පාස්කු දින පණිවිඩ

  👤  1402 readers have read this article !
By mawbima 2017-04-13

ජේසුස් වහන්සේගේ අසම සම ජීවිත පරිත්‍යාගය පාස්කුව තුළ සදාකල් ජීවමානයි

මිනිස් සිත් දයාර්ද්‍ර ගුණයෙන් සිහිලැල් කරවන දෙවියන්ගේ දායාදයක් වූ ප්‍රේමය මිනිස් වෙසින් මිනිසා වෙත සපැමිණි පාස්කුවේ සියලු බැතිමතුන්ට දිව්‍ය ආශීිර්වාදය ලැබේවායි ශුභාශිංසන කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පාස්කු දින පණිවුඩය නිකුත් කරමින් පවසයි.
එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

දුකෙන් ඉපිද, දුක අත්විඳින මිනිසා පාපයෙන් ගලවා ගැනීම උදෙසා ජේසුස් වහන්සේ විසින් සිදුකළ අසම සම ජීවිත පරිත්‍යාගය පාස්කුව තුළ සදාකල් ජීවමාන වේ. අතිමහත් බැතියෙන් පාස්කුව සමරනු ලබන ලෝවැසි කිතුනු ජනතාව වෙතින් පැවසෙනුයේ මනුෂ්‍යත්වය අතික්‍රමණය කර දේවත්වයට පත්වීමේ අනුත්තර වූ අනුහසක් එකී අසහාය පරිත්‍යාගය විෂයෙහි කැටපත්ව ඇති බවය.

ක්‍රිස්තුස් වහන්සේ විසින් මිනිස් සිත පාපයෙන් ගලවා ගැනීම තුළ මිනිස් සන්තානයට සදාකාලික ජීවනය උරුම විය. ස්වකීය සහෝදර ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තරම් පරිත්‍යාගශීලී වූ ක්‍රිස්තුස් වහන්සේ ඒ තුළින් මුළුමහත් මනුෂ්‍ය වර්ගයාටම පහදා දුන්නේ යමෙකු විනාශ කළ හැකි වුවද පරාජය කළ නොහැකි බවත්, දිව්‍යමය ප්‍රේමය අපරාජිත බවත්ය.

ලෝවැසි සමස්ත කිතුනු ජනතාව එදා මෙදාතුර පාස්කුව සමඟ සමරනු ලබන එකී ප්‍රේමයේ උත්තරීතර බව සෑම හදවතක් තුළම උත්කර්ෂවත් කිරීම අද දවසේ ලෝකයේ පැවැත්ම සඳහා වන ප්‍රමුඛතම සාධකය වේ.

ජනයාගේ විමුක්තිය උදෙසා කැපවන ජීවිත මරණයෙන් හෝ පරාජය කළ නොහැකිය

ක්‍රිස්තුස් වහන්සේ දුන් ජීවිතාදර්ශය අනුව යමින් සාමය ප්‍රේමය සංහිඳියාව තුළ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයක් ගොඩනැංවීම අප සැමගේ වගකීම බව සිහිපත් කර දෙන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලක්වැසි කිතුනු ජනතාවට සුබ පාස්කු මංගල්‍යයක් වේවායි පාස්කු මංගල්‍ය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි.
එම සුභාශිංසන පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

ක්‍රිස්තුස් වහන්සේ, මනුෂ්‍ය වර්ගයා වෙත විමුක්තියේ මාවත පෙන්වා දීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ලොව පහළ වූ ශේ‍ර්ෂ්ඨතම ශාස්තෘවරයෙකි.
එතුමන්ගේ ධර්ම දූත මෙහෙවර එකල පැවැති ආගමික, දේශපාලන බලාධිකරණයට අභියෝගයක් වූ නිසාම උරුම වූ කටුක දුක් විඳීම, කුරුසියේ මරණය සිහිපත් කරන චතාරික සමය ලොව පුරා කිතුනු ජනතාව යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සමඟ මහත් භක්තියෙන් මෙනෙහි කරති.
ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙහි ඇණ ගසා මරා දැමීම සිහිපත් කරන මහ සිකුරාදායින් පසු එළැඹෙන පාස්කු මංගල්‍යය තුළ උන්වහන්සේ මරණයෙන් නැඟිටීම හෙවත් උත්ථාන වීම හරසරින් සමරනු ලැබේ. මෙම උත්ථානය, ජනතාවගේ විමුක්තිය උදෙසා කැපවන අර්ථසම්පන්න ජීවිතයක් මරණයෙන් හෝ පරාජය කළ නොහැකි බවට වන හොඳම නිදසුනකි.

ජීවිත පාපයෙන් එතෙර කරගන්නට වෙර දරමු

අප ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය මඟින් සමස්ත මිනිස් සංහතියට ලැබුණු උත්ථානයේ ගැලවීමේ සදාතන ජීවිතයේ හිමිකම මඟින් අපිදු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයට අවදි වෙමු" යැයි පාස්කු සහ අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරන සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.
සිය පණිවුඩයේ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කරයි.

පාස්කුවේ මිහිර විඳින්නට සැරසෙන මුළුමහත් කතෝලික අපට ඒ මිහිරියාවේ මුසුවිය යුතු වගේම ජීවිත පැවැත්මෙන් මෙම පාස්කු අබිරහසට පංගුකාර වෙමු.
මෙවන් වූ සමාජයකටම කිතු සමිඳුන් එදා කල්වාරි යාගයේදී තම ජීවිතය පුද කරමින් කළ උතුම් ප්‍රේමයේ අගය පෙන්වා දෙමින් සත්‍යයේත් ජීවනයේත් මාර්ගය වූ කිතු සමිඳුන් දෙසට හැරී අපි ජීවිත පාපයෙන් එතෙර කරගන්නට වෙර දරමු.

එම උදාර කර්තව්‍යය අද සියලුම ආගමික හා සමාජීය කොටස් වෙතද පැවැරී ඇති මහා වගකීමකි. ඔබත් ඒ උදාර කාර්යයට මෙම පාස්කුවේදී උරදෙමු.
මෙවර විශේෂයක් වනුයේ පාස්කු මංගල්‍ය සමයත් සිංහල අවුරුදු සමයත් එකට යෙදීමය.
තවද ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යවත් වාසනාවන්ත සුබ නව වසරක් සහ සුබ පාස්කු මංගල්‍යයක් වේවායි මාගේ හද පිරි පැතුමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon