දුම්රිය පීලි පනීද?

  👤  4131 readers have read this article !
2017-12-12

ඉකුත් සතියේ 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය විසඳුමක් නොමැතිව තවදුරටත් දිග්ගැස්සෙද්දී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය පියවර ගත්තේය. එහි අරමුණ වැඩ වර්ජනය නිසා සිදුවන මහජන පීඩාව අවම කිරීම විය යුතුය. අදාළ ගැසට් නිවේදනයට අනුව සේවක නිවාඩු අවලංගු කර ඇති අතර, සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය අතහැර ගියා සේ සලකන බව සඳහන් ලිපි යවා තිබේ. අලුතෙන් දුම්රිය රියැදුරන් පහළොස් දෙනකු බඳවා ගැනීමට පියවර ගත් බවද ඊයේ පස්වරුවේ දැනගන්නට ලැබිණි.

වැඩ වර්ජනය ඇරැඹුණේ දුම්රිය සහායකයන් බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළ කරමින් වුවද පසුව වැටුප් විසමතාවක් මුල් කර ගනිමින් තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයට එක්වීමෙන් ප්‍රශ්නය දිග්ගැස්සී ගියේය.
මේ වැඩ වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන දෛනික පාඩුව රුපියල් ලක්ෂ 150කි. මුළුමනින්ම පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි වර්ජන ඔරොත්තු දෙන්නේ නැත. බලධාරීන් මෙන්ම සේවකයන්ද මේ කාරණය සැලකිල්ලට ගත යුතුයි.

වඩාත්ම වැදගත් කාරණය වන්නේ පාඩුව නොවේ. මෙයින් මගී ජනතාව විඳින දුෂ්කරතාවයි. ගණනය කළ නොහැකිය. අද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඇරැඹෙයි. සිසුන් පත්වන දුෂ්කරතාව සලකා වැඩ වර්ජනය අත්හිටුවන ලෙසට රජය කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් වර්ජකයන්ගෙන් ලැබී නැත. වැඩ වර්ජනයට නායකත්වය දෙන වෘත්තීය සමිති පවසන්නේ මර්දන ක්‍රියාමාර්ගවලින් සිදුවන්නේ විසඳුමකට යෑමට තිබෙන අවස්ථාව අහිමි වන බවය. සාමාන්‍ය පෙළ විභාගය ගැන සලකා තාවකාලිකව හෝ වැඩ වර්ජනය අත්හිටුවීමට පියවර ගන්නේ නම් එය වැදගත්ය. මස් රාත්තලම ඉල්ලීම නොව වෘත්තීය සමිති කළ යුත්තේ මේ අවස්ථාවේ පොදු ජනතාවට විඳීමට සිදුව ඇති පීඩාව හා දුම්රිය දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව ඇති පාඩුව ගැන සිතීමය.

ප්‍රවාහන ඇමැතිවරයා පවසන්නේ වැටුප් විසමතා ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ඇමැති මණ්ඩලය විසින් වැඩිදුර නිර්දේශ ලබා ගැනීමට උපදේශක කාරක සභාවට යොමු කර ඇති බවත්ය. වෘත්තීය සමිති වැඩ වර්ජනයට යෑමට පෙර මේ ගැන ඔවුන් සමඟ ඇමැතිවරයා සාකච්ඡා කළා දැයි කියන්න දන්නේ නැත. සාකච්ඡා කළා නම් හදිසියේ වැඩ වර්ජනයකට යෑමට සමිති පියවර ගැනීම වැරැදිය. දෝෂය කාගේ වුවද 'පඩිපත' වැඩි කර ගැනීමට දුම්රිය සේවකයන් එකා මෙන් සටනට පිවිසියද "සේවය" ඉටු කිරීමේදී නම් එවැනි එකමුතුවක් පෙනෙන්නේ නැත. දුම්රිය වැඩ වර්ජනය නිමා කිරීමේ වගකීම රජයට මෙන්ම වර්ජකයන්ටද තිබේ. සාකච්ඡා ඵල දරන තුරු මගී ජනතාව දුෂ්කරතා විඳිය යුතු නැත. ඒ බව දෙපාර්ශ්වයම තේරුම් ගත යුතුය. විදුලි සේවකයන්ද වැඩ වර්ජනයක් අරඹන බවට අනතුරු අඟවා ඇත. ඡන්දයක් ළඟ එන බැවින් වෘත්තීය සමිති සැරසෙන්නේ කේවල් කිරීමට බව පැහැදිලිය. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී ඇති රටක වෘත්තීය සමිතිද සිතීම අවශ්‍යය. ශ්‍රම හමුදාවේ බහුතරයක් වන පෞද්ගලික අංශයේ සේවකයන්ට නැති වරප්‍රසාද රජයේ සේවකයන්ට තිබේ. හිතුමනාපයට පාවිච්චි කිරීමට වැඩ වර්ජන අවියද ඔවුන් සතුව ඇත. එසේ තිබියදී වැඩ වර්ජනවලට පෙර රජයේ සේවකයන් දෙවරක් නොව තෙවරක් සිතිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon