සිදු කළේ බාරයක් මැවුණේ බෝසත් රුවක් කුෂ්ඨරාජගල පිළිබඳ අබිරහස මෙන්න

  👤  5014 readers have read this article !
2017-12-10

දකුණු පළාතේ ගාල්ල හා මාතර නගර දෙක අතර පිහිටා ඇති ඉතා පැරැණි වරායක් ලෙසින් වැලිගම හඳුන්වා දිය යුතුව ඇත. කඩයිම් පොත්වල වැලිගම දහස්ගම් යැයි සඳහන් වී ඇත. කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ රැසකම වැලිගම පිළිබඳව සඳහන් කර තිබේ. මහපාර අසල ඇති ස්වාභාවික ගල් පර්වතයක උන්නත රූපයක් ලෙසින් (ගලෙන් වෙන් නොකර පිහිටි ගලෙහිම) නෙළා ඇති මෙම මූර්තිය පුරාවිද්‍යාඥයන් අතර ඉමහත් ආන්දෝලනයක් ඇති කළ එකකි.

මෙම පුදබිම මුල් කාලයේදී වැලිගම අග්‍රබෝධි විහාරය නමින් ප්‍රකට වූයේය. මේ වත්මන් විහාරයත්, මෙම වැලිගම පිහිටි කුෂ්ඨරාජ ගලත් වෙන්වී ඇත්තේ දුම්රිය මාර්ගයක් සෑදීම නිසාය. එසේ හෙයින් මෙම ස්ථානය පුරාණ යුගයේදී එකක් ලෙස තිබූ බවටත් කිසිදු සැකයක් නැත. පැරැණි යුගයේදී වැලිගම අග්‍රබෝධි විහාරය ඉතා ප්‍රසිද්ධ වූ ස්ථානයකි.
ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දෙවැනිපෑතිස්ස රාජ සමයේදී බව ඉතා ප්‍රකට කරුණකි. එම ශ්‍රී මහාබෝධින් වහන්සේ අදත් අනුරාධපුරයේ ශුද්ධ නගරයේ උඩමළුවෙහි වැඩ සිටිති. එම ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් හටගත් අෂ්ටඵලරූහ (පැළ අට) හා දෙතිස්ඵල රූහ පැළ (අංකුර තිස් දෙක) ඒ කාලයේම ලංකාවේ සතළිස් ස්ථානයක රෝපණය කළ බව සිංහල මහා බෝධි වංසයෙහි සඳහන් වේ. මහා වංසයෙහි එම ස්ථාන පිළිබඳව ස්ථාන නාමයන් සඳහන්ව ඇත්තේ අෂ්ටඵල බෝධින්වහන්සේගේ රෝපණය පිළිබඳව සඳහන් කිරීමේදී පමණි. බෝධිවංසයේ මෙම අෂ්ටඵලරූහ බෝධින්වහන්සේ රෝපණය කළ ස්ථානයක් ලෙසින් වැලිගම වෙහෙරද සඳහන් වේ. වැලිගම මෙම බෝධි ශාඛාව රෝපණය කිරීමෙන් පසුව එම ස්ථානය ලක පුරා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේය. ඒ හැරුණු කොට මෙය පුරාණ වරායක් ලෙසින්ද පැවතුණු බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමයක් ලෙසින් වැලිගම ඇති මෙම මූර්තිය පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත. කුෂ්ඨරාජගල යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ කුෂ්ඨ රෝගය වැලඳුණු රජ කෙනකු විසින් එම කුෂ්ඨ රෝගය සුවකර ගැනීමට සිදුකළ පොරොන්දුව හෙවත් බාරය ඔප්පු කිරීමක් ලෙසිනි. ඒ සඳහා මෙම මූර්තිය පිහිටි ගලෙහි නිර්මාණය කරන ලද්දේ යැයි මේ ප්‍රදේශයේ ජනතාව අතර ඉතා ප්‍රචලිත වූ ජනප්‍රවාදයක් ද පවතී.

පැරැණි වරායවල මෙවැනි අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනය පැවැති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක්ම අපට හමුවී ඇත. උදාහරණයක් ලෙසින් ගතහොත් ත්‍රිකුණාමලයේ සිට සැතපුම් 29ක පමණ දුරින් පිහිටි තිරියායේ ඇති ගිරිහඩු වෙහෙර ද පැරැණි වරායක් වන අතර එහිද අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනය පැවැති බවට ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේදී සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී බෝධිසත්ත්වයන්ට නමස්කාර කිරීම සඳහා වූ ස්තෝත්‍රවලින්ද පැහැදිලි වෙයි. ඊට අමතරව තිරියායේ වූ වටදාගෙය අසල කැණීමකදී 1983 වර්ෂයේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ලෝකඩ ප්‍රතිමා 11ක් මෙන්ම තාරා දෙවඟනගේ ප්‍රතිමා 3ක්ද මහායාන බුදු සමයට අයත් වන බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් පැවැති බවට සාක්ෂි හමුවූයේය. බෝධිසත්ත්ව වන්දනය පිළිබඳව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ ඇම්. එච්. සිරිසෝම මහතා මෙසේ සඳහන් කර ඇත.

පුරාණ සිංහලයන් විසින් මෙම බෝධිසත්ත්වයන් විශේෂ ගරුත්වයකින් සලකනු ලැබුවේ කවර හෙයින්දැයි සොයාබැලීම වැදගත් වේ. පැහැදිලිවම දන්නා පරිදි මුහුදු දෙවි, උපුල්වන් විසින් ආරක්ෂා කරනු ලැබූ විජය ඇතුළු පිරිස නාවිකයෝ වෙති. පුරාණ නැවියන් සහ මුහුදු යාත්‍රිකයන් විසින් අදහනු ලැබූ මුහුදු දෙවියකු වශයෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් සලකනු ලැබේ. මේ හේතුව නිසා සෑම පැරැණි වරායක් අසලම අවලෝකිතේශ්වර පිළිම ගෙවල් දක්නට ලැබේ. වර්තමානයේ කුදිරමලේ තුඩුව ප්‍රදේශයේ වූ පුරාණ තම්බපණ්ණි වරාය අසල තිබූ අවලෝකිතේශ්වර පිළිම ගෙයක අවශේෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිරාවණය කරගෙන ඇත. අවලෝකිතේශ්වරයන්ගේ කුෂ්ඨරාජල ප්‍රසිද්ධ ප්‍රතිමාවද පිහිටා ඇත්තේ පුරාණ වැලිගම වරායට මුහුණලා තිබෙන පරිද්දෙනි. (මාන්තෙයි, මහාතිත්ථ) මාතොට තිබූ බෝධිසත්ත්ව පිළිම ගෙයක නටබුන් නිසැකවම අවලෝකිතේශ්වර පිළිම ගෙයක අවශේෂ වශයෙන් හඳුනාගෙන ඇත. මේ අනුව ක්වේරෝස් විසින් සඳහන් කොට ඇති ත්‍රිකුණාමලයේ කන්ද මුදුනේ වූ පිළිම ගෙවල් අතරින් එකක් අවලෝකිතේශ්වර පිළිම ගෙයක් සේ නිගමනය කළ හැක්කේ එය පුරාණ වරායකට මුහුණලා පිහිටුවා ඇති නිසාය.

එමෙන්ම තිරියාය කඳු මුදුනේ තිබූ අවලෝකිතේශ්වර පිළිම ගෙය මුහුදට මුහුණලා ඇති හෙයින් ඒකාන්ත වශයෙන්ම එය නැඟෙනහිර වෙරළට සම්ප්‍රාප්ත වන නාවිකයන් ඇදහූ ප්‍රතිමා ඝරයක් විය යුතුය.

(උතුරු නැඟෙනහිර පෙදෙස්හි හෙළ උරුමය ඇම්.එච්. සිරිසෝම 1986 පිටු 63 - 64) ඉතා ප්‍රකටව පැරැණි ලක්දිව ප්‍රචලිත වූයේය. ඒ අතරේ බෝධිසත්ත්ව වන්දනය පිළිබඳව වූ ප්‍රමුඛතම ස්ථානයක් ලෙසින් වැලිගම කුෂ්ඨරාජගල පිහිටි අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමය හඳුන්වා දිය හැකිය.
මෙම බෝධිසත්ව පිළිමවල ඉතා විශේෂිත ලක්ෂණය නම් ශීර්ෂාභරණයෙහි සමාධි ඉරියව්වෙන් සිටින බුදු පිළිමයක් මූර්තිමත් කර තිබීමයි. දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ මේ බුදු පිළිමය ඉතාමත් පැහැදිලිව නිර්මාණය කර ඇත. අමිතාභය බුදුරජාණන් වහන්සේ මෙයින් නිරූපණය කරන බව කියනු ලැබේ. වැලිගම කුෂ්ඨරාජගලෙහි ද මෙවැනි බුද්ධ රූප දැකිය හැකිය.

කුෂ්ඨරාජගල පිළිබඳව පූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි හිමියෝ රුහුණේ ඇදහිලි හා විශ්වාස නමැති ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කරති.
"කුෂ්ඨරාජ" මෙයින් ප්‍රකාශ කෙරෙන්නේ කවුරුන්ද යන්න මීළඟ ප්‍රශ්නයයි. එය නාථ රූපයකැයි අපි මොහොතකට පිළිගනිමු. අවලෝකිතේශ්වර නාථ පිදීම රෝග ව්‍යාධි සමනයට හේතුවන්නකි යන්න මහායානිකයන්ගේ පිළිගැනීමයි. නාථගේ එකසිය අටක් අවතාර අතරේ සිංහනාද අවලෝකිතේශ්වර රෝග සමනය කරන්නෙකි. එනිසාම සිංහල ද්වීපයෙහි ආරෝග්‍යශාලා ලෝකනාථ ව්‍යවහාර කරන බව නේපාල ලිපියක සඳහන් වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. එකොළොස්වන ශතවර්ෂයට අයත් වංග අකුරින් ලියැවුණු අත් ලියැවිල්ලක මේ නම සහ සිතුවම් ඇතැයි එතුමා පෙන්වා තිබේ. මේ කරුණු අනුව අග්බෝ වේවා වෙන කිසියම් කෙනෙක් වේවා මෙහි කරන ලද්දේ රුහුණේ ථෙරවාදී මධ්‍යස්ථාන කිහිපයකම දක්නට ලැබෙන අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ත්වයන්ගේ රූපය විය යුතුය.

මෙම ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවක් ලෙසින් සැලකේ. මකුටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා සතරක්ම දක්නට ඇති ගලින් නිමවූ ලංකාවේ මෙතෙක් හමුවී ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමය මෙය පමණකි. සිරසේ ඉදිරිපසද එකකට එකක් උඩින් සිටින සේ බුද්ධ රූප දෙකක් ද දෙපසින් දෙකක්ද බුද්ධ රූප නෙළා ඇත.

මේ කුෂ්ඨරාජගල නමින් ප්‍රසිද්ධ වී ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමයේ දකුණු අත විතර්ක මුද්‍රාවෙන්ද වම් අතින් ආහ්වාන මුද්‍රාවද ප්‍රකාශ කෙරෙන බව උල්රිචි වොන් ෂ්‍රෝඩර් මහතා ඕභඤඤඤඩඪඵබ ඉජභතනබභපඥඵ ඪද ඉපඪ ඹ්චදඬච යන ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. මෙම පිළිමය භාරත දේශයේ ඇති අදහස්වලට අනුව නොව නිදහස් ලෙසින් නිර්මාණය කරන ලද අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමයක් ලෙසින් ඒ මහතා විසින් හඳුන්වා දී ඇත. මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමයේ ඉතා අලංකාර ධෝතියකින් යටිකය සරසා ඇති අතර එහි උඩුකය උරබන්ධනයකින්ද ගෙල මාලවලින්ද, දෑත වළලුවලින්ද සරසා ඇත.

මෙම ස්ථාන අවලෝකිතේශ්වර වන්දනය පිළිබඳ මධ්‍යස්ථානයක් ලෙසින් පැවැති බව සඳහන් කළ හැකි අතර ලංකාවේ සුවිශේෂී වූ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමයක් ලෙසින් සඳහන් කළ හැකිය.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon