සාම ගිවිසුම බිඳ වැටේ ඉන්දියන් හමුදාව සහ කොටින් අතර සටන් ඇවිළෙයි

  👤  3980 readers have read this article !
2017-12-17

තවත් දහවලක මම පාසලේ සිට නිවෙසට බයිසිකලයෙන් යමින් සිටියෙමි. විරුද්ධ දිශාවෙන් පැමිණි ජීප් රථයක් වෙට්ටුවක් දමා මා අසල නතර විය. රොෂාන් එබී බලා මා හා සිනාසුණේ ය.
"හැම තිස්සෙම මෙහෙමයි. මනුස්සයෙකුට පාරෙ යන්ඩ බෑ. බොහොම නරක ඩ්‍රයිවර් කෙනෙක්."
මම ඔහුට බැන වැදුණෙමි.

"අනික් මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ නෑ. ඔයාට විතරයි."
හිස පසුපසට ගස්සා ඔහු මහ හ¾ඩින් සිනාසුණේය.
"විහිළු නෙමෙයි. මට තුවාලයක් වුණා නම්."
"මං ඔයාව කවදාවත් රිදවන්නෙ නෑ."
අනතුරුව ඔහු හඬ බාල කරමින් කතා කළේය.

"එදාට පස්සෙ ඇයි මාව බලන්ඩ ආවෙ නැත්තෙ. මාව අමතක කළාද?"
"ඔයා හිතන්නෙ මට කරන්න වෙන දෙයක් නෑ කියලද රොෂාන් අයියා?"
"ඔයා මං ගැන හිතනවා කියල හිතන එකත් මට සතුටක්."
මටද සිනහ මතු විය.

"ඔයා ඉන්නෙ තමන් ගැන අධිතක්සේරුවෙන්. ෆොටෝස් අරගෙන ඒව දිහා බල බලා හිතනව ඇති මම හරි ලස්සන කොල්ලෙක් කියලා."
"ආ ඔයා හිතන්ඩ ඕන, මම ලස්සන කොල්ලෙක්ය කියලා."
රොෂාන් කීවේ ඔහුගේ සුපුරුදු බැල්ම එක එල්ලේ මා වෙත යොමු කරමිනි.
ඔහුගේ බැල්මට හසුව තත්පර කිහිපයක් මම ද ඔහු දෙසම බලා සිටියෙමි. මට දැනුණේ මහත් සැහැල්ලුවකි.
"ආ... ඒක නෙමෙයි. අර මෑතකදී මැරුණු කොටි හමුදාවේ අයගේ පින්තූර මට ගෙනැත් දෙනවද?"
"ඔව් පුළුවන්. තව මොනවද ඔයාට ඕන?"

"මං දැන් යන්ඩ ඕන රොෂාන් අයියා. අර ෆොටෝස් අමතක කරන්ඩ එපා."
"ගේන්නම්. මගේ ෆොටෝ එක හොඳද?"
ඔහු රථය පණ ගන්වමින් කීවේය.
"ඔයාගෙ පින්තූර මට මොකටද?"

මම කෑ ගසා පිළිතුරු දුනිමි. කෙසේ වෙතත් මා ළඟ දැනටමත් ඔහුගේ ඡායාරූපයක් තිබේ.
1987 වර්ෂයේ ඔක්තෝබර් දස වැනි දින යාපනයට සුවිශේෂී දිනයක් විය. කිලෝ මීටර් විස්සක් දුර ගමන් කළ සාම සාධක හමුදා විරෝධී පෙළපාළියට මම ද සම්බන්ධ වූයෙමි. යාපනයේ පැරණි උද්‍යානයෙන් ආරම්භ වූ පෙළපාළිය අවසාන වූයේ පලාලි ගුවන් හමුදා කඳවුරෙනි. මහත්තයා, යෝගි මාස්ටර් ඇතුළු තවත් කොටි සාමාජිකයන් කිහිප දෙනකු පසුබිමෙහි සිටිනු අපට දැකගත හැකිවිය.

අප පලාලි කරා ළඟා වන විට දිවා කාලයේ පසු භාගය නිමවෙමින් තිබුණි. මුළු නගරයම පොළොවට සමතලා කොට තිබුණේ ගුවන් හමුදා කඳවුරෙහි සිටි සොල්දාදුවන්ගේ ආරක්ෂාව සලසනු සඳහාය. එවකට සාම සාධක හමුදා කඳවුරක් බවට පත් කොට තිබූ පලාලි ගුවන්තොටුපළ ඉදිරිපිට නැවතී අපි සටන් පාඨ කියමින් කෑ ගසමින් සිටියෙමු.
හිටි හැටියේ එහි පැමිණි මෝටර් බයිසිකලයේ සිටියේ මුරලිය. ඔහු වහා බයිසිකලය පාර අයිනේ නවතා ජනකාය අතරට පිවිසියේය. ඔහුගේ අතක වෝකි ටෝකි යන්ත්‍රයක් ද තිබුණි. කාගෙන්දෝ ශබ්ද විකාශන යන්ත්‍රයක් ඉල්ලාගත් ඔහු රැස්ව සිටි සෙනඟ නිහඬ කර වූයේය.
"කරුණාකරලා හැම කෙනෙක්ම ගෙවල්වලට යන්න. ඊළඟ වීදියේ නවත්වා තිබෙන බස් රථවලින් හැම කෙනෙකුටම තම තමන්ගේ ගෙවල් ‍ෙදාරවල්වලටම යන්නට ඉඩ සලසා තිබෙනවා."

මම සෙනඟ අතරින් මුරලි වෙත ඇදුණෙමි.
"මොකද වෙලා තියෙන්නේ මුරලි අයියා? ඇයි අපිට යන්ඩ කියන්නේ?"
"කොටුවෙ හමුදා කඳවුරෙන් සෙනඟට වෙඩි තියලා. මෙතනත් ඒකම වෙන්ඩ බැරි නෑ."
ඊට පෙර දින කොටි සංවිධානය හා සාම සාධක හමුදාව අතර හටගත් සටන් පිළිබඳව ඒ වන විට මා කිසිත් දැන සිටියේ නැත. සාම සාධක හමුදා සොල්දාදුවන් කොටි කඳවුරුවලට පහර දී ඔවුන්ගේ සන්නිවේදන උපකරණ රාජසන්තක කොට කොටින්ට පක්ෂපාතී පුවත්පත් කාර්යාල වසා දමා ඇත. එදිනම යාපනයට ආසන්න ගම්මානයක් වූ කෝපායි හිදී හටගත් සටනක් නිසා තත්ත්වය තවත් දරුණු වී ඇත. එහිදී මාලතී නම් විසි හැවිරිදි කොටි සෙබළිය මරු මුවට පත් වී ඇත. සංවිධානය වෙනුවෙන් දිවි පිදූ පළමු කොටි සෙබළිය වන්නේ මාලතීය. මට ඇය කිසිදාක මුණගැසී තිබුණේ නැත.

එම සටනේදීම තවත් කොටි සෙබළියන් දෙදෙනකු අල්වාගෙන තිබුණි. එම සටන් පෙරමුණේ සිටි අකිලා ඔවුනට හසු නොවී බේරී තිබුණේ අනූනමයෙනි.
පසුවදා සන්ධ්‍යාවේ මම නැවත ෆී්‍රඩම් බර්ඩ්ස් ප්‍රධාන කාර්යාලයට ගියෙමි. කාංචනා හා තවත් කාන්තා සෙබළියක් පැමිණ අම්මාට පවසා තිබුණේ මා නැවත අවමඟුල් තූර්ය වාදක කණ්ඩායමට කැඳවා ඇති බවයි. අම්මා ඔවුනට තේ පිළියෙල කරන අතරතුර මම මගේ බෑගය සකසා ගතිමි. නැවත නිවෙසට පැමිණීම කවදා දැයි විශ්වාසයක් මා හට තිබුණේ නැත.

ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය වෙත දුන් ක්‍ෂමා කාලය අවලංගු කොට තිබිණි. රජයට අවශ්‍යව සිටින ත්‍රස්තවාදී නාම ලේඛනයට අනුව ප්‍රභාකරන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම සිටියහ.

එදින රාත්‍රියේදී අපගේ කඳවුරට පැමිණි ප්‍රභාකරන් ඒ බව තහවුරු කළේය. ඔහු එලෙස නිතර පැමිණ කතා බහ කිරීම අපට දැනුණේ එක්තරා වාසනාවක් ලෙසටය. ඔහු කාන්තා සෙබළියන් ගැන විශේෂයෙන්ම සොයා බැලුවේ අප නවකයන් වූ බැවිනි. ඒ වන විටත් ප්‍රභාකරන් කිසිදාක දැක නොතිබූ පිරිමි කොටි සොල්දාදුවන් බොහෝ විය.
අජන්ති, කාංචනා සහ තවත් යෙහෙළියන් කිහිප දෙනෙක් සමඟ නැවත 'ෆී්‍රඩම් බර්ඩ්ස්' මූලස්ථානයෙහි රැඳී සිටීම මට කිසියම් සතුටක් ද විය.
අකිලා ඒ වන විට ද සිටියේ කෝපායි හි සටන් බිමේය. එවකට තිබූ කාන්තා ඒකක දෙකෙහිම සෙබළියෝ එහි සටන් වැදී සිටියහ. ෆී්‍රඩම් බර්ඩ්ස් මූලස්ථානයෙහි රැඳී සිටි තරුණියන් සටන් බිමට වරින් වර කැඳවනු ලැබුවේ දීබා සහ සුගී විසිනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon