උතුමාණනි, රජු දැන් අපේ සිරකරුවෙකි

  👤  4837 readers have read this article !
2017-12-10

උතුමාණනි,
රජුගේ ධාන්‍යාගාරය
තෙල්දෙණිය,

1815 පෙබරවාරි 18
ඊයේ ඉදිරියට ගමන් කළ කණ්ඩායම රාත්‍රියේ මෙහි නතර විය. කාලයෙන් අඩකටත් වඩා තද වැසි නිසා පමා වන්නට සිදුවිය. අපේ හේවා කණ්ඩායම තෙල්දෙණියට ළඟා වන බව අසා රජු ඊයේ සවස මැද මහනුවරින් පලාගිය බව අසන්නට ලැබිණි. මැද මහනුවර කිට්ටුව ගම් දෙකක වැසියෝ අපට හමුවී සහයෝගය දෙන බව පැවැසූහ. උඩරැටියෝ කිහිපදෙනකු ආයුධ සන්නද්ධව මුර සේවයේ යෙදෙති. නමුත් රජු බේරී යන්නට ඇතැයි මට සිතේ.

අපි උවමනාවෙන්ම ඉතා හෙමින් ගමන් ආරම්භ කරන්නෙමු. මන්ද රජු ළඟාවීමට ඉඩ ඇති මීමුරේ දක්වා යෑමට අපේ හේවායන්ට කාලය දිය යුතු නිසාය. රජුගේ ඥාතීන් සහ නුවර වාසලේ සිටි රජුගෙන් යැපුණු මලබාර්වරු දැන් විසිරී ගොස් සිටිත්. සමහර විට ඔවුන් අපේ සීමාවේ ආරක්‍ෂාව සොයනු ඇත.
නුවර සිට පැමිණෙන සංක්‍රමණිකයන් ගැන අනලස්වම පරීක්‍ෂණ පැවැත්වීමට ඉතා ඉක්මනින් අණ දිය යුතු බව මම බලවත් ලෙසින් නිර්දේශ කරමි. මොල්ලිගොඩ මහ අදිකාරම්තුමා මගේ ඉල්ලීමට අනුව ඉක්මනින්ම සතර කෝරලේ උෟව යන ප්‍රදේශවල රාජකීය ධාන්‍යාගාර අපගේ ගබඩාවලට එකතු කිරීමට අණ දුන්නේය. මෙම ධාන්‍යාගාරයක ඇති එක් කාමරයක පොළොව යට වළලා ඇති බව කියන තඹ නිධානයක තොරතුරු ලැබී ඇත. එය හෑරීම සඳහා ආධුනික භටයන් යෙදෙව්වෙමි. දැනට අඩි පහක් පමණ හාරා තිබේ. නිධානය වසා ඇති බව කියන කළුගල් ලෑල්ලට ළඟා වීමට තවත් අඩි තුනක්වත් හෑරීමට සිදුවනු ඇත. පොළොවේ හෑරෙන පස අලුත් බව හොඳින් පෙනෙන නිසා අපගේ අදහස නිවැරැදි යැයි සිතේ. තඹ කාසි නියම ලෙස හමුවූ වහාම මම නැවතත් උතුමාණන්ට ලියමි. අප පොළොව හාරමින් සිටින්නේ අඩි 9×6 කළුගල් ලෑල්ල හමුවන බලාපොරොත්තුවෙනි. මේ කටයුත්ත අවසන් කිරීමට තවත් කොපමණ වේලාව ගත වේ දැයි කියන්නට බැරිය.

මීට ස්වල්ප වේලාවකට පෙර මිනිසුන් පස් දෙනකු මෙහි පැමිණියේය. තෙල්දෙණියේ සිට ලීග 6ක් දුරින් වනයේ රජු සිටින බව ඔවුහු පවසති. මෙය සත්‍යයක් යැයි මම විශ්වාස නොකරමි. ඔවුන් ඉල්ලා සිටින්නේ රජු පැන යෑමට ප්‍රථම අල්ලා ගන්නට නම් දැන්ම කණ්ඩායමක් එහි යැවිය යුතු බවය. කෙසේ වුවත් සටන එක්වරම අවසන් කළ යුතුය යන්න මගේ අදහසය. පගෝදි බෑගයකුත් රැගෙන බාන්ස් මහතා පැමිණ සිටී. ඉන් වැඩි කොටසක් මට ලැබුණොත් හොඳය. අපගේ ප්‍රයෝජනවත් කටයුතු සඳහා වියදම් දෙන්නට සිදුවන අවස්ථා බොහෝය.

1815 පෙබරවාරි 19
රජුගේ ධාන්‍යාගාරය
තෙල්දෙණිය
උතුමාණනි,

ඔබතුමාගේ අභිලාෂය මස්තකප්‍රාප්ත වූ බව හෘදයාංගම තෘප්තියෙන් යුක්තව වාර්තා කරමි. ඒ මක් නිසාද යත් කන්දේ නුවර රජු මේ මොහොතේ සිරකරුවකු ලෙස අප අතේ සිටීම නිසාය. දුම්බර වැසියෝ ඊයේ 18 වැනිදා ඔහු වට කළෝය. එසේ කරන ලද්දේ මැද මහනුවර අධිකාරම විසින් යවන ලද ආයුධ සන්නද්ධ උඩරට වැසියන් සමූහයක් විසිනි. රජු සහ බිසෝවුන් දෙදෙනකු අල්ලා ගන්නා ලද්දේ උඩුපිටිය ආරච්චි නිවෙසේ සිටියදීය. කළුවර වැටීමට පැයකට පෙර අල්ලා ගැනීම සිදුවිය. එම ස්ථානය මැද මහනුවර සිට සැතපුමක් දුර ගල්ලැහැවත්ත නම් වේ. ගෙය වටකළ විට කීපදෙනකු විරුද්ධත්වය පෑ නිසා මිනිසුන් දෙතුන් දෙනකුට තුවාල සිදුවිය. එහෙත් වෙඩි කිහිපයක් තැබූ පසු විරුද්ධත්වය පෑ පිරිස පලා ගියෝය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon