ක්‍රිකට් කරන වැරැදි වහගන්න මාධ්‍ය උපදේශකයකුත් කරළියට

  👤  3532 readers have read this article !
By mawbima 2017-03-21

සිරිනාම රාජපක්‍ෂ

කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමන්ත ‍ෙදාඩන්වල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයේ උපදේශකයකු ලෙස පත්කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේද සාමාජිකත්වය දරන ‍ෙදාඩන්වල මහතාට මෙම වගකීම පවරා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් බවද පැවැසෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව දිගින් දිගටම පළවන වාර්තා පාලනයකට ලක් කිරීම මෙවන් මාධ්‍ය උපදේශකයකු කරළියට ගෙන ඒමේ ප්‍රධාන අරමුණ බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කටයුතු භාරව මින් පෙර ක්‍රිකට් උප ලේකම්වරයකු පත්කර සිටියද එම කටයුතු අසාර්ථක වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ කටයුතු සම්බන්ධව අධීක්‍ෂණය කිරීමේ වගකීම ක්‍රිකට් ලේකම් සිල්වා මහතාට පැවරීමත් සමඟ මෙම වෙනස්කම් කිරීමට පියවර ගෙන ඇත. පසුගිය ක්‍රිකට් පාලන සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ සේවය කළ දෙදෙනකුගේ සේවය මේ වනවිට හත් දෙනකු යොදා ගනිමින් සිදුකළද මාධ්‍ය ඒකකයේ කටයුතු හතෙන් පංගුවකටත් වඩා අඩු තත්ත්වයකට පහළට වැටී තිබීම ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති මාධ්‍ය සම්බන්ධ අර්බුදයට හේතුව වී ඇත.

මීට අදාළව ආසන්නම කරුණු සලකා බැලුවහොත් ශ්‍රී ලංකා-බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට අදාළව මාධ්‍ය හැඳුනුම්පත් සකස් කිරීමේ සිට තරගයකට යොදාගන්නා මාධ්‍ය කුටිය දක්වා පහසුකම් සැලසීමේදී සිදු කෙරෙමින් පවතින කටයුතු පිළිබඳව කිසිදු ප්‍රමිතියක් නොමැත. ශ්‍රී ලංකාව තුළ පැවැති මින් පෙර තරගාවලියන්ට සාපේක්ෂව වර්තමාන තත්ත්වය ඉතාමත් අසතුටුදායකය. ඒ අතරිනුත් දෙවැනි ටෙස්ට් තරගය පැවැති ක්‍රීඩාංගණයේ මාධ්‍යවේදීන් සඳහා සලසා තිබූ සත්කාරයන් බංග්ලාදේශය වැනි රටක් ඉදිරියේ පවා හෑල්ලුවට ලක්වන ආකාරයේ ඉතා පහත් තත්ත්වයක තිබිණි. තරගයක් නිසි ලෙස දර්ශනය කරගැනීමට ඇති අපහසුතා, ඉඳුම් හිටුම් හා ආහාරපාන වැනි මූලික අවශ්‍යතාවන් පවා නිසි පරිදි සකස් කරදීමට ක්‍රිකට් ආයතනයේ මෙන්ම ක්‍රීඩාංගණ බලධාරීන්ද අසමත් වී තිබිණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන්ද දිගින් දිගටම ක්‍රිකට් ආයතනයට අහිතකර පුවත් මාධ්‍ය මඟින් පළවූ අතර, එම අහිතකර තත්ත්වයන් සමනය කරගැනීමට මෙවන් උපදේශකයකුද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයට අනුයුක්ත කිරීමට හේතුව බවද පැවැසේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබියදීත් එම තරග ආකෘතියම යොදා ගනිමින් මේ දිනවල පැවැත්වෙන දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය මාධ්‍යයෙන් වසන් කර පවත්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. ක්‍රිකට් විධායක කමිටුවේද අනුමැතියකින් තොරව පවත්වනු ලබන මෙම දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක ලියාපදිංචියක්ද සිදුවී නොමැති බව වාර්තා වන අතර, ප්‍රසිද්ධියට පත් ක්‍රීඩා සමාජ කණ්ඩායම් දිස්ත්‍රික් කණ්ඩායම් බවට නම්කර තරග පැවැත්වෙන බවද දැනගන්නට ඇත. මෙම තරගාවලිය පිළිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය විසින් මෙතෙක් නිකුත් කර නොමැත.

තවද ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය නමින් වර්තමානයේදී ක්‍රියාත්මක වන කණ්ඩායමකට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේම ක්‍රිකට් ක්‍රියාකාරීන් පිරිසක් පනවන ලද නඩුව අද (21දා) කොළඹ දිසා අධිකරණයේදී විභාග කිරීමට නියමිතය. 2016 පෙබරවාරි 27දාට යෙදී තිබූ ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වාර්ෂික මහා සභා රැස්වීමේදී නිලධාරීන් ලෙස පත්වූ පිරිස නිල වශයෙන් පිළිනොගැනීම මෙම අර්බුදයට හේතුව වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්