බැඳුම්කර වංචාවේ මුදල් ආයෝජනයද? අපයෝජනයද?

  👤  1612 readers have read this article !
By mawbima 2017-04-16

හොරා කාපු සල්ලිවලින්
මාධ්‍ය ආයතන පටන් ගැනීම වැරැදියි

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් හොරා කාපු සල්ලි මොන ව්‍යාපාරයට යෙදෙව්වත් ආයෝජනය කළත් වැරැදියි. ඒවා මාධ්‍ය ආයතන ආරම්භ කිරීම හෝ මාධ්‍ය ආයතනවලට යෙදවීම අතිශය වැරැදියි. ජනතා මුදල් හොරා කාලා ඒ මුදල්වලින් මාධ්‍ය පවත්වාගෙන යනවා කියන්නේ ඒ මාධ්‍ය ආයතන ජනතාව පැත්තෙ නෙමෙයි හොරු රකින පැත්තෙ ඉන්නෙ. ජනතාව නොමඟ යවන්න බිහිවන ආයතන විදිහට තමයි සැලකෙන්නේ.
ඒ මාධ්‍ය ආයතනවලින් ජනතාවට සත්‍ය දැනගන්න ඉඩක් නෑ. සත්‍ය වසන් කිරීමක් පමණයි වෙන්නේ. මේ හරහා සිද්ධවෙන්නේ සමාජය නොමඟ යැවීමක්.

බැඳුම්කර පුවත්පත් වර්ජනය කරන්න ඕනෑ

මම නම් කියන්නෙ ජනතාවගෙ මුදල් මංකොල්ලකාපු සමාගමක් පටන් ගත්ත පුවත්පත මිලදී ගැනීම වර්ජනය කළ යුතුයි. දූෂණ විරෝධී කිසිම පුරවැසියකුට, රටට ආදරය කරන කිසිම පුද්ගලයකුට පුළුවන්කමක් නැහැ රුපියල් 20කට එම පුවත්පත මිලදී ගෙන රට විනාශ කරන පාපකර්මයට අතගහන්න. ලංකා ඉතිහාසයේ පමණක් නොවෙයි දකුණු ආසියාවෙම නැහැ ජනතා මුදල් වංචා කරල පත්තරයක් පටන් අරගෙන.
මේ මුදල් වංචා කරල තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින ජනමතය සුදු කර ගන්න. එවැනි පත්තරයක් මිලදී ගෙන රට විනාශ මුඛයට ඇද දමන මේ පාපකර්මයට අතගහන්න එපා කියලයි මම කියන්නේ.

පොදු දේපළ වංචා කරල මාධ්‍ය ආයතන
පටන් ගැනීම
නරකයි

මම මුලින්ම ජනතාවට පැහැදිලිව කියන්න කැමැතියි ලංකාවේ මාධ්‍ය ආයතනවල සුජාතභාවයක් නැහැ. පැහැදිලිවම මාධ්‍ය ආයතනවලට සහතිකයක් දෙන්න බැහැ. බොහෝ ආයතන නීති විරෝධී ව්‍යාපාරවලට සම්බන්ධයි. පාරිශුද්ධ මුදල්වලින් මාධ්‍ය පටන්ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයනව වගෙයි.
එකක් කියන්න ඕනි. ජනතාවගේ පොදු දේපළ වංචා කරල මාධ්‍ය ආයතන පටන් ගන්නවට කැමැත්තක් ඇත්තෙම නැහැ. ඒ මුදල් ජනතාවට ලැබිය යුතුයි. ව්‍යාපාරවලට යොමු නොකළ යුතුයි. බුදු දහමේ එන මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි, ඒ පන්සිල් පදයට ගරු කරල ලංකාවේ මාධ්‍ය ආයතන ගැන කිව්වේ ඇත්තමයි.

ඔය මාධ්‍යවේදීන් උපයන මුදලින් දුවා දරුවන්ට කන්න දෙන්න පුළුවන්ද?

පැහැදිලිව බැඳුම්කර ගනුදෙනුවෙන් හම්බකර ගත් කෝටි ගණනක මුදල්වලින් රටේ ජනතාව ණයකරුවන් බවට පත් කරලා පටන් ගත් මේ කළු සල්ලිවලින් ආරම්භ කරපු මාධ්‍ය ආයතන වගේම ඒ පුවත්පත් මිලට ගන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම ශ්‍රී ලනිපය හැටියට අපි අද තීරණයක ඉන්නවා. සම්මුඛ සාකච්ඡා දීම පවා අපි කරන්නෙ නෑ. එහෙම කළොත් නරක පූර්වාදර්ශයක් වෙනවා.

අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. මොන යුගය ආවත් වැඩක් නෑ. ඒ ආකාරයෙන් අපි මේක අත්හරින්නෙත් නෑ. අපි ඒ මාධ්‍යවේදීන්ටත් කියනවා ඒ උපයන මුදල්වලින් තමන්ගේ අම්මා තාත්තාට දරුවන්ට කන්න බොන්න දෙන්න පුළුවන් සදාචාරයක් තියෙනවාද කියලා හිතන්න ඕනෑ. ඔවුන්ට වැදගත් මාධ්‍ය ආයතනයක කටයුතු කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.

දේශප්‍රේමී ජනතාව දේශද්‍රෝහී ක්‍රියාව පරාජය කළ යුතුයි

නව ආණ්ඩු බිහි කරන්න, පවතින ආණ්ඩු බලයෙන් පහ කරන්න විතරක් නෙමෙයි රට තුළ සිදු වූ බරපතළම මූල්‍ය වංචාව වසන් කරමින් ඊට සුදු හුනු ආලේප කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කළ පුවත්පතේ පටු පරමාර්ථ රටේ සියලුම ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි. රට ගැන කැකෑරෙන හැඟීමක් ඇති දේශප්‍රේමී ජනතාව මේ දේශද්‍රෝහී ක්‍රියාදාමය පරාජය කළ යුතුවෙනවා. මේක හොර පත්තරයක්, කැලෑ පත්තරයක්. මේ හරහා රටේ ජනතාව තුළ වැරැදි මතයක් ගොඩනඟන්න උත්සාහ කරනවා. මේ රටේ වගකිව යුතු උදවියගෙ පූර්ණ අනුග්‍රහය මැද තමයි මේ පත්තරේ පටන් ගත්තෙ.

ජනතාව ජාවාරම් මාධ්‍ය ආයතන රැකිය යුතු නෑ

කෙටියෙන්ම කියනවා නම් මේක රටට ද්‍රෝහී වූ යහපාලන ආණ්ඩුවේ හොරණෑවක් පමණයි. රටේ ජනතාවට සෙත සලසන, සැබෑ මතවාදය, ආණ්ඩුවේ වංචා හෙළිකරන්න උත්සාහ කරන පත්තරයක් නෙමෙයි මේක. ජනතාව මේ බව තේරුම් ගත යුතුයි. ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල බලයට ගේන්න මහ මැතිවරණයේදී වික්‍රමසිංහ දිනවන්න මහා මූල්‍ය වංචාවක් කළ අර්ජුන් මහේන්ද්‍රන් කටයුතු කළා. විශාල මුදලක් වැය කරල ඉතිරි මුදලින් තමයි මේ මාධ්‍ය ආයතන පටන් අරගෙන තියෙන්නේ. ඊනියා මෛත්‍රි - වික්‍රමසිංහ හවුල තවදුරටත් බලයෙ තියාගන්න තමයි මේ මාධ්‍ය ආයතනය පටන් ගත්තේ.
දැවැන්ත ලෙස රටට ද්‍රෝහී වන මේ වෑයම පරාජය කිරීම ජනතාවගේ වගකීමක්. ඒ නිසා කිසිදු ලෙසකින් ජනතාව මේ ජාවාරම් මාධ්‍ය ආයතන රැක ගැනීමට සහාය නොවිය යුතුයි.

අපි කිසිදු සම්මුඛ
සාකච්ඡාවක්
දෙන්නේ නෑ

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ඉපයූ මුදල්වලින් අද මාධ්‍ය ආයතන මිලට ගන්නවා. පුවත්පත් ආරම්භ කරලා තියනවා. බැඳුම්කර කොල්ලය තමයි මේ රටේ සිදුවූ භයානකම මුදල් කොල්ලය. විශාලම චෞර ක්‍රියාව. මේ මුදල්වලින් පවත්වාගෙන යන නඩත්තු කරන කිසිම ජනමාධ්‍යකට කිසිදු සම්මුඛ සාකච්ඡාවක් දෙන්නෙ නෑ. ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය ඒකමතික තීරණයකට ඇවිත් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මං අනෙකුත් මගේ සහෝදරයන්ටත් මෙය දැනුම් දෙනවා.

වංචා කළ මුදල්
රජය සතු කරන්න ඕන

බැඳුම්කර වංචාව හරහා සිදුවන මේ සෑම සිද්ධි දාමයක් ගැනම ජනතාව අවබෝධයෙන් සිටිය යුතුයි. වැරැදිකරුවන්ට දඬුවම් දීල වංචා කළ මුදල් රජය සතු කර ගත යුතුයි. මේ කිසිදු දෙයක් මම අනුමත කරන්නේ නැහැ. වංචා කළ මුදල්වලින් පත්තරයක් හෝ මොනයම් ව්‍යාපාරයක් ආරම්භ කරල තියෙනව නම් ඒක වැරැදියි. පාලිත තෙවරප්පෙරුමට නම් මේ ගැන නෙමෙයි රට ගැනත් කතා කරන්න කිසිවක් නැහැ. බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තුව තුළත්, නීත්‍යනුකූලවත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඉන් පස්සේ මේ හැමදෙයක් ගැනම බලාගන්න පුළුවන්.

වංචාවට අනුබල දුන් අයයි වැරැදි කරල තියෙන්නේ

මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නෙ කාගේ මුදල්වලින්ද කියල මම දන්නෙ නැහැ. කවුරු මාධ්‍ය ආයතන පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ මූල්‍ය වංචාවලට අනුබල දුන් මිනිහගෙයි වැරැද්ද වෙලා තියෙන්නෙ. ඒ අයටයි දඬුවම් කරන්න ඕන. මාධ්‍ය ආයතන පටන් ගත්තට දැන්ම ඒකෙ ගුණ ‍ෙදාස් කියන්න බැහැ. කරගෙන යන විදිය ගැන බලන්න වෙනවා. දැනට තිබෙන ඇතැම් මාධ්‍ය ආයතනත් හරියටම වැඩ කරන්නෙ නැහැ. ලෝකයේ මාධ්‍ය ඒ රටවල් ඉදිරියට ගෙන යනවා. ඒත් ලංකාවේ එහෙම නැහැ. දැන් විවිධ මාධ්‍ය ආයතන මුදල් තිබෙන අය මිලදී ගන්නවා. ආණ්ඩුවේ මාධ්‍ය ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා සී. එන්. එන්. වැනි මාධ්‍ය අපට අවශ්‍යයි. ඒත් ඒවට රජයේ මුදල් වංචා කරල අරගෙන තිබෙනව නම් ඒවට වගකියන්න ඕන ව්‍යාපාරිකයන්ට වඩා අනුබල දුන් අයයි. වැරදි කරල තියෙන්නේ ඒ අයයි.

ඔය මාධ්‍ය අඩපණ කිරීම ජනතාවගේ වගකීමක්

බැඳුම්කර මගඩිය රටේ ආන්දෝලනයට ලක් වූ කාරණාවක්. කෝටි දහස් ගණනක් රජයට පාඩු සිදු වුණා. ඒ මුදල්වලින් අනෙකුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් අති විශාල මුදල්වලින් මිලදීගෙන තිබෙනවා. මේක ස්වාධීන හා සාමාන්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල හානියක්. මාධ්‍ය ගැන ජනතා විශ්වාසය පලුදු වෙනවා. මේ අය ජනතාවගේ විශ්වසනීයත්වය පලුදු කරනවා. බුද්ධියට නිගා කරනවා. මේ වගේ තවත් වංචාවන් ඉදිරියට යා නොදී වැළැක්වීම සෑම කෙනාම කළ යුතුයි.
සැබෑ තොරතුරු මේ මාධ්‍යවලින් සමාජය විකෘති කරනවා. මේවා අඩපණ කිරීම ජනතාවගේ වගකීමක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon