සජින්-සරණ හා ‘ක්‍රමය’

  👤  2824 readers have read this article !
2017-12-11

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටියදී වත්කම් ප්‍රකාශයට පත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධනට ගරු අධිකරණය මඟින් රුපියල් දහසක දඩයක් නියම කළේ ඉකුත් සතියේදීය. අල්ලස් පනත යටතේ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු මන්ත්‍රිවරයාට එරෙහිව නඩු පවරා තිබිණි. වත්කම් හෙළි කළ යුතු නිලධාරියකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස සජින් වාස් ගුණවර්ධන 2011-2012 වසර සඳහා සිය වත්කම් හා බැරකම් හෙළි කර තිබුණේ නැත.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ සරණ ගුණවර්ධනට ගරු අධිකරණය රුපියල් 2,000ක දඩයක් මීට ඉහතදී නියම කළේද අදාළ චෝදනාවටම වැරැදිකරු වීම නිසාය. ගුණවර්ධන මහතාද ගරු අධිකරණය ඉදිරියේ වරද පිළිගනු ලැබුවේය.

සජින් වාස් ගුණවර්ධනට මෙන්ම සරණ ගුණවර්ධනට (සහෝදරයන් නොවේ) චෝදනා ගොනු කිරීමේ සිට වරද පිළිගැනීම දක්වා වූ කාලයේදී ජනතාවගේ බදු මුදලින් අදාළ නඩු සඳහා වැයවූ මුදල රුපියල් දෙදහසකට වඩා වැඩිය. සරණ මෙන්ම සජින් ද වරද පිළිගෙන සොච්චම් දඩය ගෙවා සිනාමුසු මුහුණින් ගෙදර ගියේ වීරයන් මෙනි.
සජින් වාස් ගුණවර්ධනට නියම කෙරුණේ රුපියල් දහසක් බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ සවුත්තුවටය. ඉන් අවධාරණය කෙරුණේ මෙවැනි බරපතළ වංචාවක් කළාම දඩය මෙතරම් සොච්චමක්ද යන්නය. ඇතැමුන් ඇඟිල්ල දිගු කළේ ආණ්ඩුවටය. හරියට ආණ්ඩුව අධිකරණයට කියා දඩය රුපියල් දහස කළා වගේය. ඇත්ත කතාව දඬුවම් පැමිණවීම් හා දඩ මුදල් ගැන ඇතැම් විට තීරණය ගෙන මීට දශක ගණනකට ඉහතදීය. ඒවා මෙතෙක් යාවත්කාලීන කර නැත. අදාළ නීති රෙගුලාසි ගැන සොයා බැලීමට කිසිවකුට වුවමනාවක් තිබෙන බවක් නොපෙනේ. ඇතැම් මාධ්‍ය සොච්චම් දඩය ගැන උපහාසයෙන් වාර්තා කළද දශක ගණනක් පුරා මේ 'දඩය' නොවෙනස්ව තබා ගත්තේ මන්දැයි පාලකයන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සකස් කළ අතුරු කමිටු වාර්තාවේ ඇති යෝජනා පමණක් නොව නැති යෝජනා ගැනද ඝෝෂා කරන කිසිවකු මෙවැනි යල්පැන ගිය නීති රීති වෙනස් කිරීම ගැන කතා නොකරයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඇති ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අයිතිය නව ව්‍යවස්ථාවෙන් අහෝසි කර දැමීමට ඔවුහු යෝජනා නොකරති. මහජන නියෝජිතයන් කියා ගන්නා මන්ත්‍රිවරුන් මෙතරම් ජරාජීර්ණ වී ඇත්තේ මේ 'නිදහස' නිසාය.

ඊට වැට නොබැඳ අල්ලස දූෂණය ගැන මොරදෙමින් පොළොවේ හැපුණාට වැඩක් නැත. මැරිලා ඉපදුණා වගේ හැසිරෙමින් 'දඩය මේ තරම් සොච්චමක් දැයි ඇසුවාට ඉන් ජනතාවට ඇත්ත යුත්ත පැහැදිලි නොවේ. එදා මෙන්ම අදත් අධිකරණය දේශපාලනඥයන්ගේ හස්තයට හසු වී ඇත. ඒ මදිවට නීතියද ඔවුන්ට අවශ්‍ය විදියට නවයි. කෝටි ගණන් වත්කම් හෙළි නොකිරීමේ වරද පිළිගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන රුපියල් දහසක් ගෙවා ගෙදර ගියේ මේ ක්‍රමයේ වරද නිසා මිස ආණ්ඩුවක වරද නිසා නොවේ.

සුද්ද පවිත්‍ර කරනවා යැයි පොරොන්දු වී බලය ඉල්ලා ගත්තද එදා මෙදා තුර සෑම ආණ්ඩුවක්ම කළේ ඉහගෙන කෑමට අවශ්‍ය නිසා 'ක්‍රමය' නමැති පල්වළ ආරක්ෂා කරගැනීමය.
පල්හොරුන් කිසිදු දිනෙක සාන්තුවරයෝ නොවෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්