කැලණි සරසවියේ පාඨමාලා ගැටලුවේ අඛණ්ඩ පන්ති වර්ජනය ඊයේත්

  👤  1388 readers have read this article !
By mawbima 2017-04-13

උදයන්ති මුණසිංහ

මෘදුකාංග ඉන්ජිනේරු පාඨමාලාව විද්‍යාපීඨයෙන්ථ පරිගණක තාක්‍ෂණ පීඨයට අනුයුක්ත කිරීමට වගකිවයුත්තන් කටයුතු නොකිරීමට එරෙහිව අඛණ්ඩව විසි වන දිනටත් ඊයේ (12දා) පන්ති වර්ජනයේ නිරත වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉන්ජිනේරු සිසුහු පවසති.
පසුගිය 2015 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශයේ නව පාඨමාලාවක් ලෙස ඇරඹි රජයේ විශ්වවිද්‍යාලයක පවතින ප්‍රථම සහ එකම සිවු අවුරුදු ගෞරව උපාධි මෘදුකාංග ඉන්ජිනේරු පාඨමාලාව මෙය බව සිසුහු පවසති.
දැනට මෙහි විදේශීය සිසුන්ද අධ්‍යයන කටයුතුවල නිරත වන බවත් නමුත් පාඨමාලාව ගුණාත්මකව පවත්වාගෙන යෑමට සුදුසුකම් ලත් ප්‍රමාණවත් ආචාර්යවරුන් නොමැති අතර විෂය කරුණු සහ නියමිත ප්‍රායෝගික පරීක්‍ෂණ නිසි ආකාරව ක්‍රියාත්මක නොවන බවත් සිසුහු පවසති.

විශ්වවිද්‍යාලය තුළ අලුතින් ආරම්භ කරන ලද පරිගණක තාක්‍ෂණ පීඨයට මෙම පාඨමාලාව අනුයුක්ත කරන්නේ නම් ගැටලු නිරාකරණය කර ගනිමින් පාඨමාලාවේ ගුණාත්මකභාවයද වැඩිකර ගත හැකි බවත් නමුත් ආචාර්යවරුන් කිහිප දෙනකුගේ පෞද්ගලික වුවමනා මත එය සිදු නොවන බවටත් සිසුහු චෝදනා කරති.
මේ පිළිබඳව දිගින් දිගටම වගකිවයුත්තන් දැනුවත් කළ ද ඔවුන්ගෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අවසානයේ නව උපකුලපතිවරයා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ ද මේ වන තෙක් සාධාරණයක් ඉටු වී නැති බවත් සිසුහු පවසති.

දැනට අධ්‍යයන කටයුතුවල නිරත වන විදෙස් සිසුන් මෙම පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දැඩි අප්‍රසාදයකින් පසුවන අතර ඔවුන් ඒ පිළිබඳව දෙරටේ වගකිව
යුතු පාර්ශ්වයන් දැනුවත් කිරීමට සූදානම්ව
සිටින බවත් එසේ වුවහොත් එය මෙරටේ විශ්වවිද්‍යාල පද්ධතියටම විශාල කැළැලක් සිදුවිය හැකි බවත් සිසුහු වැඩිදුරටත් පවසති.
තම ඉල්ලීම් ඉටු වන තෙක් පන්ති වර්ජනය අඛණ්ඩව සිදුකරන බවත් සිසුහු අවධාරණය කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon