එකඟ වන්නේ නැත්නම් එම මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ක්‍රියාමාර්ග ගන්නා බවට ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ව්‍යංග ලෙස තර්ජනයක් කෙරී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

මෛත්‍රි දකුණු කොරියාවේ සංචාරයක් සඳහා සඳුදා දිවයිනෙන් පිටත්ව ගියේ මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරුන් සහ තලතා අතුකෝරල ඇමැතිවරියද සමඟයි. මෙම සංචාරයේදී මින් පෙර කිසිදු රාජ්‍ය නායකයකුට නොලද තරමේ පිළිගැනීමක් මෛත්‍රිට හිමිවිය. මෛත්‍රිගේ පළමු නිල කටයුත්ත වුණේ දකුණු කොරියාවේ ඉපැරැණි බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්සේයා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල යෙදීමය. මෛත්‍රි එහි යනවිට එහි බලාපොරොත්තු නොවූ අමුත්තෙක් ඔහු ඉදිරියට පැමිණියේය. ඔහු දකුණු කොරියා ජනාධිපති මුන් ජෙයින්ය. මෙය අතිශයින්ම විමතිය ගෙන දෙන අනපේක්ෂිත සිදුවීමක් විය.
"ඔබතුමා ගෞරවනීය නායකයෙක්. ඒ නිසාමයි මම මෙතැනට ආවේ"
මුන්ජෙයින් ජනාධිපතිවරයා මෛත්‍රිව පිළිගනිමින් එහෙම කීවේය.

"ඔබෙයි මගෙයි ජීවිත එක වගේමයි. මාත් ගම්බද පවුලකින් පැමිණ දේශපාලනයේ දුෂ්කර ගමනක යෙදී ජනාධිපති තනතුරට පත්වුණ කෙනෙක්. ඔබතුමත් එහෙමයි. ඒ නිසාම ඔබතුමා ගැන විශේෂ හිතවත්කමක් මා තුළ තිබෙනවා.
ඔහු සංවේදීව කීවේය.

දෙරට ජනාධිතිවරුන් අතර නිල හමුව සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවෙසේදී සිදුවූයේ බදාදා පෙරවරුවේදීය. මෛත්‍රි එනතුරු කොරියන් නායකයා කුඩා දරුවන් පිරිසක් සමග මඟ බලාගෙන සිටියේය. ඔහු උණුසුම් ලෙස
පිළිගත්තේය. එහිදී දකුණු කොරියානු ජනාධිපති කීවේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹා වසර හතළිහක් පිරෙන මෙම අවස්ථාවේ සිදුවන
ශ්‍රී ලංකා ජනාධිපතිගේ සංචාරය නිසා දෙරට අතර සබඳතා ස්ථිර ලෙස ශක්තිමත් වන බවය. මෙම මිත්‍රත්වයෙන් දෙරටටම ප්‍රතිලාභ හිමිවන බව දකුණු කොරියානු ජනාධිපති කීවේය.

මේ අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් උත්සවයක් සංවිධානය කොට තිබුණේ මෛත්‍රි පිළිගැනීමටය. එහිදී කතා කළ මෛත්‍රි මහින්දගෙන් වෙන්වවිත් යහපාලන ආණ්ඩුව සෑදීම දක්වා වූ බොහෝ තොරතුරු කීය. මැතිවරණයකට නොයන ලෙස තමා මෙන්ම එකල සිටි මැති ඇමැතිවරුන්ද මහින්ද රාජපක්ෂ මහතාට කී බවත් ඒ සියල්ල නොතකා මැතිවරණයට ගොස් පරාජය වූ බවත් මෛත්‍රි කීය. විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස කලඑළි බසින්නට පෙර දින පැවැති ආප්ප කෑ රැස්වීමේදීත් මැති ඇමැතිවරුන් කීවේ ඡන්දයට යන්න එපා කියා බව ඔහු එහිදී හෙළිදරව් කළේය. මේ අතර මෛත්‍රිට කොරියන් රජයේ උපහාරය පුදකරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනැමීය.

සෝල් මෙට්‍රොපොලිටන්හි නගරාධිපති ර්ථීචපඬ එධද-ඵධධද මහතාගේ නිල
කාර්යාලයේදී පැවැත්වූ විශේෂ උත්සවයකදී මෛත්‍රි වෙත එම ගරු පුරවැසිභාවය පිරිනැමිනි. මෙයද අතිශය දුලබ සිදුවීමක් විය.

ජනාධිපතිවරයා කොරියානු සංචාරයක යෙදී සිටින නිසා අගමැති රනිල් වඩාත් කාර්යබහුල වී සිටී. ඒ සියල්ල අතරේ අගමැතිවරයා දැඩි අවධානය යොමු කළේ අනපේක්ෂිතව පැමිණි ස්වාභාවික විපත පිළිබඳවය.
අධික වර්ෂාවත්, කුණාටුසහගත කාලගුණයත් රටේ එදිනෙදා ජීවිත සසල කරන්නට වූ අතර උදේ සිටම විවිධ ප්‍රදේශවලින් මැති ඇමැතිවරු කතා කරමින් සිදුව ඇති හානිය හා අවශ්‍ය ආධාර ගැන අගමැතිවරයා දැනුවත් කළහ. ලැබෙමින් තිබූ තොරතුරු සුබදායක ඒවා නොවීය. පිට පිටම එකම වසරේ පැමිණි දෙවැනි ස්වාභාවික ව්‍යසනය විශාල හානියක් සිදුකරමින් තිබිණි.

උදේ 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද තිබූ හෙයින් අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවට පිටත් විය. පාර්ලිමේන්තුවට යන අතරේ අගමැතිවරයා අනුර ප්‍රියදර්ශනට කතා කොට ආපදාවලට ලබා දිය යුතු සහන ගැන උපදෙස් දුන්නේය.

ඒ අතර හදිසියේම අගමැතිවරයාට දිනේෂ් ගුණවර්ධනගෙන් ඇමතුමක් ලැබිණි. ඔහු කතා කරමින් කීවේත් සිදුවන ව්‍යසනය ගැනය.
"හවස 3ට පක්ෂ නායක රැස්වීමක් තියලා තීන්දු ගනිමු" අගමැතිවරයා තමාට කතා කළ සියලු දෙනාට කීවේ එවැන්නකි.
පාර්ලිමේන්තු කාර්යාලය තුළදී හමුවූ මැති ඇමැතිවරුද කතා කළේ කාලගුණ විපර්යාසය ගැනය.
"ජනාධිපතිතුමා නිකවැරටියේදී කරපු කතාව වෙලාවේ ඔබතුමා හිටියේ ඉන්දියාවේ නේද?"
සභානායක කිරිඇල්ල ඇසුවේය. 'කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන, පස්සේ කෑ ගහන්න එපා' යනුවෙන් වූ 'සැර' කතාව මෛත්‍රි නිකවැරටියේදී කළේය.
'ඔව්, එතුමා මට පස්සේ මුණ ගැහුණා'. රනිල් කීවේය. ඇමැතිවරු රනිල් වෙත කිට්ටු වූයේ ඒ ගැන තොරතුරු දැනගැනීමේ රිසියෙනි.
"ජනාධිපතිතුමා හමුවුණාම මොකක්ද කිවුවේ" නැවත කිරිඇල්ල ඇසුවේය.
"එතුමා කොරියා යනවා කිව්වා. මට වැඩ වැඩි වේවි කිව්වා" රනිල් සැහැල්ලුවෙන් කීවේය. එහෙත් ඇමැතිවරු ඉන් සෑහීමකට පත්වුණේ නැත. ඒ තරමට මෛත්‍රිගේ කතාව ඔවුන්ට දැනී තිබිණි.
"ශ්‍රී ලනිප _ ඒකාබද්ධයේ සාකච්ඡා ගැනයි නිකවැරටියේ කතාව ගැනයි කිව්වේ නැද්ද" එහෙම ඇසුවේ වජිරය.
"නෑ අපි සුහදව කතා කළා විතරයි. ඒකාබද්ධය එක්ක සාකච්ඡාවට නොගියොත් ශ්‍රී ලනිප කැඩුවා කියන චෝදනාව එන නිසා ඒකට යනවා කිව්වා."
"එතකොට සම්මුති ආණ්ඩුව?"

නවීන් ඇසුවේය.
"ජනවරම අනුව සම්මුති රජය අවසානය දක්වා ගෙන යමු කියල කිව්වා" අගමැතිවරයා කීය.
"අපේ පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයකුට ප්‍රහාර දීම ගැන එතුමා සතුටු නැතිව ඇති" කිරිඇල්ල ඇසුවේය.
"එතුමා එහෙම දෙයක් පෙන්නුවේ නෑ. නමුත්, අපේ කණ්ඩායම් රැස්වීමේදී මම අපේ අයට මේක පැහැදිලි කළේ ඒකයි. ශ්‍රී ලනිප අය එජාපයට විරුද්ධව මොනවා කිව්වත් එජාපය ඇතුළේ මිසක් මාධ්‍යවලින් ප්‍රහාර දෙන්න එපා කියලා මම උපදෙස් දුන්නේ ඒකයි' අගමැතිවරයා කීය.
"කෝප් එකේ විසි ගණනක් ඉඳලත් එජාප මන්ත්‍රිවරුන්ගේ දුරකතන ඇමතුම් ගැන විතරක් මාධ්‍යයට එළි කිරීම ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා" කිරිඇල්ල කතාව වෙන අතට ගත්තේය.

"ඔව්, කතානායක නීතිපතිගෙන් ඒ ගැන වාර්තාවක් කැඳවාවි. වරප්‍රසාද කමිටුවටත් මේක යාවි. මේවා පළකරපු මාධ්‍යවල ප්‍රධානීන් හා පත්තර
කර්තෘලත් කමිටුවට කැඳවන්න වේවි කියලා නීති අංශය මට උපදෙස් දුන්නා. මන්ත්‍රිලා හා සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන නීති සම්පාදනය කරන්නත් පියවර ගන්නවා" අගමැතිවරයා කීය.
මංගල සහ මලික්, මෛත්‍රි හමුවී කීවාය කියන කතාවක් ඉකුත් දිනවල දැඩි කතාබහට ලක්විය. 'ශ්‍රී ලනිපය - ඒකාබද්ධය හා එක්වන්නේ නම් සම්මුති
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න' කියා මංගලලා මෛත්‍රිට කී බව ඒ කතාවය. ඒ ගැන රනිල්ගෙන් විමසුවේ නවීන්ය.
"මංගලයි මලිකුªයි ජනාධිපති හමුවෙලා ශ්‍රී ලනිප - ඒකාබද්ධය එක්ක යනවා නම් එජාපය වෙනම ආණ්ඩුවක් හදන බව කිව්වා කියන කතාව මොකක්ද?"
"නෑ. නෑ, එතැන ලොකු දෙයක් නෑ. ඒ අය වෙන වෙනම හමුවෙච්ච
වෙලාවල්වල නිකං කතා කරලා තියෙනවා. එච්චරයි" අගමැති කීවේ සැහැල්ලුවෙනි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ නැත.
"දෙසැම්බර් වෙනකම් ඉන්නේ ජනාධිපතිතුමා කියපු නිසා කියලා සුසිල් ප්‍රේමජයන්ත කිව්වා නේද?" රන්ජන් යළි විමසීය.

"කියන්න දේවල් නැතිව සමහරු මයික් ඇල්ලුවම කියන දේවල් ගනන් ගන්න එපා. සුසිල් කියන විදියට ශ්‍රී ලනිපය දෙසැම්බර්වල ආණ්ඩුවෙන් යනවා නම් අගමැතිතුමා හා අපි ඊළඟට කරන දේ කතා කරලා තියෙන්නේ. රාජපක්ෂලාගේ 2/3 බලයෙන් එයාලත් ශක්තිමත් වුණත් අපේ මේ 2/3න් රට ගොඩගන්නයි අගමැතිතුමා බලන්නේ" අගමැති වෙනුවට කිරිඇල්ල උත්තර දුන්නේ රන්ජන්ට 'හිංන්ට්' එකක් පාස් කරන ගමන්ය. මයික් ඇල්ලුවම ඕන දෙයක් කියන එක රන්ජන්ටත් අදාළය.
"ශ්‍රී ලනිපයේ කවුරුවත් ආණ්ඩුවෙන් යන්න කැමැති නෑ. හුඟ දෙනෙක් එකතු වෙනවටත් විරුද්ධයි. ඒකාබද්ධයේ 55නුත් 42ක් එකතු වෙනවට විරුද්ධයිලු. අපි වසර දෙකක් දුක් විඳලා රිමාන්ඩ් වෙලා දැන් එකතු වෙන්නෙ මොනවටද කියලාලු ඔවුන් අහන්නේ" නවීන් දිසානායක කීවේ සිනා මැදය.
"ගිය රජයේ දූෂණ හා විශේෂයෙන් ගී්‍රක බැදුම්කර දූෂණ ගැනත් කොමිසම් පත් කරන්න කියලා එජාප මන්ත්‍රිවරු 49ක් අස්සන් කරලා ජනාධිපතිතුමාට ලිපියක් දීලා තියෙනවා. ඒකේ තත්ත්වය මොකක්ද" ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.

"වංචා දූෂණ ගී්‍රක හා අනෙක් බැඳුම් කර ඇතුළු හැම දේ ගැනම අද මම පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. බැඳුම්කර කොමිසම යන කාලේ මම මේවා කිව්වේ නැත්තේ ඒ කොමිසමට වක්‍ර හෝ බලපෑමක් වේවියි හිතලයි. ඒ නිසා බැඳුම්කරවල අතීත හා වත්මන් කතා ඔක්කොම අද මම එළිකරනවා" අගමැති කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්