ආටිගල මිනීමැරුම සහ ජෝන් කොතලාවල දිවි නසා ගැනීම

  👤  6042 readers have read this article !
2017-12-10

පවුල් හටන ආරම්භයේ බරපතළ ගැටුමක් ඇතිවූයේ මුදලිඳු ඩී. සී. ජී. ආටිගල පවුල සහ ජෝන් කොතලාවල අතරය. මෙහිදී ජෝන් කොතලාවල නමින් හඳුන්වන්නේ අගමැති සර් ජෝන් කොතලාවලගේ පියාය. ආටිගල පවුලේ වැඩිමහල් දියණිය හා විවාහ වී සිටි ජෝන් කොතලාවල එම විවාහයේදී දායාදය වශයෙන් ලැබුණු රබර් හා පොල් අක්කර 2058ට අමතරව මුළු ආටිගල බූදලයම අල්ලා ගැනීමට උත්සාහ කළේය. මුදලිඳු ආටිගලගේ ඇවෑමෙන් ඔහුගේ දේපළ පාලනයට මැදිහත්වීමේ වාස්තවික තත්ත්වයක්ද නිර්මාණය වූයේ ආටිගල පවුලේ බාලයා වූ ප්‍රැන්සිස් ආටිගල බාල වයසේ පසු වූ නිසාය.

වයස 21 සම්පූර්ණ වී ප්‍රැන්සිස් ස්වකීය ව්‍යාපාර පරිපාලනයට බසිනා විට ඔහුට ඉඩදී ඉවත් වීමට ජෝන් කොතලාවල මැළිවිය. ආටිගල බූදලය ඩැහැ ගැනීමට තමාට ඇති එකම බාධකය ප්‍රැන්සිස් මස්සිනා බව කොතලාවල දැන සිටියේය. නොයෙක් ගැටුම් ඇතිවිය. ආටිගලට අයත් පතල්වල කම්කරුවෝ ප්‍රැන්සිස්ට කැමැති වූහ. මේ අතර ලීනා, ටී. ජී. ජයවර්ධන විවාහය සිදුවූ අතර ඇයට රබර්, පොල් අක්කර 2861 දායාදය වශයෙන් හිමිවිය. ඇලන් - ඇෆ්. ආර් සේනානායක විවාහයේදී ඇලන්ට තේ, රබර්, පොල් අක්කර 3027ක් හිමිවිය. කොතලාවල සමඟ අවුල මේ කාටත් තිබිණි. ආටිගල පවුලේ බාලයා වූ 20 හැවිරිදි ප්‍රැන්සිස් ආටිගල මරා දමන්නට කොතලාවල රහසිගතව සැලසුම් කළේය. ඔහු ඒ සඳහා යොදවා තිබුණේ වාද්දුවේ පදිංචි පිලෝරිස් ප්‍රනාන්දු නමැති 23 හැවිරිදි තරුණයෙකි. 'වොකර් ඇන්ඩ් සන්ස්' සමාගමෙන් තුවක්කුවක් ගැනීමට කොතලාවල පිලෝරිස්ට මුදල් දුන්නේය. 1906 නොවැම්බර් 16 දින තුවක්කුව ගත් ඔහු එය සඟවා තැබීය. කුමන්ත්‍රණයට කොතලාවලට හිතවත් සිංහෝන් පෙරේරා නම් පොලිස් පරීක්‍ෂකවරයකු සම්බන්ධ විය. 1906 දෙසැම්බර් 5දින ප්‍රැන්සිස් ආටිගලගේ ප්‍රසිස්පාක් නිවෙසට ගිය පිලෝරිස් රැකියාවක් සොයා පැමිණි බව මෙහෙකරු වූ බාරොන්ට දන්වා ඇත. එම පණිවුඩය පරිදි ආලින්දයට පැමිණි ප්‍රැන්සිස් ආටිගලට පිලෝරිස් වෙඩි තැබීය. දින දෙකකට පසු ඔහු රෝහලේදී මළේය.

කුමන්ත්‍රණයට අනුව ජෝන් කොතලාවල සතියකට ජපානයට ගියේය. අත්අඩංගුවට පත් පිලෝරිස් කුමන්ත්‍රණය හෙළි කළ බැවින් 1907 ජනවාරි 24 වැනිදා ජපානයේ සිට රත්මලානට ගොඩ බැස්ස ජෝන් කොතලාවල පොලිස් අධිකාරී හර්බට් ඩබ්බිගින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ආටිගල මිනීමැරුම නමින් එකල ප්‍රසිද්ධ වූ නඩු විභාගය ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ඉංග්‍රීසි කතා කරන ජූරියක් හමුවේ විභාග විය. ජෝන් කොතලාවල, සිංහෝන් පෙරේරා, පිලෝරිස් ප්‍රනාන්දු විත්තිකරුවෝ වූහ. 1907 අප්‍රේල් 15දා නඩු තීන්දුව ප්‍රකාශ කරන්නට පෙර ජෝන් කොතලාවල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී ආසනයිඩ් නමැති විස වර්ගය කෑමෙන් මරණයට පත්විය. ඔහු මාස දෙකක්ම වස බඳුන කෝට් අතේ සඟවාගෙන නඩුව යන අත ගැන සැලකිල්ලෙන් සිට ඇති බව පසුව හෙළිවිය. ප්‍රැන්සිස් ආටිගල මරා දැමීම සම්බන්ධයෙන් සිංහෝන් පෙරේරාට සහ පිලෝරිස් ප්‍රනාන්දුට මරණ දඬුවම් හිමිවිය. ජෝන් කොතලාවල සියදිවි හානිකර ගන්නා විට හිටපු අගමැති ජෝන් ලයනල් කොතලාවල එකොළොස් හැවිරිදි වියේ පසුවී ඇත. ඔහුට ජස්ටින් හා ප්‍රීඩා නමින් සහෝදරයෙක් හා සහෝදරියක්ද සිටි නමුත් ඔවුන් දේශපාලනයට එක්වී නැත.

මීරිගම බෝතලේ වලව්වේ එෆ්. ආර්. සේනානායක සර් ජෝන්ගේ පුංචි අම්මා වූ ඇලන් ආටිගල සමඟ විවාහ වීමත් සමඟ කොතලාවල-සේනානායක පවුල් සබඳතාව ගොඩනැඟිණි. එෆ්. ආර්. පවුලේ දේපොළ රැකබලා ගනිමින් සංවර්ධනය කළේය. සර් ජෝන් කොළඹ රාජකීය විද්‍යාලයේ උගත් අතර ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇන හිටියේ 1915දී එෆ්. ආර්. සේනානායක සිරගත වීම හේතුවෙනි. අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ නායකයන් රැසක් ඒ වකවානුවේ සිරගතවූ අතර ඔවුන්ට ආහාර රැගෙන කොතලාවල දිනපතා සිරගෙදර ගියේය.

කොතලාවලගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත්වූ එෆ්. ආර්. සේනානායක සිරෙන් නිදහස්ව පැමිණ නොබෝ දිනකින් කොතලාවල ලන්ඩනයේ ක්‍රිස්තු විද්‍යාලයට ඇතුළත් කළේය. එය කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය යටතේ පාලනය වූවකි. කොතලාවල අධ්‍යාපනය හමාර කොට ආපසු පැමිණියේ වසර 5කට පසුය. පැමිණි වහාම ඔහු යුද්ධ හමුදාවට බැඳුණේය. ඔහුගේ හමුදා සේවය වසර 23කි. එය අවසන් වූයේ සේනාධිනායක තනතුර දක්වා ඉහළ යෑමෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon