හිරු උදාවන තුරුම ප්‍රභාකරන් කතා කළේ මරණය හා පළිගැනීම ගැනය

  👤  6689 readers have read this article !
2017-12-10

දිලීපන්ගේ මළගමින් පසු දෙසතියක් ගෙවී තිබිණි. ඉහළ තනතුරුවල සිටි කොටි සාමාජිකයන් දහ හත් දෙනකු නාවුක හමුදා අත්අඩංගුවේ සිටියදී සයනයිඩ් ගිල සිය දිවි නසා ගන්නට උත්සාහ ගත් ආරංචිය රට පුරා පැතිර ගියේය. ඔවුන්ගෙන් ‍ෙදාළොස් දෙනකු මිය ගොසිනි. ඔවුන් අල්වාගනු ලැබුවේ මුහුදෙන් අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදීය. එම අවි ගෙන එමින් තිබුණේ කොළඹට ප්‍රවාහනය කොට විනාශයක් සිදු කරනු සඳහාය.

නමුත් සාම ගිවිසුම සමයේ ඔවුන් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. කෙසේ නමුත් සාම සාධක හමුදාවට පවා ඔවුන් නිර්දෝෂී කළ නොහැකි විය. එබැවින් ඔවුහු තමා අත්අඩංගුවට ගැනීම පිළිබඳ විරෝධය දක්වමින් සයනයිඩ් කරලේ පිහිට සෙවූහ.
එදිනම හැන්දෑවේ බයිසිකල්වල නැඟී කාංචනා සහ අජන්ති මා බලන්නට පැමිණියහ. අප සියලු දෙනාම 'ෆී්‍රඩම් බර්ඩ්ස්' ප්‍රධාන කාර්යාලයට රැස් විය යුතු බව ප්‍රභාකරන් දන්වා තිබිණි.

යුද්ධය නැවත ආරම්භ වනු ඇත. අප සියලු දෙනා වඩාත් හොඳින් සංවිධානය විය යුතුය. අම්මා, කොළඹ ආන්ටි සහ මගේ යෙහෙළියෝ කතා බහක යෙදී සිටියහ. ඒ අතරතුර කමිස දෙකක්, කලිසම් සහ යට ඇඳුම් කිහිපයක් කුඩා බෑගයක අසුරා නිවෙසින් පිට කර ගැනීමට මම සමත් වූයෙමි.
මා එහි යන විට බොහෝ මිතුරු මිතුරියෝ එහි රැස්ව සිටියහ. අජන්ති මා වෙතට දිවැවිත් මා වැලඳ ගත්තාය.
"මට ඔයාගෙ අම්මට බොරු කියලා ආපසු හිතින් දුක් විඳින්ඩ බෑ. ඒකයි ඔයාව එක්ක එන්ඩ ආවේ නැත්තේ."

ආපසු හෙහෙළියන් අතරට පැමිණීම පිළිබඳ මට කිසියම් සතුටක් ද දැනිණි. අජන්ති හා මා නැවතත් එක්ව සටන් බිමට...
ප්‍රභාකරන් පැමිණෙන වේලාව අප දැන සිටියේ නැත. එතෙක් ඉහළ මාලයට ගොස් ඡායාරූප පොත් බලන්නට යෝජනා කළේ කාංචනාය.
දහස් ගණන් ඡායාරූප එහි විය. කොටි බලධරයන් ඉන්දියාවේ දී ගත් ඡායාරූප එහි බොහෝ තිබිණි. ඔවුන්ගේ එදිනෙදා ජීවිත මෙන්ම පුහුණු කටයුතුද රූගත කළ විඩියෝපටද එහි එපමණටම තිබිණි. එතරම් විශාල ප්‍රමාණයක් ඡායාරූප සමඟ ඉන්දියාව හැර ආ එකම ගරිල්ලා නායකයා ප්‍රභාකරන් විය යුතුය. ප්‍රබල අවි අත දරා සාඩම්බරව කැමරාවට මුහුණ දෙන්නට ඔහු මහත් ඇල්මක් දක්වා ඇති සේය. ධ්‍යානයකට සම වැදුණාක් මෙන් විශාල ගස් දෙස දෑස් දල්වාගෙන හෝ ගස් අතර තැනූ පැද්දෙන ඇඳන් මත වැතිරගෙන නැතහොත් ඔහුගේ ලජ්ජාශීලි මනාලිය හෝ කොටි සගයන් සමඟ ඔහු ගෙන තිබූ පින්තූර අප්‍රමාණ විය. ඒ සියල්ලම ඉන්දියාවේදී ගත් ඒවාය.

මේ අතර රොෂාන්ගේ ඡායාරූප ඇල්මයක්ද කාංචනාට හමු විය.
"මේ බලන්න නිරෝමි, මුළු ඇල්බම් එකේම ඉන්නෙ රොෂාන්, ඔයාගේ මනුස්සයා ඔයාට වගේම එයාටත් ආදරෙයි වගේ."
කාංචනා පොත පිරික්සා බලමින් කීවාය.
"එයා මගේ මනුස්සයා නෙවෙයි කාංචනා. කොහොම වුණත් ඇයි මේ මිනිස්සු මෙච්චර කැමැති ආයුධත් එක්ක ෆොටෝවලට පෙනී සිටින්න. ඒ අය නිකම්ම චෝදනාවලට අහුවෙනවනේ."

"ආ... මෙයාට ඕනවෙලා තියන්නෙ රොෂාන්ව ආරක්ෂා කරගන්න එක." ඒ අජන්තිය.
"යුද්ධෙ ඉවර වුණාම අම්මාගෙන් අවසර අරගෙන උඹ රොෂාන්ව බැඳගනින්."
කාංචනා අවවාද කළාය.
"උඹලගෙ පවුල තරම් නම් හොඳ මදි රොෂාන්ලගේ පවුලේ තත්ත්වය. මං හිතන්නෙ කුලෙනුත් අඩුයි. අනෙක එයා හින්දු. ඔයා කතෝලික. හැබැයි උඹල දෙන්නා එකතු වුණොත් අපේ සමාජෙට හැබෑ වෙනසක්...!

ඇය මේ මට විහිළු කරනවා පමණක් නොවිය යුතුය. ඇගේ වචන බරපතළ විය.
"ආගම් අතර සම්බන්ධතාවන්ගෙන් බිහිවූ අපූරු ආදරයක්...!
මා පැවැසුවේ උදාරම් ලෙසය.

"ඉන් පස්සේ ඇති වන ප්‍රශ්න ඊට වඩා බරපතළ වේවි. ඇරත් කසාද බඳින්න වුවමනාවක් තිබුණා නම් මම මේ යුද්ධෙකට යා වෙන්නෙ නෑ."
ඒ මොහොතේ ප්‍රභාකරන්ගේ ජීප් රියේ හඬ ඇසුණි. වේලාව පාන්දර දෙකට ආසන්න විය.
"සටන් විරාමය වෙලත් දවල්ට තියන්න බැරිද මේ රැස්වීම්?"

අජන්ති මුමුනා කීවාය. සියල්ලෝ පහළට බසින්නට යුහුසුලු වූහ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම කිසිවකුටත් නොපෙනෙන්නට රොෂාන්ගේ ඡායාරූපයක් ගලවා බෑගයෙහි දමා ගතිමි. ඒකේ-47 ආයුධයක් රැගෙන රොෂාන් එහි පෙනී සිටියේ මහත් සේ මුරණ්ඩු ස්වරූපයකිනි.
ප්‍රභාකරන් සුපුරුදු පරිදි සුදු අත්කොට කමිසයක් හා කළු කලිසමකින් සැරසීගෙන පිරිවර සමඟ නිවෙසට ඇතුළු විය. අප ඔහු ඉදිරියේ ගෙබිම වාඩි වූයේ නිදි කිරා වැටෙමිනි. එහෙත් ප්‍රභාකරන් සිටියේ මහත් තේජස් විලාශයෙනි.

"අපට හිටි හොඳම කොල්ලො ටිකක් නැති වුණේ බොහොම ලොකු පාඩුවක්!"
නිසල රාත්‍රියේ ඔහුගේ ගැඹුරු හඬ ගිගුම් දුන්නේය.
යුද්ධ කාලෙ නැති වුණාටත් වඩා සටන් විරාමයේදී අපිට අපේ කොල්ලෝ නැති වුණා. සාම ගිවිසුම යටතේ ඉන්දියන් ආණ්ඩුව හෙමින් සැරේ අපිව අඩපණ කරන්ඩයි උත්සාහ කරන්නේ. මේ මැරෙන මිනිස්සු වෙනුවෙන් අපි පළිය ගන්න ඕනෑ. සාම ගිවිසුම ඉස්සරහට දාලා අපේ භූමියට අයිතිවාසිකම් කියාගෙන එන ඕන සිංහලයෙක් ඉවර කරල දාන්ඩයි කියලා මම ඊයේ අපේ කොල්ලන්ට නියෝග කළා."

වැකියක් ගාණේ ඔහුගේ මුහුණ පුරා වෛරය උතුරා යන අයුරු මම දුටුවෙමි.
"එසේ නම් කොටි සෙබළුන් විසින් බෞද්ධ ස්වාමින් වහන්සේලා සහ යාපනයට පැමිණෙන අනෙකුත් සිංහල සංචාරකයන් මරා දමනු ලබාවිද?"
"ළමයි." මගේ කල්පනාවලිය බිඳ වැටිණි.

"දුක තුනී කරගන්න කඳුළු හෙළන්න එපා කවදාවත්, බාලාපොරොත්තු බිඳ වැටීම් තරහවකට හරවා ගන්ඩ, තරහව හිර කරලා පුරෝගෙන අවශ්‍ය වෙලාවට පුපුරවලා දමන්න...! සතුරා මගේ මිනිස්සු දහසක් මැරුවොත් මං උන්ගෙ මිනිස්සු දහ දාහකගෙ ඔළු ගෙඩි කපල දානවා."

ඔහු උදෑසන වන තුරුම කතා කළේය. වඩාත්ම කතා කළේ මරණය සහ පළිගැනීම පිළිබඳය. ඔහු එතරම් අමනාපයකින් පසුවනු මා ඊට කලින් දැක තිබුණේ නැත. සැබෑ ප්‍රභාරකරන් මා හඳුනා ගත්තේ එදාය. මට කිසියම් බියක්ද නොදැනුණා නොවේ. කෙසේ වෙතත් මා ප්‍රිය කළේ සතුටින් සිටින ප්‍රභාකරන්ය. ඔහු පිටත්ව ගියේ උදෑසනය. මියගිය කොටි සෙබළුන්ගේ අවමඟුල් උත්සවවලින් පසුව යුද්ධය ආරම්භ වන බව ඔහු දැනුම් දුන්නේය. බෑගයත් රැගෙන නිවෙසට ගොස් නැවත දන්වන තුරු සිටින්නෙ මැයි මම තීරණය කළෙමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon