කෝපයෙන් දිලිහී සිටින ජාතියක් ඉදිරිපිට රජු සිරකර තැබීම සුදුසු නොවේ

  👤  4142 readers have read this article !
2017-12-17

1815 පෙබරවාරි 19
ප.ව. 6.00
තෙල්දෙණියේදීය
උතුමාණෙනි,

මම රජු හමුවීම සඳහා දෝලාවක්ද රැගෙන රඹුක්වැල්ලට ගියෙමි. ඔහුගේ බිසොවුන් සමඟ මෙහි ළඟාවීමට මඟ පෙන්වූයෙමි. විවේක ලබා සන්සුන්ව මහන්සිය නිවුණු පසු හමුදා රැකවල් සහිතව මහනුවර යැවීමට කටයුතු කරමි. රජුගේ මව සහ බිසෝවරු දෙදෙනෙක් හංවැල්ලේ සිටිති.

(කොළඹ ප්‍රදේශයේ හංවැල්ල නොවේ.) ඔවුන් කරදරයක් නොමැතිව කැඳවාගෙන ඒමටත්, ඔවුන් සතුව තිබී සොයාගත් ධනය සහ අනෙකුත් වටිනා දේවල් ආරක්ෂා කිරීමටත් වහාම හේවා කණ්ඩායමක් යැවිය යුතුය. රජුගේ ඥාතීන්ට සහ නායක්කර්වරුන්ට මෙම කරුණු දන්වා භය නැතිව පැමිණෙන ලෙස උපදෙස්දී තල්පත් ලිපි ලියා යැවීමි.
ඔබතුමා විසින් එවන ලද ප.ව. 1.30 දරන ලිපිය දැන් මාවෙත ලැබිණි. රජතුමා කිසිදු පමාවක් නැතිව කොළඹට යැවිය යුතු යැයි මම අදහස් කරමි. එමෙන්ම උද්ගතවී ඇති වර්තමාන තත්ත්වය අනුව ඔබතුමා රජු සමඟ සාකච්ඡා කිරීමෙන් වැළැකී සිටීම සුදුසු බව මගේ අදහසය. මගේ දැනීමේ හැටියට රජු තවදුරටත් කන්දේ නුවර තබාගෙන සිටීම අපේ අවාසියට හේතු විය හැකිය. භේද භින්නව කෝපයෙන් දිලිහී සිටින ජාතියක් ඉදිරියේ රජු ඔහුගේම රාජ්‍යයේ අගනුවර මහජන ප්‍රදර්ශනයට තැබීම හෝ සිරකර තැබීම සුදුසු නොවේ. එමෙන්ම වැටුණාවූ වීරයකුට ඇති වන්නාවූ උද්වේගකර හැඟීම්වලටද එය නොගැළපෙනු ඇත.

ඒ නිසා රජු කොළඹට ගෙන යෑමට උතුමාණන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ සෙයින්ම නුවණට හුරු බව ප්‍රකාශ කරමි. රජතුමාට විවේක ගැනීමට සුදුසු ස්ථානයක් හක්කොටුවගල අසල දම්බරාව ධාන්‍යාගාරයේ ඇත. නමුත් ඔහු ගෙන යෑම සඳහා ඒ ඒ ස්ථානවල පළමුව කූඩාරම් හෝ නවාතැන් පොළවල් සූදානම් කළ යුතුය. රජු කොළඹට යෑමේදී බිසොවුන් දෙදෙනාද කැටිව යෑමට බලාපොරොත්තු විය හැකිය. රජු සහ පිරිස හෙට හවස් වනතුරු මෙහි ළඟා නොවනු ඇත.
රජුට අවශ්‍ය නියම ඇඳුම් පැලඳුම්ද නැත. ඒවා ගෙන ඒමට යැවූ නමුත් තවමත් මෙහි ලැබුණේ නැත. හවස වැසි සහිත විය. ඔහු තවම ගමන ආරම්භ කර නැත. යොදාගත් පිළිවෙළ අනුව ඔහුට මෙහිම හෝ දම්බරාවේ හෝ ඔහුගේ බිසොවුන්ගේ අශ්ව කරත්තය ලැබෙනතුරු නැවතීම නුවණට හුරුය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත් බොහෝ වස්තුව උඩුපිටියේදී ඔහු අල්ලාගත් උඩරැටියන් විසින් කොල්ලකා තිබේ. තවද රජුට පරුෂ වචනයෙන් කතා කළ බවටත් නරක ලෙස සැලකූ බවටත් පැමිණිලි ලැබී ඇත. එහෙත් තුවාල වූ බව හෝ ශෝකයෙන් සිටින බවක් නොපෙනේ. රජුගේ සොහොයුරකු වන බෙන්ගාට සාමි පෙරුමාල නායක්කර් සහ තවත් මලබාර් වැසියකු අද දින කුණඩසාලේ ගුරුදෙණිය සහ මැද මහනුවර සිට ගෙන එන ලදී. රජු සිටීමත්, ඊළඟ කාමරවල බිසෝවරුන් සිටීමත් නිසා තවදුරටත් සඟවා ඇති වස්තුව කවරේ දැයි සොයා බැලීමට බාධා පැමිණ ඇත.

ආණ්ඩුකාර උතුමාණන්ට මගේ ගෞරවය ප්‍රකාශ කරමි.
ජෝන් ඩොයිලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon