ආණ්ඩුවේ හොඳ වැඩ තුනක්

  👤  3487 readers have read this article !
2017-12-07

මෛත්‍රි - රනිල් ආණ්ඩුව අගය කළ යුතු පියවර තුනක් ගෙන ඇත. එහි පළමුවැන්න ජාතික වෘක්කවේද (වකුගඩු) රෝහල සඳහා මුල්ගල තැබීමය. ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබෙන මේ රෝහල දකුණු ආසියාවේ පිහිටුවන විශාලතම වකුගඩු රෝහල ලෙස සැලකේ. රුපියල් මිලියන 12,000ක පමණ මුදලක් රෝහල ඉදිකිරීමට වැය වන අතර ඒ සම්පූර්ණ මුදල චීන රජය දරන බව පැවැසෙයි.

පොළොන්නරුව මහ රෝහලට නුදුරින් ඉදිකෙරෙන මේ වකුගඩු රෝහල වකුගඩු රෝගය බහුලව පැතිර තිබෙන රජරටට මෙන්ම දිවයිනටම ලැබෙන මිල කළ නොහැකි පරිත්‍යාගයකි. මේ රෝහල ඉදිකිරීමට සමගාමීව වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහල, මඩකළපුව ශික්ෂණ රෝහල, බදුල්ල මහරෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වල වකුගඩු රෝග නිවාරණ ඒකක පිහිටුවීමට නියමිතය. රජරට ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර ඇති මාරාන්තික වකුගඩු රෝගයට මූලික හේතු සොයා ගැනීම සඳහා ඉලක්ක කරගත් පර්යේෂණවලට සහාය දීමට ඕස්ට්‍රේලියා න්‍යෂ්ටික විද්‍යා සහ
තාක්ෂණ ආයතනය කැමැත්ත පළකර ඇත. ඒ අවස්ථාව හිමිවූයේ ජනාධිපතිවරයා ඉකුත් මැයි මාසයේ ඕස්ට්‍රේලියාවේ කළ රාජ්‍ය සංචාරයෙන් පසුවය.

වකුගඩු රෝගය නිවාරණයට කටයුතු කරන බව පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ අතර ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂ රෝහල ස්ථාපිත කිරීම ඒ පොරොන්දුව ඉටුකිරීමේ ප්‍රධාන පියවරක් ලෙස සැලකිය හැකිය.

මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගත් දෙවැනි පියවර වන්නේ 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතියට අයත් පාසල්වල පුස්තකාලවලට පොත් මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමය. 'අතීතයට යතුරක් _ අනාගතයට පාලමක්' තේමාවෙන් පාසල් 3312ක් සඳහා රුපියල් මිලියන 700ක වටිනාකමින් යුත් පොත් මේ අනුව ප්‍රදානය කෙරිණි.
ඊට සමගාමීව ප්‍රථමවරට සැකසුණු පාසල් පුස්තකාල ග්‍රන්ථ නාමාවලියද එළිදක්වා ඇත. ඊට අනුග්‍රහය දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයයි.
අනාගත පරපුර ඇසූ පිරූ තැන් ඇති සවිඥානිකයන් පිරිසක් විය යුතුය. 'අධ්‍යාපනය' ඒ සඳහා අත්‍යවශ්‍යය. එහිදී පොතපත කියැවීම ප්‍රධාන සාධකයකි. පාසල් දරුවන් තුළ කියැවීමේ රුචිකත්වය විශාල ලෙස පිරිහී ගොස් තිබෙන්නේ නවීන

තාක්ෂණය සමඟ ඇති ගනුදෙනුව නිසාය. මේ තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ කියැවීමේ රුචිකත්වය ඉහළ නැංවීමට විශේෂ අවධානයක් යොමුකිරීම කාලෝචිතය. එනිසා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛව ආරම්භ කළ 'අතීතයට යතුරක් _ අනාගතයට පාලමක්' ඇත්ත වශයෙන්ම අගනා කටයුත්තකි.

තෙවැනි පියවර වන්නේ "සසුනෝදය" වැඩසටහනයි. මේ වැඩසටහනින් සිදු කෙරෙන්නේ දිවයිනේ විහාරස්ථාන 12,000ක් සංවර්ධනය කිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීමයි. පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී දෙවැනි වටයේ තෝරාගත් විහාරස්ථාන 850ක් සඳහා ආධාර පිරිනැමිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වැඩසටහන සකස් කර ඇත. "සසුනෝදය" යටතේ විහාරස්ථානයකට රුපියල් ලක්ෂ 5 බැගින් පිරිනැමේ. පළමු අදියරේදී විහාරස්ථාන 150ක් සඳහා රුපියල් මිලියන 50ක්ද, දෙවැනි අදියර යටතේ විහාරස්ථාන 850ක් සඳහා රුපියල් මිලියන 425ක්ද පරිත්‍යාග කර ඇත.

ඒ අනුව "සසුනෝදය" වැඩසටහනින් විහාරස්ථාන දහසක් සඳහා මේ වන විට රුපියල් මිලියන 475ක් ලබාදී අවසන්ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසා තිබුණේ අරමුදලේ ආදායම ඉදිරියේදී වැඩිවන හෙයින් ආධාර කරන විහාරස්ථාන සංඛ්‍යාවද තවත් වැඩිකිරීමට කටයුතු කරන බවය.

බෞද්ධ ශාසනයට, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ආණ්ඩුව කරන මේ දායකත්වය සුවිශේෂය. මේ ක්ෂේත්‍ර තුනම පොදු ජනතාවගේ හිත සුව පිණිස වෙයි. අවශ්‍ය වන්නේ වැඩසටහන් ඇරැඹීම වගේම පවත්වාගෙන යෑමය. බොහෝ විට රාජ්‍ය අංශයේ නොවන්නේද එයමය. ඒ නිසා ඒ
පිළිබඳ අදාළ ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ අවධානය යොමු වීම අවශ්‍යය. ජනතාවගේ "මුදල්" ජනතාව වෙනුවෙන් ඵලදායී ලෙස යොදවන්නේ දැයි අවදියෙන් සිටීම මාධ්‍යයේ වගකීමය. අගය කළ යුතු දේ අගය කිරීමටද ඊට වටිනාකමක් ලබාදීමටද මාධ්‍ය පසුබට විය යුතු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්