ඇත්ත මොකද්ද වග කියන්නේ කවුද වී ගිලින අලි දැක දැක ගොවියෝ සුසුම්ලති

  👤  1752 readers have read this article !
By mawbima 2017-04-16

අම්පාර - ධනුෂ්කා දිල්හානි
අතීතයේ 'අඹාර' නමින් හැඳින් වූ අම්පාර නගරයේ වැසියන් අතීතයේ සිට තම ජීවනෝපාය කර ගත්තේ වාරි කර්මාන්තය ආශි්‍රත වී ගොවිතැනයි. එදා පැරැණියෝ ඇළ මාර්ග සහ අතු ගංගා හරස් කර අමුණු බැඳ වී ගොවිතැන් කිරීමට පුරුදු වූහ. එදා අක්කර 26,000ක් පමණ වූ ප්‍රදේශයක් වගා කරමින් ආරම්භ වූ මෙම වී ගොවිතැන අද වන විට මහා පරිමාණ අස්වනු නෙළා ගන්නා තරමට ව්‍යාප්තව පවතී.
සිංහල, මුස්ලිම් හා ද්‍රවිඩ ජාතීන් යන සියලුම ජාතීහු මහ වනය සුද්ද පවිත්‍ර කරමින් කුඩා කෙත් යායවල් සකසමින් අහස් දියෙන් ජලය ලබා ගනිමින් වගා කළහ.
අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුමාරිගම ගම්මානයේ අහිංසක ජනතාවගේද ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ වී ගොවිතැනයි. ඔවුන් තම දිවි රැක ගැනීමට උදේ හවා වෙහෙස මහන්සි වන්නේ තම කුඹුරේ අස්වැන්න ඉතාමත් සාර්ථක ලෙස නෙළා ගැනීමටයි. එසේ නෙළා ගන්නා වී ගම්මානයේ ගබඩාවට ලබා දෙන්නේ තම අතමිට කාසි මල්ලකින් පොදි බැඳගනී.
ගම්වැසියන්ගෙන් ලබා ගන්නා වී උහන කුමාරිගම ගම්මානයේ වී ගබඩාවෙහි තැන්පත් වේ. ගම්මානය පුරා ඝන වනාන්තරයෙන් වට වී තිබීම නිසාත්, වනාන්තරය මිනිසුන්ගේ විවිධ ක්‍රියාකලාපයන් නිසා එළිපෙහෙළි වීම නිසාත් එහි වෙසෙන වන සතුන්ට නිදහසේ වනයෙහි ජීවත්වීමට දැන් අපහසු තත්ත්වයක් උදා වී තිබේ. මේ හේතුව නිසාම වන අලින් කැලයෙන් ගම්මානවලට ආහාර සොයා එන්නට පටන් ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් නොව විවිධ පළාත්වල ගම්මානවලට මෙසේ වන අලින් කඩා වැදීමට පටන් ගෙන ඇත.

එවැනි තත්ත්වයක් පසුගිය දිනෙක උහන කුමාරිගම ගම්මානයෙන් වාර්තා විය. එක් වතාවක් දෙවතාවක් නොව ‍ෙදාළොස් වතාවක්ම වන අලින් විසින් අහිංසක ගම්වැසියන්ගේ වී තොග ගබඩාව කඩා දමනු ලැබ තිබිණි. වීවලට මෙන්ම ගබඩාවටද හානි කරනු ලැබ තිබිණි. මෙසේ
‍ෙදාළොස්වැනි වතාවටත් පැමිණි වන අලින් තිදෙනකු මෙවරද අලුයම් කාලයේ ගබඩාවෙහි ප්‍රධාන ‍ෙදාරටුව සම්පූර්ණයෙන්ම කඩා ගබඩාව තුළට ගොස් වී ගෝනි 3ක් පමණ ආහාරයට ගෙන ඇත.

ගබඩාවෙහි අලින් සිටින අයුරු ඒ අසලින් ගමන් ගත් වනාරක්ෂක නිලධාරීන් දැක අලින් පන්නා දමා ඇත. පසුගිය වසරේදී අවස්ථා 2කදී මෙම ගබඩාව අලින් විසින් කඩා දමන ලදී.

වරක් දෙවරක් නොව මෙපමණ කාලයක් මෙසේ වන අලින් විසින් කරනු ලබන මෙම විනාශය ඉහළ බලධාරීන් දැක නැතිවා නොවේ. එසේ වුවද මේ වනතුරුත් මෙම ගබඩාව ආරක්ෂා කිරීම සඳහා පියවරක් නොගත් බව පවසමින් ගම්වැසියෝ කනගාටුවට පත්ව සිටිති.

"මේ වන විට ‍ෙදාළොස් වතාවක් වී ගබඩාව කඩලා තියෙනවා. නමුත් ගබඩාව ආරක්ෂා කර ගන්න වී අලෙවි මණ්ඩලයෙන්වත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්වත් පියවරක් ගත්තේ නැහැ. ඒක නිසා වී කන්න පුරුදු වෙලා ඉන්න අලි කොහොම හරි ගබඩාව හොයාගෙන එනවා. මෙතැන ඉන්න මුරකාරයාටවත් මුර කුටියක් නැහැ. අලි එද්දි මිනිහා ගහකට නඟිනවා. අවස්ථා කීපයකදී අලි ‍ෙදාර කඩලා දැම්මේ බාගෙට. මේ ගමන ‍ෙදාර සම්පූර්ණයෙන්ම කැඩුවා. ඉදිරි කන්නවලදී වී ගබඩා කළත් අලි මේ ගබඩාව කඩනවා. ඒක නිසා මේ ගබඩාව රැකගන්න වී අලෙවි මණ්ඩලය පියවර ගත යුතුයි. ගබඩාවට අලි එන එකෙන් ගමටත් ආරක්ෂාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සොයා බලා මෙම අලි එළවීමට කටයුතු කරන්න ඕන" යනුවෙන් කුමාරිගම 12 බී සංවිධානයේ සභාපති සී. කුමාර මහතා පැවැසීය.

"මේ ගබඩාවේ තිබුණු වී සියල්ලම නිකුත් කළා. නමුත් සම්බා වී කිලෝ 1,60,000ක් පමණ මෙහි තිබ්බා. එයින් කිලෝ 600ක් විතර වගේ නරක් වෙලා තියෙනවා. අනෙක් වීවලට කිසිම හානියක් වෙලා නැහැ. අවස්ථා 12ක් මේ ගබඩාව අලි කැඩුවා කියන එක බොරුවක්. මේ ගබඩාව අලි කඩලා තියෙන්නේ අවස්ථා 5යි. මේ ගමන අලි කඩන අවස්ථාව වන විට අපි ගබඩාව ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන තිබුණේ. මේ සඳහා මිලියන 3ක් වෙන් කරලා තියෙනවා. මේ අලුත්වැඩියාව සමඟ ගබඩාව ආරක්ෂා කරන්න වැටකුත් ගහනවා" යැයි වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ආර්.එම්. රත්නායක මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon