මහින්දයි චන්ද්‍රිකායි සියනෑවේදී හැප්පෙන තැන

  👤  5172 readers have read this article !
2017-12-31

"භගවත් ගීතාවේ සඳහන් ආකාරයට මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන්ද, මගේ මිත්‍රයන්ද, හිතවතුන්ද, කවුරුන්ද දන්නේ නැහැ. එහෙත් ඕනෑම කෙනෙක් කැපී යයි කියා තිබෙනවා. මට කියන්න තියෙන්නෙත් මොන පක්ෂයේද මොන වර්ණයේද, කාගේද, මගේ ඥාතීන්ද කවුද කියන ප්‍රශ්නය නැහැ. පිරිසුදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා මගේ කඩුවට කවුරු කැපෙයිද කියන එක මා දන්නේ නැහැ. කැපෙන බව කියන්න පුළුවන් ඒ රටේ ජාතියේ අනාගතය උදෙසායි"

මේ සඳහන කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
රටට, ජනතාවට ආදරය කරන දූෂණයට, වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන අවංක සෘජු දේශපාලන නවකයන් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශ්‍රී ලනිපය අපේක්ෂා කරන බවත්, අවංක පිරිසුදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගනිමින් අනාගතයේදී යහපත් ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා වන ප්‍රවේශය මෙම මැතිවරණය තුළින් සනිටුහන් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයන්ගේ හා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැති "නිදහසේ සම්මුතිය" ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ පළාත් පාලන මැතිවරණයට තරගවදින අපේක්ෂකයන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමා හමුවූයේ කොළඹ ජානාධිපති මන්දිරයේදීය. ශ්‍රී ලංකන් එයාලයින් හා මිහින් ලංකා සමාගම්වල සිදුවී ඇති දූෂණ හා අයථා ගනුදෙනු ආදිය ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට තමා තීරණය කොට ඇති බව ජනාධිපතිවරයා හෙළිදරව් කළේය. බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසුව ජනවාරි මස මුලදී මෙම කොමිසම පත්කරන බව ජනාධිපතිවරයා කීය.
බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවේ දූෂණ ගැන කළ පරීක්ෂණයකින් ඇමැතිවරුන් දෙදෙනකුට ඉවත්වීමට සිදුවූ අයුරු මතක් කළ ජනාධිපතිවරයා, ඉන්පසු කාලයේ ඇමැතිවරුන්ට තනතුරු අත්හැරීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවේ බවද පෙන්වා දුන්නේය. පළාත් පාලන ක්ෂේත්‍රයේ නව නැම්මක් මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අරඹන බවද ජනාධිපතිවරයා කීය.
මේ අතර ජනාධිපතිවරයා පක්ෂය සවිබල ගන්වමින් සිටී. ඊට ඔහු වෙනත් පක්ෂවල හයියද ලබා ගනිමින් සිටින අයුරු පෙනේ.
පක්ෂ මාරුවේ බරපතළම ප්‍රහාරය එල්ල වූයේ "විමල්ගේ" පංචායුධයටය. ජාතික සංවිධායක, ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය නායක යන විමල්ගේ ප්‍රධානතම තුරුම්පු දැන් මෛත්‍රිගේ "අතේ"ය. ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශත් මෛත්‍රිට එක් වූ අතර මෛත්‍රි එතැනින් නැවතුණේ නැත.
ඔහු ඊළඟට අත තිබ්බේ දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණටය. මුලින්ම ඔහු අම්පාරේ ශ්‍රියානි විජේවික්‍රම එකතුකර ගත්තේය. මෛත්‍රි ඊළඟට ගත්තේ දිනේෂ්ගේ ප්‍රබලතම තුරුම්පුවක්ය. ඒ සෝමවීර චන්ද්‍රසිරිය. ඔහු දිනේෂ්ගේ පක්ෂයේ උප සභාපතිය. කම්කරු අරගලවල පෙරටුගාමී චරිතයක් වූ ඔහු ප්‍රකට "වානේ හඬ" කියලාය. දිනේෂ්ගේ කිට්ටුවන්තම හිතවතා දිනේෂ්ගෙන් නික්ම යන්නේ මෛත්‍රි ගාවටය.

මේ අතර නිමල් ලන්සා ඉවත්ව පොහොට්ටුවට යද්දී ජනාධිපතිවරයා පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීය. ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමිවීමෙන් පසුව පාර්ලිමේන්තුවට පැමිණි පියසේන ගමගේ නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සැලසුම් කර ඇත්තේ ඡන්දයෙන් අනතුරුව පොහොට්ටුවෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයන්ගේද සහාය ලබාගෙන පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමටය. ඩිලාන්ලාගේ, ඉසුරලාගේ කතාවලින් එය ඉස්මතු වූ අතර සුසිලගේ කතාවලින් ඒය ස්ථීර වී තිබෙන අයුරු පෙනේ.

කෙසේ වෙතත් පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමකදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ සැලසුමට තරමක් පටහැනි යෝජනාවක් ඉදිරිපත් කළාය.
ඒ වත්මන් යහපාලන ආණ්ඩුවේ කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කිරීම සඳහාය. එම යෝජනාවට නිශ්චිත ප්‍රතිචාරයක් එම සභාවේ නොලැබුණු අතර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැවැරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මේ දිනවල අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරණ වැඩසටහන්වලට සහභාගි වෙමින් සිටී. නමුත් මේ දිනවල මෙසේ යන සෑම රැස්වීමකදීම පාහේ ප්‍රදේශයේ ජනතාව වෙතින් පොහොර හිඟය පිළිබඳ චෝදනාවක් දිසානායක මහතා වෙත එල්ල වේ.
මෙසේ සහභාගි වූ එක් ජනහමුවකදී දිසානායක තම කතාව ආරම්භ කළ අවස්ථාවේදීම රැස්ව සිටි පිරිස අතර සිටි පුද්ගලයෝ කිහිප දෙනෙක් දිසානායකගේ කතාවට බාධා කළහ.
ඔය ඡන්දය ගැන නෙවෙයි පොහොර හිඟය ගැන කියන්න. ඒකට උත්තරයක් දෙන්න. එක් අයෙක් තරමක උස් හ¾ඩින් චෝදනා මුඛයෙන් ඉල්ලා සිටියේය.
මම ඔය වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති නැහැ යැයි සිනාමුසු මුහුණින් කී දිසානායක මහතා, පොහොර ගෙන්වන රටවලින් පොහොර ලැබීම ප්‍රමාද වෙලා. ඒක තමා ගැටලුව. අපි ඒකට ඉදිරියේදී විසඳුම් දෙනවා යැයි පවසමින් එම චෝදනාවලින් ලිස්සා හිටියේය.

මැතිවරණ උණුසුම දෝර ගලද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙවුණු සතිය ගත කළේ නුවරඑළිය ප්‍රදේශයේය. වසර අවසානයේ නිවාඩුවක් ගත කිරීමට සිය බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමඟ නුවර එළියට ගිය අගමැතිවරයා නත්තලට පෙර විවේක සුවයෙන් ගත කළේය.

නත්තල් දින නුවරඑළියේ එස්.ඕ.එස්. ළමා ගම්මානයට ගොස් එහි සිටින මවුපිය සෙනෙහස අහිමි දරු දැරියන් සමඟ සුහද කතා බහක නියැළෙමින් ඔවුන්ට තෑගි බෝග පිරිනැමීය. පේන්ටර් ළමා නිවාසයටද ගොස් එලෙසම දරු දැරියන් සමඟ නත්තල් සමරමින් ඔවුන්ට තෑගි බෝග පිරිනැමීය. පේන්ටර් ළමා නිවාසයේ විවිධ ප්‍රසංගයක්ද පැවැත්වුණු අතර අගමැතිවරයා එය නැරඹීය. ප්‍රසංගය අවසන් වූ පසු දරුවන් අතරට ගිය අගමැතිවරයා "ඔයාලා හරි ලස්සනට සිංදු කිව්වනේ. පුරුදු කළේ කවුද?" අසමින් ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදිණි. දරු දැරියන් සිය සමීපතමයන් ලෙස අගමැතිවරයා සහ ඔහුගේ බිරියට ළංවෙමින් සිය අධ්‍යාපන කටයුතු ගැන විස්තර කළේය.
අඹේවෙල කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට අගමැති වික්‍රමසිංහ මහතා 28 දා එක් විණි.

මේ දිනවල සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තිස්සමහාරාම ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් දිරිමත් කරමින් ඉතා කාර්යබහුලව සිටී. මේ අතර තිස්සමහාරාමය ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් පැමිණියේ ඇමැතිවරයා වෙත යෝජනාවක්ද ඇතිවය. "ඔබතුමාගේ 51 වැනි උපන් දිනය ජනවාරි 12 වැනිදාට යෙදෙනවනේ. එදාට අපි ලොකු සද්දයක් දාලා සංගීතයක් කරමු. පළාතම හෙල්ලිලා යන්ඩ" තරුණයෝ පිරිසක් යෝජනා කළහ. තරුණයන්ගේ ළෙන්ගතුකම ගැන පොඩිපහේ ආඩම්බරයක් දැනුණත් ඇතිවූ සිනහව මැඬගෙන සජිත් කීවේ "අනේ මල්ලී සංගීතයක් කරලා ලැබෙන්නේ තාවකාලික තෘප්තියක් විතරනේ. මොකක්ද ලැබෙන ප්‍රතිඵලය? මං අදහස් කරගෙන ඉන්නේ මගේ 51 වැනි උපන් දිනයේදී පළාතේ දහම් පාසල් දියුණු කිරීමේ අරමුදලක් පිහිටුවන්නයි" කියාය. "මට උපන් දිනය වෙනුවෙන් තෑගි බෝග දෙන්න පුරුදු වෙලා ඉන්න යාළුවන්ටත් මං කිව්වා මේ උපන් දිනයට නම් තෑගි එපා! ඒ සල්ලිත් මේ අරමුදලට පරිත්‍යාග කරන්න කියලා. "සජිත් කියද්දී භික්ෂුන් වහන්සේ කීවේ" මෙහෙම තීන්දු තීරණ අරගෙන කවුරුත් වැඩ කරනවා නම් බොහොමත්ම අගෙයි යනුවෙනි.
මෛත්‍රි ප්‍රතිවාදීන් තම පිලට දිනා ගනිද්දී එක්සත් ජාතික පක්ෂයද 'රිදෙන පිළිතුරක්' බදුල්ලෙන් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උෟව පළාත් සභා මන්ත්‍රි ආරුමුගම් ගනේෂමූර්ති එක්සත් ජාතික පක්ෂයට ගැනීමේ මෙහෙයුම හරින්ගේය.
ගනේෂමූර්ති ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකි. තොණ්ඩමාන් මහින්දට සහාය දුන් අතර දැන් ඉන්නේ 'මැදය'

තේ සඳහා රුසියාව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කළේ පසුගිය තිස්වැනිදාය. තේ තහනම පැනවූ වහාම වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ හා එක්ව තහනම ඉවත් කර ගැනීමට මෙහෙයුමක් ඇරඹුවේය.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් නියෝජිත කණ්ඩායමක් රුසියාවට යැවීමට කටයුතු කළේය. නීතිපති දෙපාර්තමේන්තුව, තේ මණ්ඩලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නව දෙනෙක්ගෙන් යුතු නියෝජිත මණ්ඩලයක් පිටත්කර යැව්වේය.
"තේ අපනයනය කිරීමේදී "සිලෝන් ටී" නාමයට හානි නොවීමට වගබලාගන්න. තේවල ගුණාත්මක භාවය මෙන්ම පිරිසුදු භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න. "නවීන් උපදෙස් දුන්නේය.

සංචාරක කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ කොළඹ නත්තල් කලාපය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පසුගියදා විවෘත කෙරිණි. විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පැමිණෙන විටත් විශාල ජනකායක් එහි රැඳී සිටියහ. විවෘත කිරීමෙන් පසු පැවැති රැස්වීමේදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ පැවැසීය. "සෞඛ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරනවා. ඉදිරියේදී පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට ද සූදානම් වෙනවා. එය ජනතාවට ඉතා වැදගත්, අත්‍යවශ්‍ය ඔෟෂධ මිල අඩු කිරීම ප්‍රශංසා කළ යුතු කරුණක්" යැයි කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා සහ තමන් අතර ඇති මිතුදම පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ඉන්පසු දෙදෙනා අතර සුහද කතාබහක් පැවතිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ "මම පෙබරවාරි 04 නිදහස් දින දා ජනතාවට වැදගත් තවත් රාජකාරියක් ඉටු කරනවා. එමඟින් අපේ රජය යළිත් ප්‍රශංසාවට ලක්වෙනවා" යැයි රහසක් හෙළි කළේය. ජෝන් අමරතුංග අමාත්‍යවරයා ඒ මොකක් දැයි විමසුවද එම රහස සෞඛ්‍ය අමාත්‍යවරයා හෙළි කළේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ නාම යෝජනා සම්බන්ධයෙන් එහි සහෝදර පක්ෂ අතර අර්බුද හටගත් බව ප්‍රසිද්ධ රහසකි. අපේක්ෂකත්ව ඉල්ලීම් වැඩි වීම ඊට ප්‍රධාන හේතුව බව කියැවිණි.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගිය සතියේ පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. පොදුජන පෙරමුණේ නාම යෝජනා සැකසීමේදී ඇතිවූ මතගැටුම් හැලහැප්පීම් සම්බන්ධයෙන්ද මහින්ද මෙහිදී අදහස් දැක්වීය.
'දැන් අපි අලුත් පක්ෂයක් විදියට නාම යෝජනා හදන කොට මන්ත්‍රිවරුන්ට යම් යම් ගැටලු ඇති වෙන්න ඇති. එක එක පක්ෂවලට කෝටා බෙදනකොට හිත් අමනාපකම් ඇති වෙන්න ඇති. දැන් ඒ සේරම ඉවරයි. අපේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂයයි. අපි දැන් පොදු සතුරාට විරුද්ධව ශක්තිමත්ව අපේ සටන ඉදිරියට ගෙනියන්න ඕනේ' මහින්ද පෙන්වා දුන්නේය.

'චන්ද්‍රිකා කියලා තියෙනවා හවුල් ආණ්ඩු ගිවිසුම අඩුගානේ තව අවුරුද්දකටවත් දික් කරන්න කියලා' ඩලස් පැවැසීය.
'චන්ද්‍රිකාගේ හිතේ තියෙන්නේ රාජපක්ෂලා ගැන වෛරයක්. ඒ හින්දා එයා බලන්නේ කොහොම හරි එක්සත් ජාතික පක්ෂය දිගටම බලයේ තියාගන්නයි. එයාගේ අරමුණ ඊළඟ ඡන්දෙ වෙනකම් එක්සත් ජාතික පක්ෂය බලයේ තියාගෙන ශ්‍රී ලංකා එකේ උදව්වෙන් රනිල් ජනාධිපති කරවන්නයි' ප්‍රසන්න පෙන්වා දුන්නේය.
'මේ වෙලාවේ රැල්ල තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩු විරෝධී ඡන්ද ගන්න පුළුවන් එකම කණ්ඩායම බවට අද පත්වෙලා තියෙන්නේ අපි. ඒ හින්දා අපි කොහොම හරි මේ මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන්න ඕනේ' මහින්ද පෙන්වා දුන්නේය.
ගම්පහ සාමාන්‍යයෙන් ශ්‍රී ලනිපයට වාසිදායක බලකොටුවකි. එහි බලය තීරණාත්මකය. එක් අතනික් ශ්‍රී ලනිප අත ලකුණින් තරග කරන ප්‍රධානම දිස්ත්‍රික්කය ගම්පහය. අනෙක් අතට ගම්පහ බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවය.
ඔය අතර පොහොට්ටුව මහින්ද ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන ජනරැලි මාලාව ගම්පහින් ආරම්භ කරන්නට තීන්දු කෙරිණි. එම රැලි මාලාවේ පළමුවැන්න මහර ආසනයේ දී පැවැත්වීමට තීරණය කෙරිණි. ජනවාරි 06 වැනිදා එම රැලිය පැවැත්වීමට නියමිතය.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් පසුගිය දිනවල අසනීප තත්ත්වයකින් රෝහල්ගතව සිටියේය. ඔහුගේ සුවදුක් සොයාබැලීම සඳහා මහින්ද බදාදා ගියේය. සුවදුක් විචාරීමෙන් අනතුරුව සම්පන්දන් දිගින් දිගටම මහින්දට කියා සිටියේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙන ලෙසය.
"කිසිම හේතුවක් හින්දා අපි රට බෙදෙන යෝජනාවලියකට සහයෝගය දෙන්න සූදානම් නැහැ. ජීවිතය නැති වුණත් ඒ වගේ දෙයක් කරන්න අපිට පුළුවන්කමක් නැහැ" මහින්ද අවධාරණය කළේය.

පසුගිය සතියේ දිනක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල්ද එක්සත් ජාතික පක්ෂයෙන් අජිත් පී. පෙරේරාද පැමිණ සිටියහ. එහිදී බැසිල් පෙන්වා දුන්නේ මැතිවරණයක් කට උඩ තියාගෙන නිවාස අමාත්‍යාංශය රට පුරා නිවාස ණය බෙදමින් යන බවය.
"ඒක ඇත්ත. ලංකාව පුරා හැම දිස්ත්‍රික්කයකම මේක කෙරෙනවා. මේ ගැන හොයලා බලන්න" අජිත් පෙරේරා ද කියා සිටියේය.

තමන් දැරූ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලාන්සා පසුගිය සතියේ උඩුගම්පොළ පිහිටි ප්‍රසන්නගේ නිවෙසට ආවේය. ලාන්සා එනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකර ද එහි පැමිණ සිටියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තේරී පත්වූ මන්ත්‍රිවරුන් අට දෙනා අතරින් ලසන්ත අලගියවන්න හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හැරුණු විට අනෙක් සියලු මන්ත්‍රිවරුන් නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය වේ. ප්‍රසන්නගේ නිවෙසට පැමිණි ලාන්සා අනෙක් මන්ත්‍රිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මන්ත්‍රිවරුන් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. මැතිවරණ ව්‍යාපාරය
මෙහෙයවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. මෙම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය ඉහළින්ම ජයග්‍රහණය කළ යුතු බව ප්‍රසන්න අවධාරණය කළේය.

"අනෙක් හැම දිස්ත්‍රික්කයක්ම දිනුවත් වැඩක් නැහැ. ගම්පහ දිනවන්න බැරි නම්. ඒ හින්දා අපි ලොකු කැපකිරීමක් කරලා මේ ජයග්‍රහණය අත්පත් කරගන්න ඕනේ." ප්‍රසන්න පෙන්වා දුන්නේය.
"අද වෙනකොට රටේ ජනතාවගේ මතය තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධවයි. මේ ඡන්දෙදි ආණ්ඩු විරෝධී ඒ ඡන්ද එකතු කරගන්න පුළුවන් පක්ෂයකට ඉන්නේ අපි විතරයි" සිසිර පැවැසීය.
"මම ආණ්ඩුවේ හිටපු කෙනෙක් විදියට හොඳට දන්නවා ජනතාව මේ
ආණ්ඩුව ගැන හිතන හැටි. ඒ වගේම ආණ්ඩුව ජනතාව ගැන හිතන හැටිත් මම හොඳටම දන්නවා" ලාන්සා පැවැසීය.

මැතිවරණ නීති බලාත්මක කිරීම සම්බන්ධව දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
පැය දෙකකට ආසන්න කාලයක් තුළ පැවැති මෙම සාකච්ඡාවේදී තමා අලුතින් හඳුන්වාදෙන දැඩි මැතිවරණ නීති රීති පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ නියෝජිතයන් දැනුවත් කළේය.

මෙම මැතිවරණ සමය තුළ රජය, නිවාස ණය ලබාදීම සිදුකරන්න එපා. සමෘද්ධි කමිටුවල ක්‍රියාකාරිත්වයත් නතර කළ යුතුයි. මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පැවැසීය.
ආගමික ස්ථාන මුල්කර ගනිමින් සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්, පිළිබඳවද මෙහිදී අදහස් මතුවිය. එහිදී අදහස් දැක්වූ දේශප්‍රිය මහතා පැවැසුවේ මෙවැන්නකි.
මැතිවරණ අපේක්ෂකයන් ආගමික ස්ථානවල මේ දිනවල සිදුකරන ඇතැම් දේවල් ඡන්ද ප්‍රවර්ධනයට අනුබලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවලින්ද වළකින්න.
එහිදී නැඟුණු පැනයකට පිළිතුරු දෙමින් සිනාමුසු මුහුණින් දේශප්‍රිය මහතා පැවැසුවේ පින් කරන එකත් ලබන පෙබරවාරි දහයෙන් පසුවට තියාගත්තොත් වඩා හොඳයි යනුවෙනි. ඔහුගේ එම ප්‍රකාශයට රැස්ව සිටි පක්ෂ නියෝජිතයන් සියලු දෙනාටම පාහේ සිනහ පහළය.
විජේරාම පාරේ මහින්දගේ නිවෙස දැන් මැතිවරණය වෙනුවෙන් කාර්යබහුලය. පසුගිය සතියේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ විශේෂ රැස්වීමක් නිවසේ පැවැත්වෙමින් තිබිණි. ඊට රෝහිත
අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
සාකච්ඡාව පැවැත්වෙමින් ඇති අතරතුර මහින්දගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ඊට පිළිතුරු දුන්නේ ඔහුගේ ආරක්ෂකයා විසිනි. ඇමතුම ලබා දී තිබුණේ මොනරාගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.
මහින්ද ආරක්ෂක නිලධාරියාගෙන් දුරකතනය ලබාගෙන ඊට පිළිතුරු දුන්නේය. අනෙක් පසින් ඇසුණේ භක්තියෙන් පිරීගිය හඬකි.
" අනේ සර්... ඔබතුමාගෙ කටහඬ ඇහුණත් සතුටුයි සර්. මගෙ ඥාතියකුගේ මංගල්‍යයක් තියෙනවා. ඔබතුමා තමයි ඒකට අස්සන් කරන්න එන්න ඕන. ඒකට වෙලාවක් ගන්නයි සර් කතා කළේ. ඔබතුමා දන්නවනෙ මගෙ හැටි. මේ පාරත් අපේ පවුල්වල ඔක්කොම වැඩ කරන්නේ ඔබතුමාගෙ බුලත් කොළේට." කතාව අවසන් වන්නට ඉඩ දී මහින්ද කතා කළේය.

" ඉතින් මනුස්සයො... මාව දිනවන්න බුලත් කොළේට වැඩ කරලා හරියනවයැ. මං මේ පාර බුලත් කොළෙන් නෙවෙයිනෙ ඉල්ලන්නෙ. මං ඉල්ලන්නේ පොහොට්ටුවෙන්..."
" මගෙ අප්පේ අපේ සර්. හාංකවිසියක් දන්නෙ නෑ. මං දැක්කා තමයි පොහොට්ටුවෙනුත් කවුද ඉල්ලන්න හදනවා. ඒත් අපි හිතන් ඉන්නේ අපේ සර් තවම ඉල්ලන්නෙ බුලත් කොළෙන් කියලා."
මහින්ද දුරකතනය විසන්ධි කර තමන් ඉදිරිපිට ඉන්නා මැතිවරණ කමිටුව දෙස බැලුවේය.

මෙවර මැතිවරණ ව්‍යාපාරයට අලුත් රාජපක්ෂ කෙනෙකුත්
සම්බන්ධ වී සිටින්නේය. ඔහු රාජපක්ෂ පවුලේ බාල දරුවාය. රෝහිත රාජපක්ෂය. රෝහිත මැතිවරණ වේදිකාවේ දකින්නට කවුරුත් සිතුවේ නැත. ඒත් රෝහිත මෙවර මැතිවරණ වේදිකාවට ගොඩවී ඇත්තේය. ඒ ලබන 02දා ආරම්භ වන පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ රැලියේ වේදිකාව සරසන්නටය. වේදිකා සැරසිලි භාරව සිටින්නේ රෝහිත රාජපක්ෂය. ඔහු මේ වනවිට වේදිකාව සැරසිලි සැලසුම් කරමින් සිටින්නේය.
පහුගිය බදාදා පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේ දී පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ අවස්ථාවට බැසිල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, කුමාරසිරි හෙට්ටිගේ ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

" ආණ්ඩු විරෝධය පක්ෂ භේදයක් නැතිව උග්‍ර වෙලා ඇවිත්. මේ වෙනකොට ජනතාවට තියෙන එකම විකල්පය පොහොට්ටුව විතරයි කියන එක හැම තැනකින්ම ලැබෙන තොරතුරුවලින් පේනවා."
මහින්ද එසේ කියද්දී ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා මෙසේ කීවේය.
"තනතුරු, වරප්‍රසාද, බලතල පස්සෙ යන අයට යන එන මං නැතිවෙනවා. මටත් හොඳට දේශපාලන ගඳ සුවඳ දැනෙනවා. කැස්බෑව, බොරලැස්ගමුව නගර සභා දෙකම මේ පාර අපි ඉහළින්ම දිනන එක ඒකාන්තයි."
ලොකුගේගේ එම ප්‍රකාශයට අලගු තැබුවේ පවිත්‍රා වන්නිආරච්චිය. " අපේ අනෙක් පළාත්වල තත්ත්වයත් ගොඩක් හොඳයි. මිනිස්සු කියන්නෙ මහින්ද මහත්තයගෙ පින්තූරෙයි පොහොට්ටුවයි විතරක් අරන් ආවත් ඇති කියලා."

පවිත්‍රාගෙ කතාවට බැසිල් රාජපක්ෂ අඩුවැඩිය එක් කළේය. " යූ.එන්.පී එකයි, ශ්‍රී ලංකා එකයි, ජවිපෙයි, දෙමළ සන්ධානෙයි, මුස්ලිම් කොංග්‍රසයයි, ආණ්ඩුවෙම කොටස්කාරයො කියලා දැන් මිනිස්සුන්ට හොඳටම තේරිලා. ඒකත් අපට හුඟක් වාසියක්.
මෙය අසා සිටි කුමාරසිරි හෙට්ටිගේ ඊට තවත් ලුණු ඇඹුල් එක් කළේය.
" දැන් බලනකොට තනියම ඡන්දෙට ආපු එක ලොකු වාසියක්. ආණ්ඩුවෙ එකට ඉන්න ගමන් ශ්‍රී ලංකාකාරයො අපේ වේදිකාවට ආවනම් රැස්වීමක් පටන් ගන්න වෙලාවෙ ඉඳන් හූව තමයි අපට අහන්න වෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon