ගෝල්ෆේස් දුන්නේ බැසිල් - රනිල් ඩීල් නිසා

  👤  1712 readers have read this article !
By mawbima 2017-04-16

මැයි දිනයට ගෝල්ෆේස් පිටිය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම හරහා එජාපය හා ඒකාබද්ධය අතර ඩීල් එකක් සිදුවන බවට ඔබ චෝදනා කළා. ඇත්තටම මොකක්ද මේ ඩීල් එක?

ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සේ කිසිදු රැස්වීමකට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පවතින ආණ්ඩුවේ රැස්වීම් සඳහා හෝ ගෝල්ෆේස් පිටිය ලබා නොදීමට තීරණය කළා. ගෝල්ෆේස් පිටිය ජනතාවගේ විනෝදය සඳහා තියෙන තැනක් විදියට තමයි නම්කර තිබුණේ. ඒත් වත්මන් අගමැතිතුමා ඒ සාධක නොසලකා ගෝල්ෆේස් එක ඒකාබද්ධයට ලබාදී තිබෙනවා.

ඔබතුමා ඊට විරුද්ධයි. ඒකයි ඩීල් කතාව එන්නේ?

මම ඒකට විරුද්ධ නැහැ. හැබැයි ගෝල්ෆේස් පිටිය ලබාදුන්නේ අගමැතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත. ඒක ඔයගොල්ලන්ගේ 'මව්බිම' පත්තරෙත් තිබුණා. මාධ්‍ය හරහා යන තොරතුරු බොරු වෙන්න බැහැ. වාසුදේව නානායක්කාර මැතිතුමා ළඟදී දවසක කියා සිටියා අගමැති සහ ජනාධිපති අතර යම් ගැටුමක් ඇති වුණොත් ඒකාබද්ධයේ අය ලෑස්තියි ජනාධිපතිතුමා ළඟ හිටගන්න කියලා. ඒත් පසුගිය දවසක බැසිල් මහතා කියලා තිබුණා කොයි ප්‍රශ්නයකදී වුණත් ඒකාබද්ධය ජනාධිපතිතුමා ළඟ හිටගන්නේ නැහැ කියලා. එතකොට ඒ අය හිටගන්නේ අගමැතිතුමාගේ පැත්තේ. මේ කාරණා දෙස බැලුවම අගමැතිතුමා ගෝල්ෆේස් පිටිය ලබාදුන් කාරණාව ඇත්ත.
මාධ්‍ය හරහා ගිය තොරතුරු මතයි ඔබ කියන්නේ ඩීල් එකක් තියෙනවා කියලා.

මම හිතනවා මාධ්‍ය තොරතුරු ඇත්ත කියලා. මොකද වාසුදේව මහත්තයා සහ බැසිල් මහත්තයා කියලා තිබුණ ප්‍රකාශ දෙස බලන විට ඩීල් එකක් කියලා ඔප්පු වෙනවා.
මේ සාධක ඔප්පු කරන්න කිව්වොත් කොහොමද කරන්නේ ?

මාධ්‍ය හරහා එක එක දේවල් එක එක වෙලාවට කියන්න බෑනේ. මාධ්‍ය හරහා වාර්තා වෙන්නේ ඇත්ත කියලයි මම හිතන්නේ. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතා සහ අගමැතිතුමා අතර ඩීල් එක ඔප්පු කරන්න දෙයක් නැහැ. ඔප්පු වෙලා ඉවරයි. පසුගිය දිනෙක රාත්‍රියේ බැසිල් රාජපක්ෂ මහතාත් එජාපයේ අයත් වෝටර්ස් එජ් හෝටලයේ සාකච්ඡාවක් කළා පළාත් සභා මැතිවරණය පරණ මනාප ක්‍රමයට තියනවා කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඉල්ලීමක් කරලා තිබුණා ඒ වෙලාවේ පරණ මැතිවරණ ක්‍රමයට එනවා නම් ඒ අය අනිවාර්යයෙන්ම අලුත් පක්ෂය හදනවා කියලා.

ඔබ කොහොමද ඒක දන්නේ ?

මම මේ කාරණා ඊළඟ ශ්‍රී ලනිප රැස්වීමේදී කිව්වා, මට මේක ඔප්පු කරන්න පුළුවන් කියලා. ඕන නම් ඔප්පු කරන්නම් කිව්වා. සුමානයක් ගියේ නැහැ. එජාපය, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා, ජවිපෙ ඔක්කෝම පාර්ලිමේන්තුවේදී කිව්වා අපි දැන් මැතිවරණ ක්‍රමයට යන්න ඕන පරණ මනාප ක්‍රමයට කියලා.
ජවිපෙත් මේකට හවුල් ද?

නැහැ. ජවිපෙ දිගින් දිගටම ඒක කිව්ව දෙයක්. ජවිපෙ මුල ඉඳලම කිව්වේ මේ වෙලාවේ පරණ ක්‍රමයට මැතිවරණය තියන්න කියලයි. නමුත් මේ මැතිවරණ ක්‍රමය හදපු බැසිල් මහත්තයාලම අද කියනවා පළාත් පාලන ඡන්දය පරණ ක්‍රමයට තියන්න ඕන කියලා. ඒ වගේම බැසිල් මහත්තයාට විරුද්ධව පැමිණිලිවලට කෝ නඩු. ඊට වඩා පොඩි චෝදනාවක් තියෙන විමල් වීරවංශ මැතිතුමාට ඇප නැහැ. බැසිල් මහත්තයා කවදාවත් රිමාන්ඩ් එකට යන්නේ නැහැ. ගෙවන වාට්ටුවේ හිටියේ. ඒ වගේම ඒකාබද්ධයේ ඉඳන් අගමැතිතුමා ගැන වචනයකින්වත් විවේචනය නොකරන අය ජනාධිපතිතුමාව පළුයන්න විවේචනය කරනවා. අගමැතිතුමා සමඟ ඉන්න සමහර අයට ඇප ලැබෙන කොට බැසිල් මහත්තයාගේ මතයේ නැති අයටත් ඇප නැහැ. එහෙම තත්ත්වයකුත් තියෙනවා. ඩීල් එක පැහැදිලියි. ඒක තහවුරු වුණේ ගෝල්ෆේස් පිටිය දීපු එකත් එක්ක.
ගෝල්ෆේස් පිටිය දුන්න එකට තරහා නැත්නම් ඇයි මේ විවේචන ?

විවේචන නෙමේ. ඇත්ත කිව්වේ. ගෝල්ෆේස් පිටියේ අඩුපාඩු ඇති ජලපහසුකම් සපයා ඊට පස්සේ පිටිය දෙන්න කියලයි මාධ්‍ය හරහා වාර්තා වී තිබුණේ.
ගෝල්ෆේස් පිටිය දේශපාලන රැස්වීම්වලට නොදෙනවා නම් ජනාධිපතිතුමාට මේකට මැදිහත් වෙලා නවත්වන්න පුළුවන් නේද ?
මෙතන තියෙන්නේ ගෝල්ෆේස් එක දුන්න එකට විරෝධයක් නෙමේ. ඒක දුන්න එක හොඳයි. ගෝල්ෆේස් එක ජවිපෙ හරි. ටී. එන්. ඒ. එකට හරි ජනාධිපතිතුමා දුන්නා නම් කියයි අන්න ජනාධිපතිතුමා ඩීල් එකක් දාලා ගෝල්ෆේස් එක දුන්නා කියලා. ගෝල්ෆේස් එක දුන්නා කියලා මාධ්‍යවල ලොකුවට වැටෙයි. ඒ වගේම මේ පක්ෂවලට අගමැතිතුමා ගෝල්ෆේස් එක දුන්නා නම් ඒකාබද්ධය හැම මාධ්‍යයක් හරහාම ඩීල් එකක් කිය කියා කෑ ගසනවා. ඔය මාධ්‍ය හරහා සාදන දේශපාලන සමීකරණය වැරැදියි. අපි ඒක තේරුම්ගන්න ඕන.
මොකක්ද හරි දේශපාලන සමීකරණය ?
අපි බලන්න ඕන ගෝල්ෆේස් එකේද වැඩි මහනුවරද වැඩි කියන එක නෙමේ. මහනුවර එකතු කිරීම ගෝල්ෆේස් එක එකතු කරලා කැම්බල් එකට වඩා වැඩිද කියන එකයි. ගියපාර කිරුළපන එකතු කිරීම ගාල්ල කැම්බල් එකට වැඩි වෙන්නයි තිබුණේ වැඩි වුණා. ඒකයි හරි සමීකරණය. හැබැයි ගෝල්ෆේස් එක ලබාදීම තුළ පැහැදිලි ඩීල් එකක් තියෙනවා කියා පැහැදිලියි.

ගෝල්ෆේස් එකට ලක්ෂ 20ක් ගෙන එනවා කියා ඒකාබද්ධය කියනවා. ගෝල්ෆේස් එකට එච්චර දාන්න පුළුවන්ද ?

බැසිල් මහත්තයා කියනවා වර්ග සමීකරණයක් හදලා ගෝල්ෆේස් එකට දාන්න පුළුවන් එක්ලක්ෂ දස දහසයි කියලා. එතුමා කියන විදියට ලක්ෂ 2ක් ආවොත් 90 දාහක් ඉන්න ඕන මහපාරේ. බන්දුල ගුණවර්ධන මහතා කියනවා ලක්ෂ 20ක් කියලා. එහෙම නම් ඒ ජනතාව දෙහිවල ගල්කිස්ස මොරටුවටම යන්න වෙනවා. ගීතා කුමාරසිංහ මහත්මිය ලක්ෂ 5ක් කියනවා. හැබැයි බැසිල් මහත්තයාට මොනවා නැතත් ගණන් පුළුවන්නේ. ඒකයි මේ අයව තේරුම් ගන්න බැරි.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා කියන විදියට ඔවුන් මැයි දිනයට එන්නේ අරලියගහ මැඳුරයි ජනාධිපති ලේකම් කාර්යාලයයි වටලන්න කියලා?

එහෙම නම් මේ අය අරලියගහ මැඳුර පැත්තට තමයි දාන්න වෙන්නේ. ඒ අය ගණන් හිලව් පටලාගෙන ලොකු විහිළුවක් කරගෙන. ඒක විතරක් මැයි දිනයේ තේමාව දන්නේ නැතුව ප්‍රසන්න මන්ත්‍රීතුමා කියන කතාවක්. එතුමා මැයි දිනය තේරුම් අරන් තියෙන්නේ එහෙමයි. මැයි දිනය ආවේ කොහොමද. ඉතිහාසය ගැන බලන්න ඕන, ඒක හරියට මක්කමින් බෝ පැළයක් ගෙනාවත් ප්‍රසන්න මන්ත්‍රීතුමාට මොළය දෙන්න බැහැ කියන එක ඔප්පු වෙන තැනක්. මක්කමින් බෝ පැළයක් ගේන එක ලේසියි. ඒත් ප්‍රසන්න මන්ත්‍රීතුමාට බුද්ධිය දෙන්න බැහැ.

ජනාධිපතිතුමා තමන්ගේ බලය හරියට ක්‍රියාත්මක නොකිරීම මත සමහර අකටයුතුකම් සිදුවෙනවා කියා මතයක් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ ?

මේ රටේ ජනවරම ලැබුණේ ජනාධිපතිතුමාට. පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයටයි අපටයි ජනවරමක් ලැබුණේ නැහැ. පැහැදිලිව අද තියෙන්නේ එජාප ආණ්ඩුවකුත් නෙමේ, ශ්‍රී ලංකා ආණ්ඩුවකුත් නෙමේ. මේක සම්මුතිවාදී ආණ්ඩුවක්. තනි බලයක් ලැබුණේ ජනාධිපතිතුමාට. එතුමා තම බලතල අඩුකර ගනිමින් තමන්ට තියෙන බලයවත් පාවිච්චි නොකර හොඳින් කටයුතු කරනවා. හිටපු මහ බැංකු අධිපතිතුමාට රෙඩ්කාඩ් පෙන්නුවා වගේ තවත් එවැනි ආයතන තිබෙන තැන්වලට රෙඩ් කාඩ් පෙන්වන්න ඕන.

ජනාධිපති කොමිසම පත්කළ නිසා විශාල වංචා දූෂණ හෙළි වෙනවා. මේකට ඔබ එකඟද?

ඔව්. ජනාධිපතිතුමා කොමිසම පත්කළ නිසා ගොඩක් තොරතුරු එළියට ආවා. කෝප් එකේදිවත් හෙළිදරව් නොවුණු දේවල් ගොඩක් හෙළිවුණා. බැඳුම්කරයෙන් හොරකම් කරලා විතරක් නෙමෙයි හොරා හොරකම් කරන්න ඉස්සර බැඳුම්කර මිලදී ගන්නත් අරගෙන තියෙන්නේ මහජන මුදල්. මුන් හොරකම් කරලා අපේ ඇඟේ තියෙන ඇඳුම් ගලවලා ඇඟේ තියෙන අවයවත් කපා ගන්නයි හදලා තියෙන්නේ. ඒ නිසා මූ හොරෙක් නෙමෙයි කම්බ හොරෙක්.

ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවනවා කියා ජනාධිපතිතුමා කියා තිබුණා. කවදද? වෙසක් පෝය දෙකකින්ද හතරකින්ද ?

ජනාධිපතිතුමා මේ ගැන කුරුණෑගල සම්මන්ත්‍රණයේදී කිව්වා. ගියපාර මැයි දිනයේදී කිව්වා. පැහැදිලි ලෙස ශ්‍රී ලනිප ආණ්ඩුවක් අපට හදන්න පුළුවන්. ඒ 2020දී. ඒක වෙසක් පෝය දෙකකින් බැහැ. වෙසක් පෝය හතරකින් විතර තමයි පුළුවන්. වයසට යන කොට පෝය දෙක හතර පැටලෙනවා. ඒක වයසට යන විට වෙන සාමාන්‍ය සිද්ධි. අපටත් ඒක වෙන්න පුළුවන්. හැබැයි වෙසක් පෝය හතරකට ඉස්සර වෙසක් පෝය දෙකකින් හරි එකකින් හරි ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්. එක ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ අගමැති හා ඇමැතිවරු වෙනස් කිරීමෙන්. එය කළ හැකි එකම කෙනා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පමණයි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon