රාජ්‍ය ආයතන විකිණීමේ දෙවැනි ඉනිම අරඹලා

  👤  3525 readers have read this article !
By mawbima 2017-03-21

ලාභ ලබන රජයේ ආයතන විකිණීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ කොන්දේසි වහාම රටට හෙළි කළ යුතු බව රාජ්‍ය සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය අභියෝග කරයි.

එම මධ්‍යස්ථානය කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතා මේ අභියෝගය කළේය.
රාජ්‍ය ආයතන විකිණීමේ පළමුවැනි ඉනිම අවසන් කර ඇති ආණ්ඩුව දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සූදානම් වන බවද හෙතෙම සඳහන් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.බී. රත්නායක මහතා

රාජ්‍ය ආයතන 34ක් විකිණීමට සූදානම් වන ආණ්ඩුව විශාල ලෙස ලාභ ලබන තවත් ආයතන 5ක් විකුණන්න හදනවා. ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජල සම්පාදන මණ්ඩලය, වරාය අධිකාරිය ඒ අතර වෙනවා. ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 9ක් ලාභ ලබනව කියලා විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියනවා. වරාය ලබන ලාභය බිලියන 10ක්. ඒකයි අපි අහන්නේ ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නෙ මොකද කියලා.

සුපිරි අමාත්‍යාංශය හරහා කරගන්න බැරි වූ දේ අගමැතිවරයා රවි කරුණානායක හරහා කරගන්න මේ වන විට උත්සාහ කරනවා. මේ ආයතන 5 විකුණන්න හදන්නේ අලුත්ම ගිවිසුමක් ගහලයි. රවි කරුණානායක හරහා මුදල් අමාත්‍යාංශය මේ රාජ්‍ය ආයතනවල කටයුතු අධීක්ෂණය කරන්න අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරලා. අගමැතිගේ වුවමනාවට තමයි මේ දේවල් වෙන්නේ.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා,

ආණ්ඩුව රටේ සියලු සම්පත් විකුණන්න පටන් අරගෙන. පොලිසිය, බන්ධනාගාරය, ත්‍රිවිධ හමුදාව හැර සියලු ආයතන පෞද්ගලිකකරණය කරයි. සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් නිසා ඒක ආරක්ෂා කරන්න විදේශ රටකට විකුණයි.

ආණ්ඩුව රාජ්‍ය භීෂණය ත්‍රස්තවාදය මුදා හැරලා මේ රටේ රාජ්‍ය සම්පත් විකුණන්නයි හදන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමක්කාරයන් කියන ආණ්ඩුවේ ඉන්න අයට අපි කියනවා කරුණා කරලා නිදහස් පක්ෂයට තියෙන අභිමානය විනාශ කරන්න එපා කියලා. ජනාධිපතිවරයා මේ විනාශයට සහාය නොදී ඊට එරෙහි වෙයි කියලයි අපි කල්පනා කරන්නේ. ජනාධිපතිවරයා මේ සඳහා කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමටත් අපි සූදානම්.

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්