ක්‍රිකට් පිටියේ මායිම් ලකුණු කරමින් සිටි 8 හැවිරිදි දරුවාට අමානුෂික පහරදීමක්

  👤  1495 readers have read this article !
By mawbima 2017-04-13

අනුරාධපුර -
මහේෂ් විජේසූරිය

ක්‍රිකට් ක්‍රීඩා පිටියක මායිම් සකස් කරමින් සිටි අට හැවිරිදි දරුවකුට ක්‍රිකට් පිත්තකින් හිසට පහරදී කකුල් දෙකෙන් කරකවා වීසිකර තුවාල සිදුකර ඔහුගේ මවගේ කනට ගැසූ සිද්ධියකට සැකපිට ක්‍රිකට් තරගයට පැමිණි තරුණයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඊයේ (12දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබිණි.
පහරකෑමට ලක්වූ පාර්ශ්වයෙන් සැකකරු පිළිබඳ ලැබුණු පැමිණිලි මත අෆ්රිඩී නමින් හඳුන්වන මේ තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදුකළත් ඔහු පොලිසිය මඟහරිමින් කට්ටි පනිමින් සිටියදී ඊයේ (12දා) අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබිණි.

අනුරාධපුර පොලිස් වසමේ අසිරික්ගම ගම්බිරිගස්වැව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා පිටියක මීට දින තුනකට පමණ ඉහතදී ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සීමා ලකුණු කරමින් සිටි අට හැවිරිදි දරුවාට සැකකරු පහරදී තිබෙන බවත් සිද්ධිය වන අවස්ථාවේ ක්‍රීඩකයන් 15 දෙනකු පමණ එහි සිට ඇති බවත් පොලිසිය පැවැසුවේය.
අට හැවිරිදි දරුවා සීමා මායිම් කිරීම සඳහා ගෙනා කූරක වෙළා තිබූ පටියක් ගැලවීමෙන් කෝපයට පත්වූ සැකකරු ඔහුගේ හිසට ක්‍රිකට් පිත්තෙන් පහරදී කකුල් දෙකෙන් ඔසවා කරකවා වීසිකර තිබෙන බව පොලිසිය පැවැසුවේය.

එම සිද්ධිය දුටු දරුවාගේ මව දරුවාට පහර දුන්නේ මන්දැයි සැකකරුගෙන් විමසූ අවස්ථාවේ ඇයගේ කනටත් ගසා තිබෙන මව හා දරුවා පැමිණ කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ බව පැවැසුවේය. දරුවාට පහරදීමෙන් සිරුර මතුපිට කිසිදු තුවාලයක් නොතිබූ නිසා ඔහුව රෝහල්ගත නොකළත් පසුව දරුවා රෝගී වීම නිසා රෝහලගත කර තිබෙන බව පොලිසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (12දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධම්මිකා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon