බස් හා ලොරි සඳහා භූමිතෙල් ලබාදෙන පිරවුම්හල් තහනම් කරනවා

  👤  3242 readers have read this article !
2017-12-06

බස් හා ලොරි සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් ලබාදෙන ඉන්ධන පිරවුම්හල් තහනම් කිරීමට නීති පනවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග පැවැසීය.
"බස් හා ලොරිවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගන්නවා. ඒ නිසා බස් හා ලොරිවලට භූමිතෙල් නොදෙන ලෙස ඉන්ධන හල්වලට දැනුම්දී තිබෙනවා. මෙවැනි දේ කරන ඉන්ධන හල් තහනම් කිරීමට හා වසා දැමීම සඳහා දැඩි නීති පනවනවා."

"තෙල් සංස්ථාව බිලියන 5ක් පමණ වසරකට පාඩු ලබනවා. ඩීසල් පරිභෝජනය කි.ලීටර් 38,588කින් අඩුවී භූමිතෙල් පරිභෝජනය කි. ලීටර් 1,500කින් වැඩිවී තිබෙනවා.
තෙල් සංස්ථාව රජයට වැඩියෙන් බදු ගෙවන ආයතනයක්. රාජ්‍ය ආයතනවලින් අපට රුපියල් මිලියන 67ක් ලැබිය යුතුව තිබුණත් තවම ලැබෙන්නෙ නැහැ. රාජ්‍ය බැංකු දෙකකට මාසිකව රුපියල් බිලියනයක ණය ගෙවනවා."

"බාල තෙල් ගෙන ඒමේ ක්‍රමවේදය නවත්වන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට මා පසුගිය දිනවල මුහුණ දුන්නා. තෙල් අර්බුදයක් - වර්ජනයක් තිබෙන බවට එස්.එම්.එස්. පණිවුඩ යවනවා. මොන බලපෑම් ආවත් මාෆියාවක් තිබුණත් ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියා කරනවා. බාල තෙල් නැව රටේ බෙදාහැරියා නම් මහා ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙනවා. මේ ක්‍රමවේදය ඇති කළ අය ගැන රහස් පොලිසිය යොදවා පරීක්ෂණ කරගෙන යනවා."

ලයිට් කපන්නෙත් නෑ
විදුලි බිල වැඩි කරන්නෙත් නෑ

"අපි විදුලි බිල වැඩි කරන්නෙත් නැහැ. විදුලිය කපන්නෙත් නැහැ. මා ඒ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා"යි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

අපි සියයට සියයක් විදුලිය ලබාදුන් රටක්. එනම් සියයට 99.7ක්. අපට විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයක් 8000 කට ස්ථිර රැකියා දීමට හැකි වුණා.
සූර්යබල පැනල නිෂ්පාදකයන් බවට පත්වීමට අද සාමාන්‍ය ජනතාවට අවස්ථාව තිබෙනවා. අද ගල් අඟුරු විසිහතර දෙනකුගේ තරගයකින් සපයා ගැනෙනවා. එදා සැපයුවේ එක පුද්ගලයෙක් පමණයි. කුණු මඟින් විදුලිය නිෂ්පාදනයත් ආරම්භ වී තිබෙනවා. එමඟින් මෙගාවොට් 40ක් නිපදවනවා.
ද්‍රව වායුවෙන් විදුලිය නිපදවීම ගැන පැවැති ගැටලුවත් දැන් විසඳී තිබෙනවා.

බලශක්ති සංරක්ෂණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ආරම්භ කළා. අපේ බලාපොරොත්තුව මෙගාවොට් 500ක විදුලිය ඉතිරි කිරීමයි.
විදුලිය පිළිබඳ අභියෝග තිබෙනවා. අර්බුදයක් නැහැ. විදුලිබල මණ්ඩලයේ වැටුප්
විෂමතා ප්‍රශ්නය නූල්බෝලයක් වගේ වුණා. අති බහුතරය කැමැති වන විසඳුමකට යා හැකි බව විශ්වාසයි.

අපේ කලාපයේ සෙසු රටවල් එක් දිනකදී විදුලිය කපන හැටි ගැන ජනතාව දැන ගන්න ඕනෑ. ඇෆ්ගනිස්තානය පැය 4යි, බංග්ලාදේශය පැය 6-7යි, ඉන්දියාව පැය 4-6යි, මාලදිවයින පැය 4යි, නේපාලය පැය 7යි. පාකිස්තානය පැය 12යි. නමුත් ශ්‍රී ලංකාව මිනිත්තුවක්වත් විදුලිය කපන්නෙ නැතිව ලබා දෙනවා.
විදුලියෙන් ක්‍රියාත්මක කරන වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන අපිත් ආරම්භ කරලා පෞද්ගලික අංශයටත් ලබාදෙනවා. මිලියන 5,300ක් අඩු පොලියට නිවාසවලට විදුලිය ලබාදීමට වෙන්කර තිබෙනවා. 2030 වනවිට නිවාස දස ලක්ෂයකට සූර්ය බලශක්ති කට්ටල ලබාදීම අපේක්ෂාවයි.

ඉන්ධන සඳහා බදු අය නොකරන ලෙස ඉල්ලුවා. විදුලිය කැපුවෙත් නැහැ. මිල වැඩි කළෙත් නැහැ. බිලියන 60ක් භාණ්ඩාගාරයෙන් ගත්තෙත් නැහැ. රජයට අමතර බරක් දරන්න වුණේ නැහැ.

සුළි සුළඟ නිසා නිවාස දස ලක්ෂයක පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි වුණා. මේ වනවිට සියයට 97ක් යථා තත්ත්වයට පත්කර අවසානයි.
අප විදුලිබිල වැඩි කරන්නේ නැහැ. විදුලිය කපන්නෙත් නැහැ කියන පණිවුඩය වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකාබද්ධ ආණ්ඩුවේ ආදර්ශවත් අමාත්‍යාංශයක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මිශ්‍ර ජනන සැලැස්මක් ගැන ලබන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනවා."

තෙල් සංස්ථාව පාඩුයි කීවාට රාජ්‍ය ආයතනවලින් මිලියන
68.8ක් අයවෙන්න තියෙනවා

"ඛනිජ තෙල් සංස්ථාව පාඩුයි පාඩුයි කියල හැමෝම කියනවා. රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට රුපියල් මිලියන 68.8ක් අයවෙන්න තියෙනවා. අපිට මේ ණය නිසා විශාල මුදලක් බැංකුවලට ණය ගෙවන්න සිදුවී තිබෙනවා" යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනි වෛද්‍ය අනෝමා ගමගේ පැවැසුවාය.
"ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිලදී ගැනීම සඳහා ස්පොට් ටෙන්ඩර්වලට යන්නේ විනිවිද පෙනෙන ආකාරයෙන්. ඉදිරියේදී දීර්ඝකාලීන ටෙන්ඩර් ක්‍රමයකට යෑමට කටයුතු කරමින් සිටිනවා."

අනුර කුමාර දිසානායක - මගේ ළඟ තියෙනවා තෙල් නැව් 12ක විස්තර. ස්පොට් ටෙන්ඩර් ක්‍රමයට යෑම තමයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ස්පොට් ටෙන්ඩර්වලට යෑම නිසා මිලියන 37ක පාඩුවක් සිදුවෙලා තියෙනවා. ඒක තමයි මෙතැන ප්‍රශ්නය.
අනෝමා දිනාසායක - "ඛනිජ තෙල් සංස්ථාව රටේ මහජනයාට යහපතක් වෙන ආකාරයට කටයුතු කරනවා. ජනතාවට අවම හානියක් වන ආකාරයට කටයුතු කරනවා. අධිවේගී මාර්ගයේත් අපට ප්‍රශ්න ඇතිවී තිබෙනවා."

"අපේ පිරිපහදුව හදා ගැනීම අපට අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා. ඒක අවුරුදු 40ක් පැරැණි එකක්. පිරිපහදුව ගැන කාගේත් අවධානය යොමුවන්න ඕනෑ."
"දැනට අපට අවුරුදු 70ක් පමණ පැරැණි අඟල් 10ක විෂ්කම්භය ඇති එකම නළ මාර්ගයක් පමණයි තිබෙන්නේ. විෂ්කම්භය අඟල් 12ක ඉන්ධන නළ මාර්ගයක් අපි දැනට ඉදිකරගෙන යනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්