ගමේ කෙල්ලො සෙට් වෙලා පික් පොකට් ගහන්න සාප්පු සවාරියට කොළඹට බැහැලා

  👤  1772 readers have read this article !
By mawbima 2017-04-16

බක්මහ වසන්තය සමඟම කොළඹ නගරය ජනතාවගෙන් පිරී යති. නන් දෙසින් ජනතාව කොළඹට පැමිණෙන්නේ අලුත් අවුරුද්දට අවශ්‍ය දෑ මිලදී ගැනීමටය.
මෙකී කාල සීමාවේ කොළඹ ගැවසෙන ජනතාවගේද මුදල් පසුම්බි සරුසාරය.
විශේෂයෙන් කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල යන ප්‍රදේශයන්හි පිහිටි රෙදි සාප්පු, කඩ සාප්පුවල බුරුතු ගණනින් ජනතාව පියමං කරන්නේ විශාල මුදලක් අතැතිවය.
එම නිසාම කොළඹ නගරවල මෙම කාල සීමාවේ සොර කල්ලි ගැවසීමද වැඩිය. විවිධ ආකාරයට වෙස්ගත් සොරුන් මංමාවත්වල, බස් රථවල, ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සිට ජනතාවගේ මුදල් පසුම්බි, රන් මාල සහ ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරා ගෙන පලා යති. මීට උදාහරණ ඕනැ තරම් කොළඹ පොලිසිවල පොලිස් පොත්වල ඇත.

එහෙත් මෙවර පොලිස් පොත් අලුත් කරමින් හොර කල්ලියක් වෙනුවට හෙර කල්ලියක් පිළිබඳ පුවතක් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙම හෙර කල්ලිය එසේ මෙසේ හෙර කල්ලියක් නොවෙති. ඔවුන් පැමිණ ඇත්තේ පුත්තලම, හලාවත ප්‍රදේශවලිනි.
ඔවුන් එක්තරා ජන කොට්ඨාසයකට අයත් වූවෝ වෙති. සමාජය විසින්ම කුලමල භේදයක් ඇති කර ඇති අතර ඊට අනුව මෙම පිරිස රොඩී සහ කුර්තන්ඩි යන හීන කුලයන්ට අයත් වූවන් යැයි නම් කර ඇත්තේය.
නයි නැටවීම, සාස්තර කීම වැනි කටයුතු කරමින් සිටින මෙම ජන කොට්ඨාසය දෙස අප සමාජයීය
දුෂ්ටිය වෙනස්ය.

කෙසේ නමුදු අප එම ජන කොට්ඨාසයද රත් පැහැ ලේ ඇති මනුෂ්‍ය කොට්ඨාසයට අයත් වේයැයි සිතා කතා කළද ඔවුන් විසින් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.
අලුත් අවුරුදු කාලය ඉලක්ක කර ගනිමින් හලාවත, පුත්තලම වෙසෙන මෙම තරුණියෝ පිරිසක් සොරකම අරමුණු කරගෙනම
කොළඹට පැමිණෙන්නට වූහ.
කොළඹ හතේ සල්ලිකාර නෝනලා මෙන් අලංකාර ඩෙනිම්වලින්, කොට සායවල්වලින් සල්වාර්වලින් සැරසුණු ඔවුහු මුදල් පසුම්බි සොරකම් කිරීම ගජරාමෙට සිදු කර ගෙන යති.

සමහර තරුණියන් මේකප් උලා රත්තරන් ආභරණවලින් සැරසී සිටින්නීය. ඔවුන් බස් රථවලට නැඟ මැදි වයසේ පසුවන පිරිමින්ට හේත්තු වෙමින්, ඉඟිබිඟි පාමින් ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ මුදල් පසුම්බි සොරා ගන්නීය.
විශේෂයෙන් මෙම තරුණියන් වැඩිපුරම ගැවසෙන්නේ මගීන් අධික බස් රථවල, ජනයා අධික ස්ථානවල සහ ජනාකීර්ණ රෙදි සාප්පු තුළය.
ඉකුත් දිනක මාර්ග අංක 154 අඟුලාන - කිරිබත්ගොඩ බස් රථයක ගමන් ගත් පොලිස් නිලධාරිනියකගේ මුදල් පසුම්බියක් අතුරුදන් විය. ඇය පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන නිලධාරිනියකි. ඇයගේ මුදල් පසුම්බියේ රුපියල් 7,000ක මුදලක් තිබිණි.
ඇයගේ මුදල් පසුම්බිය නැති වී හෝරාවක් යෑමටත් ප්‍රථමව මාර්ග අංක 154 බස් රථයකම ගමන් ගත් තවත් තැනැත්තකුගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට තැත් කළ තරුණියක් බස් රථයේ ගමන් ගත් මගීන් විසින් අල්ලා ගත්තේය.

එම තැනැත්තාද විශ්‍රාමික තැපැල් දෙපාර්තමේන්තු නිලධාරියෙකි. ඔහුගේ මුදල් පසුම්බියේද රුපියල් 6000ක මුදලක් තිබිණි.
මෙම සොරකම වැරදීම හේතුවෙන් ඇය ලබාදුන් තොරතුරු මත පොලිස් නිලධාරිනියගේ මුදල් පසුම්බිය සොරාගත් තරුණියද බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණි.
මොවුන් දෙදෙනා වයස අවුරුදු 21 සහ 23 හැවිරිදි වියෙහි පසුවන තරුණියන්ය. ඔවුන්ගේ කුලයේ සාම්ප්‍රදායට අනුව ඔවුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාත් ඉගෙන ගෙන නැත.

ඔවුන් දෙදෙනා සමඟ තවත් තරුණියන් 14 දෙනකු කොළඹට ගැට කැපීම සඳහා පැමිණි බවට අනාවරණය කර ගත් පොලිසිය එම තොරතුරු කොළඹ පිහිටි සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දුන්නේය.

බස්නාහිර පළාත භාර
ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ දකුණු කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය, සහකාර පොලිස් අධිකාරි ලකී රන්දෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රගති ලක්මිණි මහතාගේ උපදෙස් මත එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් සැරයන් ශිරානි (425) ඇතුළු පොලිස් කණ්ඩායම මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවති.

මෙවැනිම තවත් ගැට කපන්නන් සහ ගැට කපන්නියන් අවුරුදු සමය හේතුවෙන් කොළඹට පැමිණ ඇති හෙයින් මුදල් පසුම්බි ඇතුළු තමන්ගේ වටිනා භාණ්ඩ ගැන දැඩි අවධානයෙන් සිටින ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

චාමර අමරසූරිය
ඡායාරූපය - කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon