සපත්තු 'රිපෙයාර්' ජීවිතේ 'නෝ වෙයාර්'

  👤  1677 readers have read this article !
By mawbima 2017-04-16

ඔවුන්ට වෘත්තීය අරගල නැත. පිහිටුවා ගත් සංවිධාන හෝ යුනියන් නැත. ඇත්තේ අව්ව වැස්ස දෙකට ඔරොත්තු දෙන
අධිෂ්ධානශීලී හිතක් පමණයි. සපතේරුවා. එහෙමත් නැත්නම් පාවහන් අලුත්වැඩියා කරන්නා. ඔවුන්ගේ දිවිය තුළ වැඩිපුර රැඳී ඇත්තේ කඳුළ හා සුසුම පමණ දෝයි සිතන වාර අනන්තයි. එහෙම හිතෙන්නේ ඒ ජීවිතවලට එබී බලන විටයි.

අවශ්‍යතාවට පමණක් හැරී බලා එළැඹෙන හැම මොහොතකදීම පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් වටිනාකමක් තමන්ට ලබා දෙන්න ලොබ බඳින මේ සමාජය පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ වෛරයක් නම් නෙවෙයි. ඔවුන්ට ඇත්තේ අහිංසක බලාපොරොත්තු කීපයක් පමණයි.

මාතර බෝ සමිඳු අසල පිහිටුවා ගත් කුඩා අට්ටාලයක දෛනික රාජකාරියේ යෙදෙන සපතේරුවන් පස් දෙනා මාතර නගරයට යන එන හැමට හරි පුරුදුයි. මාතර මහ නගර සභවෙන් ලබාදී ඇති කුඩා කුටිවලට වී මඟතොට සැරිසරන මිනිසුන්ගේ ගැලවෙන සපත්තු යුගලට ඇලවෙන ගම් ගාන ඔවුන්ගේ සෙලවෙන ජීවිත ගැන කියූ කතාවයි මේ.
"මම දහයේ පන්තියට යනකම්වත් ඉගෙන ගත්තා කියලා මට මතක නෑ. අපේ අම්මලා තාත්තලාට අපි හොඳින් උගන්වලා ඉහළට යවන්න වුවමනාවක් තිබුණේ නෑ. තුන් වේලටම කන්න දුන්නා. පොතක් පැන්සලක් අරන් දුන්නා ඉගෙන ගනින් කියලා."

මේ කතාව කියන්නේ සුගත් උදය කුමාර.
"දවල්ට පාසල ඇරුණම ගෙදර එන්නේ රෑට. පිට්ටනිවල, ලඳු කැලෑවල ඇති තරම් රිංගනවා. අධ්‍යාපනයේ අගයක් තේරුණෙත් නෑ. අම්මා තාත්තා ගැන වටිනාකමක් දැනුණෙත් නෑ. නමුත් සල්ලි හොයන්න නම් විවිධ වැඩ කළා. නීති විරෝධී වැඩ නම් නොවේ."
ඒත් උදයට වැඩි කාලයක් මේ විදියට සල්ලි හොයන වැඩේ කරන්න බැරි වුණා. අම්මා තාත්තා ‍ෙදාස් කිව්වේ හරිහමන් රස්සාවක් හොයා ගන්න කියලයි. ඔහු
කොළඹට ආවේ ඒ කතා ඉවසන් ඉන්න බැරිව.
"ඒ 1980 ගණන්වලදී. කැලණියේ තිබුණා රජයට සම්බන්ධ උළු ෆැක්ටරියක්. ඒකෙ මට රස්සාව ලැබුණා.
අවුරුදු කීපයක් රස්සාව ආසාවෙන් කළත් ප්‍රේමදාස මහත්තයාගේ පාලන කාලයේදී මේ ෆැක්ටරිය වැටුණා. රුපියල් 20,000ක් වන්දි විදියට ලැබුණා."
ඒ මුදලත් අරන් උදය 1989දී නැවත මාතර ඇවිත් කුලී වැඩ කළත් මාළු වෙළෙ¼දාමේ ගියත් ලැබූ තෘප්තියක් නම් නැහැ. මාතර වීරසූරිය ගොඩනැඟිල්ල අසල ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු සපත්තු සෙරප්පු මහනවා දැක්කේ ඔය අතරෙදියි. උදයත් එතැනට කිට්ටු වුණා.

"මමත් අත් උදව් දුන්නා. උදේ ඉඳන් හවස් වෙනකම් එතැන හිටියා. හවසට රුපියල් 50ක් ලැබුණා. මෙතැනදි මට හිතුණා මේ වැඩේ මමත් පොඩියට පටන් ගන්න ඕනි කියලා." පොඩි ලෑලි තට්ටුවක් ගහලා සෙරප්පු සපත්තු මහන වැඩේ පටන් ගත්තේ අව්ව වැස්ස දෙකෙන්ම හොඳටම බැට කමින්.
පාරෙ අයිනේ ඉන්න දෙන්න බෑ කියලා වෙලාවකට පොලිසිය අපිව එළවනවා. විවිධ බාධා ආවත් මම මගේ වැඩේ ගෙන ගියා. දවස පුරා මහමඟ නිසා පාර තොටේ සිදුවන දේවල් නිතරම ඇහැ ගැහෙනවා. මාල කඩනවා, මුදල් පසුබිම් සොරකම් කරනවා. මේ හැමදේම දකිනවා. සමහර දවසට ඒ හොරු පස්සේ පන්නන් ගිහින් ඒවා අරන් නැවත හිමිකරුට ලබා දෙනවා. අපිට හිමි නැති දෙයක් අපි ගන්නෙත් නෑ. තව කෙනෙක්ට ගන්න දෙන්නෙත් නෑ. නමුත් අපි මොන තරම් වැදගත් විදියට ඉන්න හිතුවත් මේ සමාජයෙන් අපිට ලැබෙන සැලකිලි නම් හරිම අඩුයි.

මේ කුටිවලට මාසිකව රුපියල් 1400ක මුදලක් මාතර මහ නගර සභාවට ගෙවන්න ඕනි. වැඩ නැති වුණත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. නමුත් අපි කොහොම හරි අපේ ජීවිත ගැට ගහගන්නම්. කරන එකම ඉල්ලීම අපිත් මේ සමාජයේ මිනිස්සු කියලා හිතන්න කියන එකයි."
කන්දයියා ගනේෂන් මේ රස්සාව කරන්න පටන් අරන් අවුරුදු දහයක් වෙනවා. කරන්න පුළුවන් කියලා හිතුණු බොහෝ රස්සා කරලා අන්තිමට කන්දයියා නතර වුණෙත් මෙතැන.

"මිනිසුන්ගේ මතයක් තියෙනවා අපි කරන්නේ බොහොම පහත් රැකියාවක් කියලා. සමහරු අපි දිහා බලන්නේ
පිළිකුලෙන්. ඇයි කාටවත් හිතන්න බැරි මේකත් සේවයක් කියලා. වැඩ කුලියක් බලාගෙන මේ දේවල් කළත් සමහර අවස්ථාවල මුදල් අය කරගන්නැතුව ඒ වැඩේ අවසන් කරලා දෙන සංවේදී හිතකුත් අපිට තියෙනවා. සමහරු අපිට ‍ෙදාස් කියනවා අපි මූණ බලලා මුදල් අය කරනවා කියලා. කෙනෙකුගේ තරාතිරම බලලා වැඩ කුලිය ලබා ගන්න අපිට අවශ්‍ය නැහැ. සමාජයෙන් මේ දුර්මතය ඉවත් වෙනවා නම් ඒක හරි වටිනවා."

පී. එම්. සිරිපාල මේ වෘත්තියෙන් කෙතරම් බැටකා ඇති අයෙක්දැයි හිතුණෙත් ඒ අත් දෙක දැක්කමයි. දෙඅතෙහි සෑම ඇඟිල්ලකම ඉදිකටුව ඇනී සිදුවූ තුවාල සුව වී තිබුණද ඒ ගොරහැ¾ඩි බව නොඇල්ලුවත් දුටු පමණින් හිතට දැනෙනවා.
"මොන තරම් මහන්සි වුණත් හවසට හරිහමන් ආදායමක් අතට එන්නේ නැහැ. අවුරුදු 20ක ඉඳලා මේ ජීවිතය මෙහෙමම තමයි. කිසිම වෙනසක් නැහැ. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා ලොකු මිනිස්සු කරන්න අපි ආසයි."
මේ මාතර සපතේරුවාගේ කතාව පමණක්ම නෙවෙයි, ලංකාවේ හතර කොන සිටින පීඩිත පන්තිය නියෝජනය කරන සියලුම මිනිසුන්ගේ කතාවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon