මහජන සහාය ප්‍රමාණවත් නෑ: ත්‍රි’මලේ ඩෙංගු රෝගය මර්දනය කිරීම හරිම අමාරුයි

  👤  1368 readers have read this article !
By mawbima 2017-04-13

ත්‍රිකුණාමලය - ඉන්ද්‍රචාප ලියනආරච්චි

මහජන සහාය නොලැබීම හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම අපහසු වී ඇතැයි මැලේරියා මර්දන මූලස්ථානයේ රෙජිස්ට්‍රාර් වෛද්‍ය එන්. සරවනභවන් මහතා කියයි.
වෛද්‍ය සරවනභවන් මහතා එසේ කියා සිටියේ ඩෙංගු රෝගය පැතිරයෑම පාලනය කිරීම පිළිබඳ මහජන සහාය ලබා ගැනීමේ අරමුණින් ඉකුත් 10 වැනිදා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සරවනභවන් මහතා කියා සිටියේ, මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3438ක් වාර්තා වී ඇති අතර රෝගීන් 15 දෙනකු මියගොස් ඇති බවයි.

වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ හා මිය ගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයෙනි. කින්නියා ප්‍රදේශයෙන් රෝගීන් 1344ක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 09කි. ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් රෝගීන් 787ක් වාර්තා වී ඇති අතර මියගොස් ඇත්තේ එක් රෝගියෙකි.
උප්පුවේලි ප්‍රදේශයෙන් රෝගීන් 602ක් වාර්තා වී ඇති අතර එකදු මරණයක් හෝ වාර්තා වී නොමැත. මුතූර් ප්‍රදේශයෙන් රෝගීන් 528ක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 01කි. කුරුංඥන්කේනි ප්‍රදේශයෙන් රෝගීන් 177ක් වාර්තා වී ඇති අතර 03 දෙනකු මියගොස් තිබේ. කුච්චවේලි ප්‍රදේශයෙන්ද රෝගීන් 21ක් වාර්තා වී ඇති අතර එක් අයකු මියගොස් ඇති බව හෙතෙම කියා සිටී.
නොසැලකිලිමත්කම හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 500කට අධික පිරිසකට නඩු පැවරීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බොහෝ නිවාසවල වැඩි වශයෙන් භාවිතයට නොගන්නා අමතර වැසිකිළිත්, වසා දමා ඇති නිවාසත්, ශීතකරණහි පිටත වෑස්සුම් ජල රඳවනවල ඩෙංගු මදුරුවන් බෝවීමට වැඩි වශයෙන් බලපා ඇති බව වෛද්‍ය සරවනභවන් මහතා පෙන්වා දෙයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය මේ වන විට පාලනය කර ඇතත්, විටින් විට තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තාවීම සිදු වන්නේ මහජන සහාය හරිහැටි නොලැබීම හේතුවෙන් බව මෙහිදී කියැවිණි. දහවල් කාලයේ වසා ඇති නිවාස පරීක්‍ෂා කිරීමේ බලයක් අදාළ නිලධාරීන්ට නොමැති බැවින් බොහෝ නිවාස පරීක්‍ෂා කිරීමේ අවස්ථාව ඇහිරී ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කායල්වීලි මහත්මිය කියා සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon