සුනිල දියවර සිඳී වසරකි

  👤  4601 readers have read this article !
2017-12-10

'ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා'

සිංහල ගීත ක්‍ෂේත්‍රයෙහිත්, මවු ගුණ ගීතාවලියෙහිත් සුවිශිෂ්ටම ගී අතළොස්ස අතරේ ගැනෙන කරුණාරත්න දිවුල්ගනේ ගයන ඉහත ගීයේ පද රචකයා සහ සංගීත සැරසිල්ලේ හිමිකරුවා වන්නේ සුනිල් දයානන්ද කෝණාරයන්ය. හෙළ ගී පෙත පෝෂණයෙහිලා අමිල, නිහඬ මෙහෙවරක් කළ ප්‍රවීණ සංගීතවේදී සුනිල් දයානන්ද කෝණාරයන් දිවියෙන් සමුගෙන ඉකුත් දෙසැම්බර් 7 වැනි දිනට වසරක් සම්පූර්ණ වේ. ඒ දිවි සැරිය අලළා ලියූ මේ සටහන එතුමාගේ කලා මෙහෙවරට කරන උපහාරයකි.

කෝණාර හාමිලාගේ පුංචි බණ්ඩාර පියාණන්ටත් රණවීර ආරච්චිලාගේ රන්මැණිකේ මෑණියන්ටත් දාව දඹදෙණිය මුතුගල ගමෙහි 1952 ජූලි මස 1 වැනිදා සුනිල් දයානන්ද ජන්ම ලාභය ලබන්නේය. සහෝදර සහෝදරියන් හය දෙනකුගේ පවුලේ ඔහු පස්වැනියාව ආදරයෙන් හැදී වැඩුණේය. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් මුතුගල ගමේ කෘෂිකාර්මික පරිසරය එතුමන්ගේ මුල් පාඩම වූවේය. අඬහැර, සීපද රාවය කනටද, යාය අස්වද්දන, අස්වනු නෙළන දසුන් ඇසටද ජීවිතයේ රිද්මය ඔහුට කියා දුන්නේය.

සුනිල් දයානන්ද පාසල් ජීවිතය අරඹන්නේ මුතුගල ගමේ කනිෂ්ඨ විද්‍යාලයෙනි. එදවස පටන්ම ඉතා නිහඬව කටයුතු කරන්නට කැමැති වූ හෙතෙම කාගේත් අවධානය තම දක්ෂතා වෙත යොමු කරවාගන්නට සමත් විය. මෙකල පාසලේ කටයුතු මෙන්ම ගමේ වැඩිහිටියන් සමඟ එක්ව වෙනත් සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් දෙස අවධානයෙන් සිටින්නටද හේ රුචියක් දැක්වීය. රාත්‍රි පහන් වන තුරු කමත්වල වැඩිහිටියන් පානා අඬහැර ඇසීමටත්, ටීටර් නාට්‍යකරුවකු වූ අල්ලපු ගෙදර සියාතු බණ්ඩාර මාමාගේ ටීටර් නාට්‍යවල සර්පිනා වාදනයට ආ මුතුගල, කේ. තිලකරත්න ශිල්පියාගේ වාදනය අසා සිටීමටත් හේ මහත් පෙරේත කමක් දැක්වීය. එය ඔහුගේ ජීවිතයේ සංගීතයට හිත ඇදී ගිය මුල් අවස්ථාව වූයේය.

එවකට මුතුගල කනිෂ්ඨ විද්‍යාලයේ සංගීතය විෂය ඉගැන්වීම සිදු නොකළත් එම පාසලට පැමිණි පෙරේරා ගුරුතුමිය හා මුණසිංහ ගුරුතුමිය සුනිල් දයානන්ද දරුවාගේ දක්ෂතා හඳුනාගෙන ඔහුට සංගීතය විෂය ඉගැන්වීම සිදු කරනු ලැබීය. මේ ගුරුවරුන් ඇසුරේ සංගීතයේ මුලකුරු කියැවූ සුනිල් දයානන්ද ඉන් පසුව දඹදෙණිය මහා විද්‍යාලයට ඇතුළත්ව එහි සිටි ජයන්තා අරන්දල ගුරුතුමිය යටතේ ශිල්ප ලබා සංගීත විෂයට සම්මාන සාමාර්ථ ඇතිව සාමාන්‍ය පෙළ විභාගය සමත් වූයේය. දඹදෙණිය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත්වන සුනිල් දයානන්ද උසස් පෙළ හැදෑරීමට ඇතුළත් වන්නේ නාරම්මල මයුරපාද විද්‍යාලයටයි. එහිදී සංගීත විෂය හැදෑරීම වෙනුවට ඔහු බෞද්ධ ශිෂ්ටාචාරය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව හා සිංහල විෂය ධාරාවන් හැදෑරීය. එහෙත් එම විදුහලේ සියලු සංගීත කටයුතුවල සුනිල් දයානන්ද මුල් තැනක සිටියේය. උසස් පෙළ විභාගය සමත්වෙනවාත් සමඟම එවකට රජයේ සංගීත විද්‍යාලයට නවක සිසුන් බඳවා ගන්නා බව සැල වූ ඔහු ඒ සඳහා අයැදුම් කළ අතර එහි සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව, 1970 දී පමණ කොළඹ රජයේ සංගීත විද්‍යාලයට අධ්‍යාපනය සඳහා පිටත්ව යන්නේය. ආර්ථික අපහසුතා සහ සියලු බාධක ඉවසාගනිමින් එහි අධ්‍යාපනය හදාරන කාලයේ ඔහුගේ සමකාලීනයන් වූයේ ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්ධුල විජේවීර, මාලනී බුලත්සිංහල, රුක්මණී තිලකරත්න, ආනන්ද වීරසිරි, සෝමපාල රත්නායක වැන්නෝය. එකල සංගීත විද්‍යාලයේ ආචාර්යවරුන් ලෙස පී.වී. නන්දසිරි, අනිල් මිහිරිපැන්න, වික්ටර් පෙරේරා, ඩී.ඒ. දේවගේ, පණ්ඩිත් අමරදේව. අමරා රණතුංග, සංගීත් නිපුන් සනත් නන්දසිරි, සදානන්ද පට්ටිආරච්චි, කුසුමා පෙරේරා, අයිවෝ ඩෙනිස්, නන්දා පෙරේරා සහ බී. වික්ටර් පෙරේරා වැන්නෝ සේවය කළෝය.

රජයේ සංගීත විද්‍යාලයේ තුන්වැනි වසරේදී පමණ සිටින කාලයේදී එවකට ජන සංගීතය පිළිබඳ පර්යේෂණ කළ ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ පර්යේෂණ කෙරෙහි දැඩිව බැඳෙන සුනිල් යම් යම් නිර්මාණ කාර්යයන්හි නියැළෙන්ට පටන් ගනී. එහෙත් හේ ඉතා නිහඬය. මෙකල ගුවන්විදුලි ජන සංගීත පර්යේෂණ ඒකකය මඟින් ඉදිරිපත් කළ බොහෝ වැඩසටහන්වල අත්වැල් ගායනයෙන් දායක වූ හෙතෙම ඊට අමතරව ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ 'පහනින් පහන' නාට්‍යයේත් ලයනල් රංවල මහතාගේ 'කාලගෝල' නාට්‍යයේත් දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරිබෑණා' නාට්‍යයේත් අත්වැල් ගායනයෙන් සම්මාදම් වූවේය. මේ කාලයේදී සුනිල් දයානන්ද විසින් 'අවාරේ මී මොර මල්' ගීතය ලියා එහි මූලික කාර්යයන් ඔහුගේ අතින්ම නිම කළේය. එවකට එය වෙනත් ශිල්පියකු ගැයුවද මෙකල සමන් ලෙනින් ශිල්පියා ගායනා කරනු ලබයි.

1975 දී සංගීත විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හමාර කරන සුනිල් දයානන්දට ඒ ආසන්න කාලයේදීම මුතූර් අධ්‍යාපන කොට්ඨාසයට අයත් කන්තලේ අග්‍ර බෝධි විද්‍යාලයේ ගුරු පත්වීමක් ලෙස පළමු රැකියාව ලැබිණි. එවන් දුෂ්කර පළාතක ලද සියලු දුෂ්කරතා මුදිතාවෙන් විඳ තමන් සතු සංගීත ඥානය මිහිරි කොට ශිල්ප පිපාසාවෙන් සිටි දරුවන්ට පෙව්වේය. අඩුම තරමින් සංගීත භාණ්ඩයක්වත් නොවුණ මේ පාසලේ දරුවන්ට සංගීත පාඩම් කියා දීමට සර්පිනාව ගෙන ගියේද එකල තිබූ දැඩි වාහන දුෂ්කරතාවද විඳගෙන තමාගේ දඹදෙණිය, මුතුගල පිහිටි නිවෙසේ සිටය. දරුවන් වෙත ශිල්ප ලබා දීමේ සුනිල් දයානන්දයන්ගේ බෝසත් පාරමිතාව ඇරැඹෙන්නේ එලෙසිනි.

කන්තලේ අග්‍ර බෝධි විද්‍යාලයේ අවුරුදු දෙක හමාරක පමණ කෙටි කාලයක් පමණක් සේවය කරන ඔහුට, ඔහු අධ්‍යාපන කටයුතු හැදෑරූ දඹදෙණිය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස පැමිණීමට දෛවය විසින් අපූරු ඇරැයුමක් ලබා දුන්නේය. ඒ ඇරැයුමට හිස නමා එම විද්‍යාලයේ වැඩ භාරගන්නා සුනිල් දයානන්ද දරුවන්ගේ ශිල්ප පවස නිවමින් සිටියදී නැවත ඔහුට ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු අරබයා ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වීමට සිදු වේ. එහිදී නැවතත් එතෙක් මඟ හැරෙමින් තිබූ තම නිර්මාණ කටයුතු සිදු කරන්නට මඟ පෑදෙන්නේය. එකල ගුවන් විදුලිය සමඟ නැවත තම ඥාතීත්වය සකස් කරගන්නා ඔහු ගුවන් විදුලියේ සරල ගී පර්යේෂණයට ඉදිරිපත් වී 'බී' ශේ්‍රණියේ ගායකයකු ලෙස තේරී පත්වේ. වැලිකලමුල්ලේ වික්‍රමසිංහ ලියා බන්ධුල විජේවීර තනු නිර්මාණය කර පුණ්‍යා කත්‍රිආරච්චි සමඟින් ගැයූ 'ඉසිපතනේ මිගදායේ' ගීතය ඔහු ගැයූ මුල්ම සරල ගීය වූ අතර එය එකල මහත් ජනප්‍රියත්වයට පත්විය. ඉන් පසුවද තවත් ගී කිහිපයක් ගායනා කළද ගායකයකු ලෙස ඔහුගේ ගායන ප්‍රතිභාව පිළිබඳ හේ ඉන් පසු උන්දු වූ බවක් දක්නට නොලැබේ. නමුත් ගුවන් විදුලි සරල ගී ගැයූ වෙනත් ශිල්පීන් සඳහා ඔහුගේ පද රචනා සහ තනු නිර්මාණ කරන්නට අවස්ථාව උදා විය. එකල ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ ඒකකයේ 'මියැසිය' වැඩසටහන වෙනුවෙන් රුක්මණී තිලකරත්න වෙනුවෙන් 'පිදූ අසෙනිය කුසුම 'ගීයද ලලිත් වික්‍රමරත්න ගැයූ' 'කුප්පි ලාම්පුව' ගීයද, හේමන්ති රණසිංහ ගැයූ' 'අෑත දුරක' ගීයද, ඔහුගේ සංගීත නිර්මාණවලින් හැඩ වූ ඒවාය. ඊට අමතරව ඥානා එළමල්දෙණිය ගැයූ 'ළන්ද වෙලේ ඔබෙ රුව' වැනි ගීත ඔහු විසින්ම පද රචනා කොට තනු නිර්මාණය කළ ඒවාය.

1982 වසරේදී ගිරාගම ගුරු විද්‍යාලයේ අධ්‍යාපනය කටයුතු හමාර කරන සුනිල් දායනන්ද ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයට නැවත ගරු පත්වීමක් ලැබ පැමිණෙන්නේය. ඔහුගේ ගුරු භූමිකාවේත්, සංගීත ජීවිතයේත් ස්වර්ණමය යුගය එළැඹෙන්නේ ඒ සමඟිනි. මේ විද්‍යාලයට පැමිණි දා සිටම ඔහුගේ කැපවීම මත සෑම වසරකම එම විද්‍යාලයේ සංගීත අංශය සමස්ත ලංකා ජයග්‍රහණ වාර්තා කරන්නට විය. ජයග්‍රහණ හේතුවෙන්ම සුනිල් දයානන්ද චරිතයත්, ගිරිඋල්ල වික්‍රමශිලාවත් මහත් සේ ජනප්‍රියත්වයට පත්වන්නේය.

1983 වසර ලංකාවේ ඉතා අඳුරු කාලපරිච්ඡේදයක් සටහන් කළද මේ අසිරිමත් ගුරුතුමා තම කටයුතු කිසි විටෙක අතහැර නොදැමීය. මේ වසරේ සුනිල් ගේ පියාගේ අභාවයද සිදුවේ. තම මව අසීමිත ආදරයකින් රැක බලාගනිමින් ජීවත් වූ ඔහු 1984 වර්ෂයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් තම විද්‍යාලයට හා දරුවන්ට ලබා දෙන්නේය. එය ඔහුගේ ජීවිතයේද වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළේය. සෑම වසරකම ලේක්හවුස් ආයතනය පැවත්වූ මේ භක්ති ගී තරගයට මෙවර වික්‍රමශිලා දරුවන් ඉදිරිපත් කළ ගීතය පළමු තැන ලබා ගත්තේය. එය සුනිලුන් විසින් ලියා සංගීතවත් කළ ගීයකි. උක්ත තරගයෙන් ලද ජයග්‍රහණයෙන් පසුව එහි විනිශ්චය කටයුතු කළ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය නන්දා මාලිනිය ඔහුට මහත් සේ ප්‍රශංසා කොට ඇගේ සරල ගී වැඩසටහනකට ගීයක් සංගීතවත් කරන්නට ඇරයුම් කළේය. එම ගීය වන්නේ අදත් සිංහල ගීයේ නොමැකෙන අපූර්ව නිර්මාණයක් වන 'වහින්නට හැකිනම් ගිගුම් දී' ගීයයි. මෙය පසුව නන්දා මාලිනියගේ 'පවන' ප්‍රසංගයේ තේමා ගීය ලෙසද භාවිත වූ අතර ඉමහත් රසික ප්‍රසාද ලැබීය. ඒ සමඟ නන්දා මාලිනිය ගයන "කුරුඳු කැලේ සිනිදු කුරුඳු දලු අතරේ" ගීයද සංගීතවත් කළේය. මේ ගී ද්විත්වයම රචනා කළෝ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර මේ ගී ඉදිරිපත් කළ ගුවන්විදුලි වැඩසටහනේදී එතෙක් සුනිල් දයානන්ද ලෙස හැඳින්වූ මේ තුරුණු සංගීතවේදියා සුනිල් දයානන්ද කෝණාර ලෙසින් හඳුන්වා දෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. එතැන් පටන් ඔහු සුනිල් දයානන්ද කෝණාර නම් විය.

එතැනින් නොමැකෙන සටහන් තබා ඇරඹෙන සුනිල් දයානන්ද කෝණාර සංගීත දිවිය සිහිල් සුනිල දියවරක් සේ සිංහල සංගීත දෑල පෝෂණය කරන්නේය. ඒ ඉතා නිහඬවය. සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, මාලනී බුලත්සිංහල, එඩ්වඩ් ජයකොඩි, ක්‍රිෂාන්ත එරන්දක, ජානකී සුමිත්‍රා දිසානායක, කිත්සිරි ජයසේකර හා හර්ෂණ දිසානායක වැන්නෝ එතුමන්ගේ විශිෂ්ට පදමාලා හා විශිෂ්ට සංගීත නිර්මාණ තම හ¾ඩින් පෝෂණය කළ ශිල්පියෝ අතළොස්සක් වෙත්. සුනිල් දයානන්ද කෝණාර ගීතාවලියේ විශිෂ්ටම නිර්මාණය ලෙස පිළිගැනෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන "ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා" ගීතයයි. මෙහි පද රචනය හා සංගීත නිර්මාණය යන අංශ දෙකම සුනිලුන්ගේය. සිංහල ගීත ක්ෂේත්‍රයේ මේ විශිෂ්ටත්වය පළ කළ කිහිපදෙනා අතර සුනිල් දයානන්ද කෝණාරයන් ඇත්තේ මුදුනෙහිය. සුනිල් එදිරිසිංහ ගැයූ "මහ වැස්සක් බිමට හෙළා", ක්‍රිෂාන්ත එරන්දක ගැයූ "සමනල පාලම උඩ", හර්ෂණ දිසානාක ගැයූ "රත්නපුරෙන් ගෙන ආ සමන් මල්", "දියබෙරලිය දලු නෙළන්න ගියදා" වැනි ගීත ශ්‍රී ලාංකේය රසිකයන් අප්‍රමාණ ලෙස ආදරයෙන් වැලඳගත් එතුමාගේ නිර්මාණ වෙති.

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ "පාවාඩ" සහ "අන්දරේ" ටෙලි නාට්‍ය ද්විත්වයද, 1985 දී යෞවන සම්මාන දිනූ එඩ්වඩ් පෙරේරා නිෂ්පාදනය කළ "රයිගම්පළ" වේදිකා නාට්‍ය හා ගාමිණී විජේවර්ධන නිෂ්පාදනය කළ "වන තරණය" වේදිකා නාට්‍යය සුනිල් දයානන්ද කෝණාරයන්ගේ සංගීත නිර්මාණයෙන් සැරසිණි. 2013 වසරේදී වසන්ත මොරගොඩ අධ්‍යක්ෂණය කළ "මවුස්" ළමා චිත්‍රපටයේ සියලුම ගීත සංගීතවත් කරන්නේද සුනිල් දයානන්ද කෝණාරයන්මය.

අද ජාතික වශයෙන් සහ ජාත්‍යන්තරයේ මහත් කීර්තියක් උසුලන බොහෝ නිර්මාණකරුවන් සුනිල් දයානන්ද කෝණාරයන්ගේ ඇසුර, සෙවණ ලබාගත් අය වෙති. තම පඩිපත පවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලෝබ නැතිව වියදම් කළ මේ බෝසත් සංගීත ගුරුතුමා විටෙක තම විද්‍යාලයීය සංගීත අසපුව සුවහසක් දරුවන්ගේ නිවහන කළේය. තම අතින් තේ කෝප්පය හදා, තම අතින් බත් උයා කවා පොවා, තම අතින් දරුවන්ගේ ඇඳුම් පැලඳුම් සෝදා උන්ගේ ජිවිත සුවපත්, පොහොසත් කරන්නට මේ අප්‍රමාණ සෙනෙහැති මිනිසා කළ මෙහෙවර ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයීය අතීතයේ නොමැකෙන ලෙස සටහන්ව ඇත. ඔහු සංගීතය පමණක් නොව දරුවන්ට ආදරයෙන් ජීවිතය කියා දුන් ආදරණීය ගුරුතුමා විය. සම්මානිත ගායන ශිල්පී හර්ෂණ දිසානායක සුනිල් දයානන්ද කෝණාරයන් සෙවණේ ශිල්ප ඥානය ලැබූවෙකි. මාධ්‍යවේදී නිශාන්ත කහවිට, සංගීතවේදී මහින්ද දිසානායක, ගායන ශිල්පී රොෂාන් ජයකොඩි, ගායන ශිල්පිනි හේමන්ති රණසිංහ, නාට්‍යවේදී පාලිත ලොකුපෝතාගම, සංගීතවේදී මහේෂ් විතාන, ගුවන්විදුලියේ ලලිත් වික්‍රමරත්න, ආනන්ද පද්මසිරි වැන්නෝ එතුමාගේ නම ගිය ගෝල බාලයෝය.

1982 වර්ෂයේ ගිරිඋල්ල වික්‍රමශිලාවට සංගීත ගුරුවරයෙකු ලෙස පැමිණෙන සුනිලුන් 2012 වර්ෂයේ තම ගුරු දිවියෙන් සමුගන්නේද එම විද්‍යාලයෙනි. එය ගුරුවරයකු ජිවිතයේ ලද ඉතා සුවිශේෂී අවස්ථාවකි. ඔහු අවසන් මොහොත දක්වාම මේ සමාජය සමඟ යාවත්කාලීන වූ හදවතින් තරුණයකු වූ මිනිසෙකි. ඔහු වියපත් වූයේ දැනුමින්ය. ඔහු සම්පූර්ණ වූයේ සුවිශේෂී දස්කම්වලින් සහ මිනිස්කමින්ය.

සිංහල ගී ගඟුලේ පිරිපුන්ව, පිරිසිදුව, සුසිනිඳුව, සුලලිතව, නිසංසලව ගලා ගිය මේ සුනිල දියවර 2016 දෙසැම්බර් 07 වැනි දා තම ගමන හිටි හැටියේ නතර කර දමන්නේ එතෙක් මෙතෙක් කාලය තුළ සිංහල සංගීත ක්ෂේත්‍රයයට ගිණිය නොහැකි, මිනිය නොහැකි අප්‍රමාණ දායකත්වයක් ලබා දෙමින් හා මතුවට සපුරාලිය නොහැකි අඩුවක් ඉතිරි කරමිනි. එවැනි සංගීතඥයකු ගේ පහළ වීම සිහිනයක් වන අතරම එවැනි බෝසත් ගුරුතුමකුගේ අඩුව මේ පොළොවේ යළිත් කිසි දිනෙක සම්පූර්ණ නොවනු ඇති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon