කවියන් කවි ලියන්නේ සංස්කාර ධර්ම ගැනම නොවේ

  👤  4667 readers have read this article !
2017-12-10

නීතිඥ :- 'කැවුම' කියා තියෙන්නේ මොකක්ද?
මලල්ගොඩ :- ලජ්ජාව!

තමාගේ කවිය පිළිබඳ ප්‍රශ්න කරනු ලදුව මලල්ගොඩ මහතා ඒවායේ වචනවල අර්ථ දැක්වීය.
ඔහු පොත් ලියුවේ සියල්ලන් විසින්ම කියවනු සඳහාය. ඒවා හබරාදුව හෝ යම් කිසි ප්‍රදේශයකට නොව මුළු රටටම ලියන ලද පොත්ය.
'කැවුං' යන වචනය ලජ්ජාව යන අර්ථයට යොදන්නේ වන්නි ප්‍රදේශයේය. ඔහු පොත ලියුවේ අනුරාධපුරයේදීය. පන්සලේදීය.
මහෙස්ත්‍රාත්තුමා :- ඔබ හාමුදුරු කෙනකු වී සිටිය දී?

මලල්ගොඩ :- ඔව්.
මහෙස්ත්‍රාත්තුමා :- 'ලජ්ජාව' කියන තේරුම 'කැවුං' යන වචනෙට කොහේද යෙදිල තියෙන්නේ?
මලල්ගොඩ :- වන්නිය පළාතේ උදවිය නෑ මිතුරන්ගේ ගෙවල්වල මඟුල්තුලා සඳහා යන්න බැරි වුණාම කියනවා 'කැවුං' පිණිසවත් යන්න බැරි වුණාය කියා.
නීතිඥ :- 'කැවුම' යනුවෙන් අදහස් කළේ ස්ත්‍රියකගේ රහස් ප්‍රදේශය නෙවෙයිද?
මලල්ගොඩ :- නෑ නෑ අපොයි නෑ.

නීතිඥ :- "නුවරම තුන් දෙනයි අට දෙනකි යාපනේ" " දිවයින අගමැතිට තුන් මසට දා වුණේ" යි කියන තැන දා වීම යන්නේ තේරුම මොකක්ද?
මලල්ගොඩ :- ජාතක වීම.
නීතිඥ :- කවුද ජාතක වුණේ?
මලල්ගොඩ :- දේශපාලන වශයෙන් පක්ෂපාත උදවිය.

නීතිඥ :- ඊළඟ පදයේ "තව කී දෙනෙක් කී පොළකදැයි නෑ අනේ" යන්නේ අදහස?
මලල්ගොඩ :- තව කොයි කොයි ප්‍රදේශවල තව ආණ්ඩු පාක්ෂිකයන් කොතරම් දැයි නොදන්නා බව.
නීතිඥ :- ඊළඟ පදයත් කියවන්න?

මලල්ගොඩ :- "ඉවසමු මිනහගේ උප්පත්ති පාලනේ"
නීතීඥ :- මේ කවිය ලිව්වෙත් පන්සලේදීමද?
මලල්ගොඩ :- එසේමයි.
නීතිඥ :- ශාරීරික ජාතක කිරීමටත් පාවිච්චි කරන්නෙත් මේ වචනෙමයි?

මලල්ගොඩ :- ඔව්, නමුත් කවියන් කවි ලියන්නෙ සංස්කාර ධර්ම ගැන නොවෙයි. මේක දේශපාලන බෝ කිරීමක් ගැනයි මා කියල තියෙන්නෙ.
නීතිඥ :- මොකක්ද ඔබ කියන්න හදන දේශපාලන බෝ කිරීම?
මලල්ගොඩ :- මා පැහැදිලි කරන්නද?
නීතිඥ :- හොඳයි?

මලල්ගොඩ :- ඒ කාලෙ හිටපු අගමැති උප්පත්ති පාලනය ගැන කතා කරපු කෙනෙක්. එයා දකුණේ සිංහල මිනිසුනට උප්පත්ති පාලනේ ගැන කතා කරන අතර යාපනේට ගොස් ඔහුගේ පක්ෂයට දෙමළ මිනිසුන් වැඩි වැඩිය බඳවා ගැනීම සඳහා දෙමළ නායකයන් අට දෙනකු සමඟ සාකච්ඡා කළා. අන්න ඒකයි මා අදහස් කළ දේශපාලන බෝවිල්ල.
නීතිඥ :- ඔබතමා දක්ෂම කවියා.

මලල්ගොඩ :- අසභ්‍ය කවි ලියන්න නොවේ. අසභ්‍ය කවි ලියන්න නම් ඉතාමත් දක්ෂ කවිකාරිය විමලා විජයවර්ධනයි.
නීතිඥ :- කොතලා වලා යන්නෙන් ඔබ අදහස් කළේ කවුද?
මලල්ගොඩ :- කොතලාවල.

නීතිඥ :- ඔබ එතැන ඔහුට 'වලා' කියා තිබෙනවා?
මලල්ගොඩ :- වැදගත් මිනිසුන්ට අපහාස කරන්න එපා මා එහෙම කියල නෑ කොතැනකවත්.
නීතිඥ :- 'කොතලා වලා' කීවෙ මොකටද?

මලල්ගොඩ :- ඇලපිල්ල යෙදුවෙ නැත්නම් මාත්‍රාවක් අඩුවෙනවා. එහෙම වුණාම කවිය කවියක් හැටියට කියන්න බෑ.
නීතිඥ :- ඔබ ඇලපිල්ල යොදල තියෙන්නෙ වල් අදහසකින්?
මලල්ගොඩ :- වල් අය එහෙම හිතනව ඇති. මා එහෙම අදහස් කළේ නෑ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon