කොත්මලේ සෑ අවට කොත ගහලා කුණු දමන විනාසෙට වැට බඳින කවුරුත්ම නැති හැඩ

  👤  1681 readers have read this article !
By mawbima 2017-04-16

කොත්මලේ මහවැලි මහා සෑය, කොත්මලේ ජලාශයට ඓතිහාසික කොත්මලයේ පැරැණි විහාරස්ථාන 18ක් යටවීම හේතුවෙන් එවකට ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ඉදිකරන ලද්දකි. අනුරාධපුරයේ රුවන්වැලි මහා ස්තූපයට අඩි 2ක් උසින් අඩු මහවැලි මහා සෑය, වසර 1700කට පෙර ක්‍රි.ව. 274-301 කාලයේදී මහසෙන් රජු විසින් කරවන ලද ජේතවනාරාමය මහා ස්තූප නිර්මාණයෙන් පසු ලක් දෙරණ මත ඉදිවුණු විශාලතම නිර්මාණයයි.
කොත්මලේ ජලාශය ඉස්මත්තේ මුහුදු මට්ටමෙන් අඩි 3,500ක් පමණ උසැති පැරැණි කඩ‍ෙදාර ගම්මානයේ කඳු ගැටයක් මත ඉදිවුණු මහවැලි මහා සෑය කොත්මලයේ බොහෝ ප්‍රදේශවලට දිස්වන ආගමික වටිනාකමක් සහිත පූජනීය වස්තුවක් බවට පත්වී ඇත.

වසර 30කට අධික කාලයක් තිස්සේ කරන ලද ඉදිකිරීම් අවසාන වීමෙන් පසුගිය වසරේ ජුනි මාසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයෙන් පසු ලක්වැසි මහජනතාවගේ වන්දනාමාන සඳහා විවෘත විය.

මහවැලි සංස්කෘතික පදනම භාරය යටතේ මෙම චෛත්‍ය සංකීර්ණය පවතින අතර එහි අරමුණ වන්නේ මහා සෑය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. දැනට මෙම පදනමේ සභාපති, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පවතින මෙම මහා සෑය පරිශ්‍රයේ අනෙකුත් සියලුම වැඩකටයුතු නිම කිරීමට රුපියල් මිලියන 90ක් පමණ අවශ්‍ය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් දිනපතා දේශීය සංචාරකයන් විශාල පිරිසක් චෛත්‍ය වන්දනා කිරීමට හා නැරැඹීමට පැමිණීම සුලබ දර්ශනයකි. එයිනුත් සෙනසුරාදා හා ඉරිදා දෙදින තුළ බස් රථ සිය ගණනකින් 40,000ත් 50,000ත් අතර සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර ඔවුන්ගේ පැමිණීමත් සමඟ මහවැලි මහා සෑය ආශි්‍රත ප්‍රදේශයේ පාරිසරික ගැටලු රැසක් මතුවී තිබෙනු දක්නට ලැබේ.

මෙම චෛත්‍ය වෙත ළඟාවීමට කොත්මලේ ජලාශය නැරඹුම් මැදිරි ස්ථානයේ (ඍ පොයින්ට්) සිට කිලෝමීටර් 02ක් පමණ දුරට මාර්ගය කාපට් අතුරා සකස් කර ඇතත් සංචාරකයන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මූලික පහසුකම් සලසා නොමැති බව මේ පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි විය.
කඩ‍ෙදාර ගම්මානයේ කීප දෙනෙක් මෙසේ අදහස් ප්‍රකාශ කළහ.

"සතියේ සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල විශාල වශයෙන් දේශීය සංචාරකයන් බස්රථ හා වෙනත් වාහනවලින් සෑය වැඳපුදා ගැනීමට පැමිණෙනවා. අනිත් දවස්වලට පැමිණෙන්නේ සුළු පිරිසක්. මෙසේ පැමිණෙන පිරිසට අවශ්‍ය මූලික පහසුකම් තවම සකස් කර නැහැ. විශේෂයෙන් වැසිකිළි පහසුකම්, කෑම බීම ගැනීමට විශ්‍රාම ශාලාවල් ආදියද ජල පහසුකම්ද ප්‍රමාණවත් නැහැ. චෛත්‍යයට ඉහළින් තාවකාලික නැවතුම් ශාලාවක් පමණක් තිබෙනවා."
සංචාරකයන් රැගෙන එන කෑම බීම බස්රථවලදී හෝ ඒවායින් බිමට බැස එළිමහනේදී හෝ ගැනීමෙන් පසු එම කඩදාසි, පොලිතින් කවර, වතුර බෝතල් ආදිය දැමීමට සුදුසු ස්ථාන හෝ භාජන සපයා නොමැති බවද දක්නට ලැබිණි. විශාල පිරිසක් පැමිණෙන නිසා කඩ‍ෙදාර කොටගේපිටිය, කිතුල්බැද්ද ආදී ගම්වල පිරිස් තාවකාලික වෙළෙඳකුටි සකස් කර කෑම බීම හා අනෙකුත් ද්‍රව්‍ය අලෙවි කිරීමට පෙලඹී සිටිති. මෙසේ සකස් කරගෙන තිබෙන වෙළෙඳකුටි සංඛ්‍යාව 32ක් පමණ වේ. දැනට මෙම සංචාරක පිරිස්වල මූලික අවශ්‍යතා සැපයෙන්නේ මෙම වෙළෙඳ කුටිවලින් බවද පෙනී ගිය කරුණකි.
මේවායේ කොත්මලේ කිතුල් පැණි, හකුරු හා කිතුල් පිටි අලෙවි කිරීමට හැකියාවක් තිබෙන බවත්, ගම්වාසීන්ට සෑහෙන ආදායමක් උපයා ගැනීමට හැකි බවත් ඔවුන්ගෙන් දැනගන්නට ලැබිණි. දහස් ගණනක පිරිසක් දිනකට එක් රැස්වන අවස්ථාවක පරිසරයට නොයෙකුත් අපද්‍රව්‍ය එක්වීම වැළැක්විය නොහැකි බව වෙළෙඳ කුටි හිමියන් හා මහවැලි සංස්කෘතික පදනම් භාරයේ සේවකයෝද පවසති. එසේ වුවත් චෛත්‍යයේ මළුව ඇතුළත එක්රැස්වන ද්‍රව්‍යයන් දිනපතාම ඉවත් කරනු ලැබේ. එය අපහසු කටයුත්තක් වන්නේ සේවකයන් දෙතුන් දෙනකුට එම කටයුත්ත කිරීමට සිදුවීම නිසාය.

මහවැලි සංස්කෘති පදනම් භාරයේ සේවය කරන නිලධාරිනියන් මේ පිළිබඳ අදහස් දක්වමින් පැවැසුවේ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය මෙම කසළ ඉවත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවයි. මේ සඳහා කොත්මලේ ප්‍රාදේශීය සභාව මැදිහත් විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

මේ හැරුණු විට දිවයිනේ දුරබැහැර සිට පැමිණෙන සංචාරකයන්ට හා බැතිමතුන්ට කොත්මලේ මහවැලි මහා සෑය පිළිබඳ මූලික තොරතුරු හා ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ තොරතුරු ඇතුළත් පොත්පත්, සටහන් පත්‍රිකා ආදිය ලබාදීමට නොහැකිවීම බලවත් අඩුපාඩුවක් බවයි. එසේ වුවත් දැනට මේ ගැන මහවැලි සංස්කෘතික පදනමේ අවධානය යොමුව තිබෙන බවද ඔවුහු පැවැසූහ.

සංචාරකයන් පැමිණෙන බස් රථ හා වෙනත් වාහන නවතා තැබීමට චෛත්‍ය මළුවෙන් පිටත තාවකාලික ස්ථානයක් සකස් කර ඇතත් වර්ෂාව පවතින අවස්ථාවලදී එය මඩ සහිත බිමක් බවට පත්වේ. එම ස්ථානයේ කසළ දමන භාජන සවිකර නොමැති බවද දක්නට ලැබිණි.

කිසිම සැලකිල්ලක් නොමැතිව අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම බහුලව දක්නට ලැබෙන්නේ මහවැලි මහා සෑයට පිවිසෙන මාවෙල-උලපනේ මහා මාර්ගයේ ජලාශ නැරඹීමේ මැදිරිය ආශි්‍රත කොටසේය. මෙම ස්ථානයේ ස්ථිර වෙළෙඳසල් ගණනාවක්ම තිබෙන අතර ඒවායේ එක්රැස්වන අපද්‍රව්‍ය හා සංචාරකයන් වාහනවලින් පිටතට දමන ද්‍රව්‍යයන් විශාල වශයෙන් මාර්ගයෙන් පහළට විසි කර තිබෙනු දක්නට ලැබේ. එම ද්‍රව්‍යයන් වර්ෂාවට සේදීගෙන ගොස් කොත්මලේ ජලාශයට එකතුවන බව පැහැදිලිව දැකිය හැකිය.
මහවැලි සංවර්ධන මණ්ඩලයේ සේවකයන් මේ ගැන පවසන්නේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයෙන් සොයා බැලීමක් හා පාලනයක් නොමැති නිසා මේ තත්ත්වය උදාවී ඇති බවය. කොත්මලේ ජලාශය නැරඹුම් මැදිරියට අයිති කොටසේ දිනපතා එක්රැස්වන සියලුම ද්‍රව්‍යයන් එකතු කොට එම භූමියෙහි කපා තිබෙන විශාල වළකට දමා පුලුස්සා දැමීමටත්, පස් දමා වසා දැමීමටත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත. එම වැඩපිළිවෙළ නිසා නැරඹුම් මැදිරි පරිශ්‍රය ඉතා පිරිසුදුව, දැකුම්කලු අයුරින් පවතී.

කොත්මලේ මහවැලි මහා සෑය සංවර්ධන පදනමේ අනුශාසක, මහවැලි මහා සෑය හා තිස්පනේ සුදර්ශනාරාම විහාරාධිපති කොත්මලේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.

"මහවැලි මහා සෑය ආශි්‍රත ආගමික කටයුතු දැනට හොඳින් සිදු කෙරෙනවා. ප්‍රදේශවාසී දායකයන් හා උපාසක පිරිස් දානමාන අවශ්‍යතා අඩුවක් නැතිව සපයනවා. මහා සෑය සංවර්ධන පදනමේ සභාපති නවීන් දිසානායක ඇමැතිතුමා අවශ්‍ය කටයුතු සිදුකරනවා. සොයා බලනවා. සෑය වන්දනා කිරීමට පැමිණෙන පිරිසට අවශ්‍ය වන විශ්‍රාම ශාලා හා වැසිකිළි පහසුකම් සපයා දීමට කටයුතු ආරම්භ කර තිබෙනවා."

කොත්මලේ ජලාශය ඉදි කිරීමෙන් රටේ ජාතික සංවර්ධනයට දායකත්වයක් ලැබුණත් කොත්මලේ සමාජය ජලාශයත් සමඟ ගිලී ගිය බව විද්වතුන්ගේ අදහසයි. ආගමික වස්තූන්ද ජලාශයට යටවිය. කොත්මලේ මහවැලි මහා සෑය ඉදිකෙරුණේ එසේ යටපත්වුණු සාමාජික, ආගමික, සංස්කෘතික වටිනාකම යළි ඉස්මතු කර පෙන්වීමටයි. එබැවින් මහවැලි මහා සෑය ආශි්‍රත අඩුපාඩුකම් සම්පූර්ණ කොට, පරිසර හිතකාමී බවක් ගොඩනඟා එම අරමුණු ඉටු කරදීම වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේත්, පරිසර අමාත්‍යාංශයේත් වගකීම බව කාරුණිකව පෙන්වා දෙමි.

ජයතිස්ස මල්දෙණිය
කොත්මලේ 'මව්බිම' ප්‍රාදේශීය මාධ්‍යවේදී
මල්දෙණිය-හැටන් හරහා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon