තලාව පාලම උඩදී ටිපර් දෙකක් මුහුණට මුහුණ ගැටී රියැදුරෙක් මරුට

  👤  3536 readers have read this article !
By mawbima 2017-03-21

වී හේන - අනුරාධ, අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය, නොච්චියාගම - ඒ. ඩී. යූ. කුමාර, අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පුත්තලම ත්‍රිකුණාමලය (අනුරාධපුර හරහා) ප්‍රධාන මාර්ගයේ 38 කණුව තලාව ඇළ පාලම මතදී ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ හැපී සිදුවූ මාරක රිය අනතුරකින් එක් ටිපර් රථයක් පැදවූ ගුවන් හමුදා විශ්‍රාමික සෙබළකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී අනෙක් ටිපර් රථය පැදවූ රියැදුරා හා එහි ගමන් කළ පොලිස් කොස්තාපල්වරයකු බරපතළ තුවාල ලබා ඊයේ (20දා) අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි.

පෙරේදා රාත්‍රියේ 11.50ට පමණ සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සන්දිකවැව කහටගස්දිගිලිය පදිංචිව සිටි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළකු වූ දිසානායක මුදියන්සේලාගේ කරුණාරත්න දිසානායක (55) යන අයයි. ඔහු පුත්තලම දෙස සිට කහටගස්දිගිලිය දෙසට ටිපර් රථය ධාවනය කර තිබෙන බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිසිය ප්‍රකාශ කරයි.

අනතුරෙන් පාද දෙකෙහිම අස්ථි බිඳී බරපතළ තුවාල ලබා සිටින අනෙක් ටිපර් රථයේ රියැදුරා හතරේ කණුව චීන වරාය ත්‍රිකුණාමලය පදිංචි අර්ශකුලරත්න ඇත්තනී සිරිල් ප්‍රනාන්දු (26) බව පොලිසිය පැවැසූ අතර ඔහු කළු ගල් පැටවූ ටිපර් රථය පුත්තලම දෙසට ධාවනය කර ඇත.

අනුරාධපුර 38 කණුව ප්‍රදේශයෙන් අනුරාධපුර හා නොච්චියාගම පොලිස් වසම බෙදෙන තලාව ඇළ පාලම මතදී ටිපර් රථ දෙක මුහුණට මුහුණ ගැටී පොඩි පට්ටම් වී තිබුණු බවත් මියගිය රියැදුරා ඉතා අපරික්ෂාකාරී අන්දමින් රථය පදවාගෙන පැමිණ ඇති බවත් තුවාල ලැබූ රියැදුරා අනතුර වළක්වා ගැනීමට හැකි උපරිම උත්සාහයක් දරා තිබෙන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

රථ දෙක මුහුණට මුහුණ ගැටී එකිනෙක ඇමිණී තිබූ බවත් බරපතළ තුවාල ලැබූ රියැදුරන් දෙදෙනා ඉන් පිටතට ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බවත් පොලිසිය සඳහන් කළේය. රථ දෙක එකිනෙක ගැටී ප්‍රධාන මාර්ගය අවහිර වීම නිසා ඊයේ (20දා) අලුයම වන තුරුම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතිණි.
මෙම අනතුරෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති අතර ඔහු රාත්‍රි රාජකාරි අවසන් වී යතුරුපැදියෙන් නිවෙසට ගොස් ඇති බවත් උළුක්කුලම ප්‍රදේශයේ වන අලින් සැරිසරන නිසා ඔහු යතුරුපැදිය මඟ දමා ටි්‍රපර් රථයෙන් නිවෙස කරා යද්දී මෙම අනතුරට ලක්වී අති බවත් වාර්තා වේ.

රිය අනතුර සම්බන්ධයෙන් බරපතළ තුවාල ලබා සිටින රියැදුරා අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසුවේය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර, උප පොලිස් පරීක්ෂක කේ. ආර්. කරුªණාරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon