ලාබයි කියූ ක්‍රිකට් බාල වූ හැටි

  👤  1859 readers have read this article !
By mawbima 2017-04-16

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ලෝක ක්‍රිකට් කිරුළ හිමිකර ගෙන වසර 21ක් ගෙවී යන මේ මොහොතේ මෙරට ක්‍රිකට් ප්‍රජාව තමන්ගේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්නේ එතරම් සතුටකින් නොවේ. එයට හේතුව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව තුළ මෙන්ම හතරේ සීමාවෙන් පිටතද සිදුවන හා සිදුකෙරෙන බොහෝ ක්‍රියාකාරකම් නිසාය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවක් ඇතැයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කරවන පාලකයන් කුමන ආකාරයේ මතයන් පළකළද ක්‍රිකට්වලට ළැදි බහුතරයක් දෙනා එකී දියුණුව උරගා බැලීමේ මිනුම් දණ්ඩ බවට පත්කරගන්නේ ලබාගන්නා ක්‍රිකට් තරග ජයග්‍රහණය නම් සාධකයයි. ඒ අනුව අඩු ජයග්‍රහණයන් ලැබීම හෙවත් වැඩි පරාජයන් ප්‍රමාණයක් ලැබීම එම රටෙහි ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවක් නැතැයි යන්න බොහෝ දෙනාගේ අදහසයි. එම අදහස යථාර්ථයක් නොවුණද ක්‍රීඩාලෝලීන් අතර පැලපදියම් වී ඇති එම සිතිවිල්ලේ වරදක්ම නැත. හේතුව රටක ක්‍රිකට්වලට අදාළව යටිතල පහසුකම් සහ පරිපාලන රටාව කොතරම් දියුණු වුවද අවසන් ඵලදායිතාව ලෙස ලැබෙන හතරේ සීමාව තුළ ක්‍රිකට් තරග ජයග්‍රහණ නැත්නම් ඉන් ඵලක් නොමැත. ඒ නිසා ක්‍රිකට් යහපාලනය වගේම ජාතික ක්‍රිකට් කණ්ඩායම වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීම දක්වා මෙහෙයවීම ක්‍රිකට් පාලකයන්ගේ වගකීම මුසු වූ කටයුත්තකි.

එසේ නොවුණ හොත් ක්‍රිකට් ලාභ ලබා ඇතැයි හෝ ක්‍රිකට් දියුණු වෙලාය යන ප්‍රකාශවලින් ක්‍රීඩාලෝලීන්ට ඇඟට දැනෙන සෙතක් නැත.
ඒ බව තේරුම් ගන්නට නොහැකි පාලකයන්ගෙන්ද වැඩක් වන්නේ නැත. කෙසේ වෙතත් ගෙවී ගිය දශකයක පමණ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය දෙස බැලුවහොත් පෞද්ගලික බල අරගලයන් මැද්දේ වුවද ක්‍රිකට් මෙතරම් මට්ටමෙන් හෝ රැකුණේ ක්‍රීඩාව කරන අයගේ දක්ෂතා හා කැපවීම් නිසාත් මෙන්ම වෙනත් ක්‍රීඩාවන්ට සාපේක්ෂව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වටා සංසරණය වන යහපත් මූල්‍යමය වටපිටාවක් නිසාය. එම මූල්‍යමය ශක්තිය තවදුරටත් පවතින්නේ හෝ වර්ධනය වන්නේද ක්‍රීඩකයන් ජාත්‍යන්තර වශයෙන් පෙන්වන දක්ෂතා පාදක කරගෙනය. තවත් විදියකින් කිවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් හම්බ කරදෙන ප්‍රධාන කොටස්කරුවා ක්‍රීඩකයන්ය. එමෙන්ම ක්‍රිකට් ආයතනයට වැඩි ආදායමක් ලැබීමට නම් වැඩි ජයග්‍රහණයන් ලබා වැඩි ජනප්‍රියත්වයට පත්විය හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු විය යුතුය.
එවැනි කණ්ඩායමක් පැවැතීමට නම් දක්ෂ ක්‍රීඩකයන්ද ඊට ඇතුළත් විය යුතුය. ඒ නිසා එවන් ක්‍රිකට් ක්‍රීඩකයන් සෑදීමේ, තෝරාගැනීමේ හා කළමනාකරණය කිරීමේ වගකීම ඇත්තේද ක්‍රිකට් පාලකයන් අතේය. නමුත් එවන් අයුරින් කටයුතු කළේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වත්මන් තත්ත්වයන් උරුම වන්නේ නැත. අද වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ශේ‍ර්ණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි. තවද එක්දින කණ්ඩායම් අතර 6 වැනි තැනටත් විස්සයි-20 කණ්ඩායම් අතර 8 වැනි තැනටත් ශ්‍රී ලංකාව පත්ව ඇත.

එසේම ගෙවී ගිය මාස 12ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරග 13න් 6ක් ජය ගෙන 6ක් පරාජය වී එක් තරගයක් ජය පැරැදුමෙන් තොරව අවසන් කර සිටියද මෙම කාලය තුළ තරග වැදුණු එක්දින තරග 25න් ජයගෙන ඇත්තේ 7ක් පමණි. විස්සයි-20 තරග ගත් විටද ගෙවී ගිය වසරක කාලයේදී සහභාගි වූ තරග 11න් 6ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වී ඇත.

තවද ගෙවුණු මාස 12 තුළදී ශ්‍රී ලංකාවේදී තරග කළ ටෙස්ට් තරගාවලියන් ගත් විට ඕස්ට්‍රේලියාවට එරෙහිව 3-0ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාවට බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නොහැකි විය. මෙකී කාලයේදී මෙරට තුළදීම පැවැති එක්දින තරගාවලි දෙකම ජය ගැනීමට නොහැකිවූ (තරග 7න් 5ක්ම පරාජය වී) ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි 2ද (තරග 4න් 3ක්ම පරාජය ලබා) ජය ගැනීමට අපොහොසත් විය.

මෙකී ප්‍රතිඵල අතරින් මෙරට ක්‍රීඩාලෝලීන්ට ඇඟට දැනෙන ලෙස අයහපත් ප්‍රතිඵල අත්වූයේ පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියෙනි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරටට පැමිණි බංග්ලාදේශ පිලක් තරගාවලි තුනෙන්ම අපරාජිතව ගෙදර ගිය අවස්ථාව උදාවිය. ටෙස්ට්, එක්දින හා විස්සේ තරග රටා තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට රිදෙන්නට ප්‍රතිඵල අත්කර දුන් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රතිවාදීන් ඉදිරියේ සරල ක්‍රම අනුගමනය කරමින් නැඟී සිටි අතර ඔවුන්ට ගුරුහරුකම් කියා දුන්නේ ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුවකු වූ සරල මිනිසෙකි. තවත් විදියකින් කිවහොත් ශ්‍රී ලංකාවට එපා යැයි ඉවතට දැමූ පුහුණුකරුවෙකි. එසේම ඔවුන්ගේ කණ්ඩායමේ අභ්‍යාසක තනතුර දරන තවත් ශ්‍රී ලාංකිකයකු සමඟ ඔවුන්ගේ පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයද සංකීර්ණ එකක් නොවීය.

එහෙත් ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ විට කළමනාකරුවෝ වර්ග තුනකින් තුන්දෙනෙක් සිටිති. සංචාර කළමනාකරුවෙක්, කණ්ඩායම් කළමනාකරුවෙක් හා අතිරේක කළමනාකරුවෙක් යනුවෙන් වැටුප් ලබන කළමනාකරුවන් තිදෙනෙකි. ඊට අමතරව පුහුණු කරන කාර්ය මණ්ඩලයද අතේ ඇඟිලි ගණනටත් වැඩිය. මෙම තත්ත්වය අද වනවිට වඩාත් සංකීර්ණ වී ඇත්තේ කළමනාකරුවා කවුද..? පුහුණුකරුවා කවුද..? තේරීම් කමිටු සාමාජිකයෝ කවුද..? යන්න බැලූ බැල්මට සිතා ගැනීමට අපහසු නිසාය. තරගයකට පෙර ක්‍රීඩාංගණයක් තුළ පුහුණුවන ශ්‍රී ලංකා පිල දුටු විට "කෝකියන් වැඩි වී සුප් එක සවුත්තු වුණා" යන කතාවද සිහියට නැඟෙයි.

ප්‍රශ්නය වන්නේ තරගයකින් හෝ තරගාවලියකින් පරාජය වීම නොවේ. පරාජය වන ආකාරයයි. එනම් බංග්ලාදේශයට එරෙහිව කවදා හෝ ටෙස්ට් තරගයකදී පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය හැකි වුවත් ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගයේදීම එම අවස්ථාව ලබාදීමෙන් එම තරගය පරාජය වූ ආකාරයත් මෙතරම් මෙහෙයුම් බළකායක් සිටින ශ්‍රී ලංකා පිලට නොවටිනා තරම්ය. තවත් පැත්තකින් බැලූ විට වියදම් කළ තරමට ඵලදායිතාවක් නොලැබූ වසරක් ලෙසද පසුගිය සමය හැඳින්විය හැකිය. එසේම විවිධ තනතුරු සාදා පුද්ගලයන් පත්කළ තරමට යහපත් ප්‍රතිඵලයක් නොලැබූ කාලයක් ලෙසද මෑත කාලය පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් අනිසි වියදම්වලින් හානියක් නොදැනෙන්නට තරම් ක්‍රිකට් ආයතනය වෙත මුදල් ගලා ඒමද නාස්තිය පිළිබඳව ඇති විවේචනවලින් ගැලවෙන්නට ඇති එක් කඩතුරාවකි. උදාහරණයක් ලෙස කිවහොත් මීට වසර 5කට පෙර අස්සන් කරන ලද ශ්‍රී ලංකා - ඉන්දියා ක්‍රිකට් සංචාරයකට අදාළව රූපවාහිනි විකාශන අයිතිය විකිණීම වෙනුවෙන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 25කි. ඒ අනුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මුදල් ලැබෙන පළියටම පුද්ගලයන් නඩත්තු කරන්නට කටයුතු නොකර රටේ ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තු කරන්නට වැඩි අවධානය යොමුකළ යුතුය.

සිරිනාම රාජපක්ෂ
ඡායාරූප - නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon