මාගම්පුර කොමළියේ ඉතින් ආයුබෝවන්!

  👤  4423 readers have read this article !
2017-12-12

මෑත කාලයේ අප දුටු අප්‍රසන්නම ඡායාරූපයක් පසුගිය සතියේ මාධ්‍යවලින් දැකගන්නට ලැබිණි. එහි සිටියේ රටේ ආර්ථික මර්මස්ථානයක් ලෙස ආර්ථිකය ගැන දැනුමක් තේරුමක් ඇති ඕනෑම අයෙක් පිළිගන්නා හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දී ලබාගත් පළමු වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 292ක චෙක්පතක් ඔසවාගෙන උදම් අනන අපේ රටේ නායකයන් පිරිසකි.

අතීතයේ අපේ නායකයෝ ආඩම්බරයෙන් සැමරුවේ රටට යමක් දායාද කළ අවස්ථාවන්ය. නිදහසින් පසු රට පාලනය කළ විවිධ පක්ෂවල නායකයෝ රටේ යටිතල පහසුකම් ගොඩනැඟීමට උත්සුක වූහ. ඩී. එස්. සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වැනි නායකයෝ රටට සම්පත් උරුම කළ නායකයන්ය. ඔවුන් සැමරුවේ වාරිකර්මාන්ත ව්‍යාපෘති, බලාගාර, මහා මාර්ග, අධිවේගී මාර්ග, පාලම්, වේලි, වැව් අමුණු, වරාය, ගුවන් තොටුපොළ, පාසල්, රෝහල්, නව නගර ඉදිකොට ඒවා ජනසතු කරන අවස්ථාවන්ය. ඔවුන් සැබැවින්ම ආඩම්බර වූයේ තම පාලන කාලය තුළ අනාගත පරපුර වෙනුවෙන් යමක් ගොඩනඟන්නට ලද අවස්ථාව ගැනය.
එහෙත් පසුගිය සතියේ අප දුටුවේ අනාගත පරපුරට අයිතිව තිබූ ජාතික සම්පතක් සොච්චම් මුදලකට විකුණාගෙන එහි සතුට දරාගත නොහැකිව කැමරාව ඉදිරියේ නාඩගම් නටන නායකයන් පිරිසකි. නායකයන්ට වඩා එම හැසිරීම තුළ ඔවුන් දිස් වුණේ විකටයන් පිරිසක් ලෙසය.

ජාතික සම්පත් විකුණා එදා වේල ජීවත්වීම සිය මූලික ආර්ථීක ප්‍රතිපත්තිය කරගත් වත්මන් ආණ්ඩුව මේ වන විට හම්බන්තොට මාගම්පුර වරාය ජාතියට අහිමි කොට අවසන්ය. හෙට අනිද්දා මත්තල ගුවන් තොටුපොළ ද විදේශිකයන්ට බදු දෙන බව කවුරුත් දනිති. චීනයට හම්බන්තොට දුන්නාට හිලව් වන්නට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දෙන්නට පොරොන්දු වී ඇති බව ඉන්දියානු මාධ්‍යවලම දැනටමත් කියැවේ.

දැනට වරාය අධිකාරිය මඟින් පාලනය වන කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයටද මේ විකුණුම්කරුවන් ඇස ගසා ඇති බව පසුගිය දිනෙක රූපවාහිනි වැඩසටහනකට පැමිණි වරාය ඇමැතිවරයාගේ ප්‍රකාශවලින්ම පෙනී යයි. හයට් හා හිල්ටන් හෝටල්, ලංකා හොස්පිටල් රෝහල හා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ආණ්ඩුව දැනටමත් ලංසු කැඳවා ඇති බවක් කියැවේ. මේ ආකාරයට සම්පත් විකිණීම අවසන් වන්නේ කොතැනින්ද කියා රටට ආදරය කරන ජනතාව බිය වී සිටිති.

තමුන්ට පෙර පැවැති ආණ්ඩු විසින් ගොඩනැඟූ ජාතික සම්පත් දිගින් දිගටම විකුණා දමන වත්මන් ආණ්ඩුව අපට මතක් කරන්නේ පරම්පරාවෙන් ආ දේපළ වතුපිටි විකුණන් කා අන්තිමේදී පාරට වැටුණු පරණ වලව්කාරයන්වය. නමුත් ආණ්ඩුවේ නායකයන් එම වලව්කාරයන්ට සම කළ නොහැක්කේ බංකොලොත් වූ වලව්කාරයන් විකුණුවේ තමන්ගේ පරම්පරාවේ දේපළ බැවිනි. මොවුන් විකුණන්නේ තමුන්ගේ අම්මා අප්පා දුන් දේවල් නොව මහජන දේපළය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 292ක චෙක්පතක් දැක රටේ නායකයන් අසීමාන්තික සතුටකට පත්වනු දුටු විට අපට ඇති වන්නේ අප්‍රසන්නතාවක් පමණක් නොව පුදුමයකි. මන්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 292ක් යනු රුපියල්වලින් නම් කෝටි 4,300ක් වැනි මුදලක් නිසාය. පසුගිය සතියේම යම් මාධ්‍ය වාර්තාවල කියැවුණේ ආණ්ඩුව බලයට ආ විගස පෝර්ට් සිටි ව්‍යාපෘතිය නිකරුණේ නතර කිරීම නිසා රුපියල් කෝටි 2,100කුත්, ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීම නිසා රුපියල් කෝටි 1,500කුත් හයට් හෝටලයේ කොන්ත්‍රාත් අවලංගු කිරීම නිසා රුපියල් කෝටි 150කුත් වන්දි වශයෙන් ගෙවීමට සිදුවන බවය. මෙම දත්ත සත්‍ය නම් ඒවායේ එකතුව රුපියල් කෝටි 3,750කි. මහ බැඳුම්කර කොල්ලයේ ඍජු හා වක්‍ර පාඩුව රුපියල් කෝටි එක් ලක්ෂය ඉක්මවයි. වැරැදි තීරණ හා දූෂණ නිසා මෙතරම් හානියක් රටට කර ඇති නිසාද රුපියල් කෝටි 4,300ක් ලැබී මේ තරම් සතුටක්?.

ලංකාව වැනි ස්වාභාවික සම්පත් සීමිත රටකට දියුණු වීමට ඇති මූලිකම ස්වාභාවික දායාදය වන්නේ අපේ භූගෝලීය පිහිටීමය. ඉතිහාසය පුරා එකල විවිධ නම්වලින් හැඳින්වූ ලංකාවට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණේ මහාතිත්ථ, ගෝකණ්ණ, ජම්බුකොළපටුන, ගොඩවාය වැනි වරායවල් නිසාය. පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය ඉදිකළේ වරායවල් නිසා අතීතයේ අපේ රට වාණිජ කේන්ද්‍රස්ථානයක් වූවාක් මෙන් අනාගතයේත් ලංකාව යළිත් වාණිජ හා නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දීර්ඝ කාලීන සැලැසුම මතය. එමෙන්ම ලංකාවේ වර්ග කිලෝමීටර 65,000ක භූමි ප්‍රමාණය මෙන් 25 ගුණයක මුහුදු කලාපයක් එක්සත් ජාතීන්ගේ නවතම මුහුදු සීමා නිර්ණ නීතිය යටතේ අපට මෑතදී අයිති වූ නිසා අනාගතයේ රට සංවර්ධන ක්‍රියාවලියේ සාගර ආශ්‍රිත ආර්ථික විසඳුම් ඉතා වැදගත් වන බව පසුගිය ආණ්ඩුව වටහාගෙන තිබිණි.

හම්බන්තොට මාගම්පුර වරාය සැලැසුම් කර තිබුණේ අදියර 3කට වන අතර දැනට වැඩ අවසන්ව තිබෙන්නේ පළමු හා දෙවැනි අදියර පමණි. තුන්වැනි අදියරත් නිම කරන්නට සැලැසුම් කර තිබුණේ තව වසර කිහිපයකිනි. මාගම්පුර වරාය නිම වූ විට එහි ධාරිතාව කොළඹ වරාය මෙන් 20 ගුණයකටත් වැඩි වනු ඇත. වර්තමානයේ කොළඹ වරාය වසරකට රුපියල් බිලියන 40ක පමණ ආදායමක් උපදවයි. ඒ අනුව සාදා නිම වූ විට හම්බන්තොට වරායට කොතරම් විශාල ආදායමක් අවම වශයෙන් ඉපැයිය හැකිද යන්න අපට සිතාගත හැකිය. එපමණක් නොවේ, වරාය ආශ්‍රිත කර්මාන්ත රාශියක් හම්බන්තොට ඉදිවීමට නියමිත නිසා ඒවා නිවැරැදිව සැලැසුම් කිරීමෙන් ලංකාවේ සමස්ත ආර්ථිකයටම විශාල වාසියක් ලබාගන්නට සැලැසුම් කර තිබිණි. විශේෂයෙන්ම සේද මාවත කෙටි කරමින් අනාගතයේ තායිලන්තය හරහා ඉදිවීමට නියමිත ක්‍රා ඇළ නිසා අනාගතයේ සිංගප්පූරු වරායට තරගයක් දීමට ලංකාවේ හම්බන්තොට වරායට හැකි බව දන්නෝ දනිති.

මෙතරම් වටිනා ජාතික සම්පතක් එදා වේල දුවා ගන්නට බැරි ආණ්ඩුවක් අපට අහිමි කරන්නේ මොනතරම් සොච්චම් මුදලකටද? ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2කට හෙවත් රුපියල්වලින් නම් කෝටි 18,000 කටය. මේ මුදල අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන මුදලින් 25%ක පමණ ප්‍රමාණයකි. රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික විශ්‍රාම වැටුප පමණක් රුපියල් කෝටි 16,000ක් පමණ වේ. මෙතරම් සුළු මුදලකට වරාය අවුරුදු 99කට අද බදු දී ලබන සතුටින්ම අද ආණ්ඩුව වැටී තිබෙන තත්ත්වය වටහා ගත හැකිය.

ආණ්ඩුවම කියන ආකාරයට මේ මුදල ගන්නේ චීනයෙන් ගත් රුපියල් බිලියන 180ක පමණ ණයකට හිලව් වීමටය. නමුත් අද වරායේ වටිනාකම ඊට වඩා බොහෝ ඉහළ බව වටහා ගැනීමට මහා ආර්ථික දැනුමක් අවශ්‍ය නැත. ණයක් ගෙන ගෙයක් සාදා අවසන් වන විට නිවෙසේ වටිනාකම ගත් ණයට වඩා වැඩි බව නොදන්නේ කවුද? සාදා නිම වූ වරායද ඒ අනුව ගත් ණය ප්‍රමාණයට වඩා බොහෝ වටී. නමුත් එදා වේල කළමනාකරණය කරගත නොහැකි ආණ්ඩුව වරාය චීන සමාගමට දෙන්නේ ගත් ණය ප්‍රමාණයට හිලව් වන්නටය.

එසේම මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ඉතා අවාසිදායක එකකි. මේමඟින් වරාය අධිකාරිය සතු හෙක්ටයාර් 1,200ක් පමණ ඉඩම් කිසිදු අමතර මුදලක් අය කිරීමෙන් තොරව සමාගමට ලබා දෙනු ඇත. මෙලෙස ලබාදීමේදී වරායේ ඉඩම්, මුහුදු ගොඩ කොට කෘත්‍රිමව සකස් කළ හෙක්ටයාර් 100ක පමණ දූපතක්ද චීන සමාගමට නොමිලයේ ලැබේ. වරායේ පර්යන්ත සහ එහි වෙළෙ¼දාමේ වර්තමාන වටිනාකම පිළිබඳව පිළිගත හැකි ජාත්‍යන්තර තක්සේරුවක් ලබා නොගැනීම නිසා රටට මෙම ගනුදෙනුව හරහා ලැබිය යුතු නිසි ආදායම ගණනය වී නැත. එමෙන්ම වසර ගණනාවකට මෙම සමාගමට බදු සහන ලබා දී ඇති නිසා එහි කෙරෙන ව්‍යාපාරයන්ගෙන් ආණ්ඩුවට බදු ආදායමක් නොලැබේ.
වරාය අධිකාරිය 2014 වර්ෂයේදී ආයෝජකයන් සඳහා ඉඩම් ලබාදීමට ජාත්‍යන්තරව කැඳවන ලද යෝජනාවලින් තෝරාගත් සමාගම් 11ක් සමඟ ගිවිසුම් ගතවූ අතර ඒ අවස්ථාවේදී හෙක්ටයාර් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 50,000ක් වර්ෂයකට ගෙවන ලෙසටත් එම මුදල වාර්ෂිකව 3%කින් වැඩිවන ලෙසත් ගිවිසුම්ගත වී තිබිණි. ඒ අනුව වරාය අධිකාරිය සතුව තිබූ ආයෝජන කලාපයට භාවිත කළ හැකි හෙක්ටයාර් 1,200 සඳහා අවම වශයෙන් වාර්ෂිකව ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 9කට ආසන්න මුදලත්, පර්යන්ත සඳහා 2014 වර්ෂයේ අස්සන් කළ ගිවිසුමකට අනුව අය කිරීමට යෝජනා කළ හෙක්ටයාරයකට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 35,000 මුදල සහ ඒ මත වාර්ෂිකව වැඩිවන 3%ක වැඩිවීම අනුව සමස්ත වරාය තුළ පර්යන්ත සඳහා වෙන් කර ඇති හෙක්ටයාර් 300කට ආසන්න ඉඩමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 150කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකියාව තිබිණි. ඒ අනුව බැලීමේදී හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් වාර්ෂිකව අහිමි වන මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,000කි. මේ අනුව සමස්ත 99 අවුරුදු කාල පරිච්ඡේදය පුරාවටම රටට අහිමි වන මුදල රුපියල් කෝටි ලක්ෂයකට අධිකය.

මීට අමතරව විවිධ සේවා සැපයීම හරහා වරාය අධිකාරියට ලබාගැනීමට හැකිව තිබූ ඉහතින් සඳහන් කළ මුදලට වඩා වැඩි ආදායමක්ද මෙමඟින් අහිමි වී යන බව විශේෂඥයන් විසින් පෙන්වා දෙන ලදී. මෙම ගිවිසුම අවුරුදු 99ක් පුරාවට වලංගු වන නිසා මෙහි බලපෑම පරම්පරා ගණනාවක් දක්වා විහිදී යයි.

හම්බන්තොට වරාය චීනයට බදු දෙන්න සිදු වූයේ වරාය අධිකාරියට ණය ගෙවීමට නොහැකි නිසා යැයි රටේ පාලකයෝ ජනතාවට අමූලික බොරුවක් කියති. වරාය අධිකාරිය මෙම ඉදිකිරීම් සඳහා ලබාගෙන ඇති සමස්ත ණය මුදල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,265කි. ඒ සඳහා පොලිය වශයෙන් සමස්ත කාලසීමාවට ගෙවිය යුතු වන ඇමෙරිකානු ඩොලර් මිලියන 495.45ක මුදලද ගත් කල සමස්ත වශයෙන් ගෙවිය යුතු මුදල, වසර 2036 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,762කි. මින් 2016 වර්ෂය වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 498ක් ගෙවා අවසන්ව තිබූ අතර 2014 අවසාන වන විට වරායේ මුදල් සංචිතවල ඇමෙරිකානු ඩොලර් මිලියන 150කට අධික මුදලක් (රුපියල් කෝටි 2,250ක්) ඉතිරිව තිබිණි. එලෙසම, වරාය අධිකාරිය මේ දක්වා කිසිදු ණය මුදලක් ගෙවීම පැහැර හැර නොතිබිණි. ඉතිරි ණය ගෙවීමට වසර 20කටත් වඩා කාලයක් ඉතුරුව තිබිණි. මේ අනුව බලන කල වරාය අධිකාරියට මෙම ණය මුදල ගෙවීමට නොහැකියි පැවැසීම කිසිදු පදනමක් නොමැති තර්කයකි.

වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසු හම්බන්තොට වරායේ නෞකා සඳහා තෙල් සැපයීම නැවැත්වීම, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දැමීම සහ හම්බන්තොට වරායේ කර්මාන්තපුරයට ගිවිසුම්ගතව තිබූ ගිවිසුම් නොසලකා හැරීම වැනි අදූරදර්ශී ක්‍රියාවන් නිසා වරාය අධිකාරියට උපයාගත හැකිව තිබූ බිලියන ගණනාවක ආදායමක් අහිමි විය. ආණ්ඩුව හිතා මතාම හම්බන්තොට වරාය සුදු අලියකු ලෙස පෙන්වන්නට උත්සාහ කළේ මුල පටන්ම ඔවුන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ එය විකුණා දැමීම නිසාය.

ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණේ රටට සුවිශාල ආර්ථික වාසි දීර්ඝ කාලයකට ලබාගත හැකිව තිබූ රන් බිජු ලන කිකිළියක් වැනි හම්බන්තොට වරාය විකිණීම වෙනුවට වරාය කළමනාකාරිත්වයේ තිබූ අඩුපාඩු සකස් කොට නිවැරැදි සැලැස්මක් අනුව වරාය සංවර්ධනය කිරීමයි. එතුළින් මේ අගනා සම්පත රට තුළ රැඳෙනවා මෙන්ම අනාගත සංවර්ධනයේ ප්‍රධාන නියමුවා ලෙස හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත පුරය දියුණු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන තැනක් බවට පත්කිරීමයි. නමුත් අනාගත පරපුර ගැන නොසිතන ආණ්ඩුවකින් මීට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

හම්බන්තොට වරාය ආණ්ඩුව සතුව තිබුණා නම් වරාය හා සමස්ත කර්මාන්තපුරයම සැලසුම් කෙරෙනු ඇත්තේ දේශීය ආර්ථික අවශ්‍යතා කේන්ද්‍ර කරගෙනය. නමුත් චීන සමාගමක් යටතේ එය එසේ සිදුවීමට හේතුවක් නැත. මන්ද ඔවුන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ගැන බැවිනි.

දේශීය සැපයුම්කරුවන් නඟාසිටුවන්නට, දේශීය දරුවන්ට රැකියා අවස්ථා ජනිත කරන්නට ආණ්ඩුවකට වගේ ඔවුන්ට වගකීමක් නැත. හම්බන්තොට වරාය හා ඉදිරියේදී චීන සමාගම් විසින් පාලනය කරනු ලබන කර්මාන්තපුරය දියුණු වන විට එහි ව්‍යාපාර ආයතනවල විදේශිකයන් යටතේ සේවයට අපේ තරුණ තරුණියන් යවා වැඩ කුලිය තුළින් ආදායමක් ලබා ගැනීම හැර විකල්පයක් රටට දැන් ඉතුරු වී නැත. ලාංකිකයන්ට සිදුවන්නේ චීන සමාගමක් අපේ භූමියේ සාර්ථක ව්‍යාපාරයක් කරන ආකාරය බලා සිටීම පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්