ලිච්ඡවි රජදරුවන්ටත් මේ ආණ්ඩුව නින්දා කරනවා

  👤  3556 readers have read this article !
By mawbima 2017-03-21

යහපාලකයන් යැයි කියාගන්නා වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට කීවේ මේ රටේ ලිච්ඡවි පාලනයක් ඇති කරන බවයි. ලිච්ඡවි පාලකයන් අතීතයේදී සමඟියෙන් රැස් වුණා. සමඟියෙන් සාකච්ඡා කළා. සමඟියෙන් විසිර ගියා. මේ ආණ්ඩුවේ ලිච්ඡවි බෝඩ් ලෑල්ල එල්ලාගෙන ඒ නමටත් නින්දා වෙන වැඩයි කරන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන්ට අඩු තරමින් පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් දෙන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාව පාර්ලිමේන්තුවෙන් එළියට දැම්මා. ඊට පස්සේ කතානායකවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු රැස්වීමෙන් පිටවී ගියා. මේකටද මේ අය ලිච්ඡවි පාලනය කියා කියන්නේ. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු දහ හත් දෙනෙක් සිරගත කරලා. අපට පාර්ලිමේන්තු කමිටු රැස්වීමකට තැනක් ගන්න බැහැ. කරනවා කියා බලයට පැමිණි දේවල් මේ වන විට එකක්වත් කරලා නැහැ. මේ වන විට කර ඇත්තේ රජයේ මුදල් කාබාසිනියා කරපු එක විතරක් යැයි, ගාලු දිසා මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ බෙන්තොටදී පැවැසීය. හෙතෙම මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂ සංවිධානයේ රැස්වීමකට සහභාගි වෙමිනි.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

ලබන 25 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන මහා රැලිය වෙනුවෙන් මේ දිනවල අප පූර්ව ප්‍රචාරක කටයුතුවල නියැළී සිටිනවා. විරුද්ධ පක්ෂයේ සිටින විට මේ වෙනුවෙන් ප්‍රායෝගිකව පහසුකම් යොදා ගැනීම පහසුයි. මහින්ද රාජපක්ෂ මහතා යන්නේ කොතැනද සෙනඟ රැස්වන්නේ එතැනටයි. අප ආණ්ඩුවේ සිටින විට රාජ්‍ය බලය, යාන වාහන පහසුකම්, සේවක බලය ආදී හැම දෙයක්ම තිබුණත් ජනතාවත් සමඟ එකට සිටිමින් දේශපාලන ආත්ම ශක්තිය, ධෛර්යය ආදිය උරගා බැලිය හැක්කේ විපක්ෂයේ සිටින විටයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන දිනය වැඩි අෑතක නැහැ. දැන් යහපාලන ආණ්ඩුවට වසර දෙකයි. අවුරුදු පහක ආණ්ඩුවක් කිව්වාට ඒකාබද්ධ විපක්ෂය ඝන අඳුරු මැදියම තුළින් අරුණලු උදා කරගනිමින් සිටිනවා. පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අප පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා. මැතිවරණයෙන් පසු බෝඩ් ලෑල්ලක් පමණක් තබාගෙන සිටින අයගෙන් පක්ෂය ගන්න හැටි අප දන්නවා.

මැතිවරණ දිනන පරදින රටක් හැටියට මහින්ද මහතා පරදින විටත් ඔබ අපත් සමඟ රැඳී සිටිනවා. එතුමාගේ පරාජයේ සිට ඔබ අප සමඟ රැඳී සිටින ආකාරයටම ජයග්‍රහණයෙන් පසුවත් අප ඔබත් සමඟ රැඳී සිටිනවා. මහාවංසයේ අප රටේ සිටි විවිධ රජවරු විශාල වශයෙන් වැඩ කළ බව සඳහන් වෙනවා. දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, වළගම්බා වැනි රජවරුන් රටේ විවිධ කටයුතුවලදී දැවැන්ත වැඩ කොටසක් කර තිබෙනවා. ඒ රජවරු හැම දෙනාටම එහා ගිය ජන නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉතිහාසගත වෙනවා.

බෙන්තොට-ඇම්. මීගහපළ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon