මේ ආණ්ඩුවේ ඉන්නේ වැඩ බැරි ටාසන්ලා

  👤  1375 readers have read this article !
By mawbima 2017-04-13

මහ බැංකු නිලධාරීන්ගේ රාජකාරියට බලපෑම් සිදුකරන්නේ නම් එහි හරය මූල්‍ය ධනපති පන්තිය ශක්තිමත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර පවසයි.
ඔහු මේ බව පැවැසුවේ පසුගියදා එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මහ බැංකුවේ අර්බුදය රටේ සියලු දෙනා දන්නා කරුණක් බවත් පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය අධිපති සේපාල රත්නායක පැවැසූ පරිදි ඔහුට බලපෑම් සිදුවී තිබෙන බවත් මහ බැංකුව තුළ සිටින රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් සිදුකිරීම බරපතළ තත්ත්වයක් බවත් මන්ත්‍රිවරයා පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

"මහ බැංකුව තුළ නිලධාරීන්ට හිතට එකඟව වැඩ කරන්න බැරි නම්, ඔවුන්ට බලපෑම් කරනව නම්, ඒ බලපෑමේ හරය මූල්‍ය ධනපති පන්තිය ශක්තිමත් කිරීම, එහෙම තත්ත්වයක් යටතේ අපේ රටේ උද්ධමනය ඇතිවීම කාටවත් වළක්වන්න බැහැ. මේ මහා මංකොල්ලකරුවො නැති හතුරෙක් මවා පාලා කරපු හොරකම් වහගන්න හදනවා. හොරකම් හොයන්න විධික්‍රම, නෛතික ක්‍රම තියෙනවා. නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රතිඥා දීලා බලය ගත්ත මේ යහපාලන ආණ්ඩුවේ අගමැති සහ මුදල් ඇමැති රටේ ආර්ථිකයේ කිසිදු සංවර්ධනයක් සිදු කළේ නැහැ.

රට මුහුණ පාලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මිනිසුන් අතේ සල්ලි ගැවසෙන තත්ත්වයක් නැහැ. අද රුපියලේ අගය ඉතා පහළ බැහැලා. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 3.3%කින් මේ වෙනකොට රුපියලේ අගය පහළ බැහැලා. මේ වසර අවසාන වෙනකොට තවත් 1.2%කින් පහළ බහී කියලා විශේෂඥයෝ අනතුරු අඟවනවා.
ඒ වගේම තමයි සාමාන්‍ය ජනතාවට ආදායම් ගලා ඒමේ සංවර්ධන ක්‍රියාවලියක් අපේ රටේ නැහැ. සියලු ක්‍ෂේත්‍රවල සංවර්ධනය බිඳ වැටිලා. වැවිලි ආර්ථිකයට ජනතාවට දීපු සහන නාමමාත්‍රික වෙලා. වී ගොවීන්ගේ, රබර් ගොවීන්ගේ, සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙ තත්ත්වය පහළ බැහැලා. කඩවල බඩු විකිණෙන්නෙ නැහැ. කිසිදු ක්‍ෂේත්‍රයක තෘප්තියක් නැහැ.
මුදල් ඇමැතිතුමා අය-වැය ඉදිරිපත් කරනකොට කිව්වේ පටි තද කරගන්න කියලා. දැන් අපි හැමෝටම පටිය තදකරගෙන බඩවල් වක ගහගෙන අවුරුද්ද සමරන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව හැම දේටම පාවිච්චි කරන්නෙ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගත්ත ණය. නමුත් ආණ්ඩුව බලයට පත් වුණේ රටේ ආර්ථිකය ගොඩ ගන්නවා. ණය අර්බුදයෙන් ගොඩ එනවා කියලා. දැන් බලයට ඇවිත් අවුරුදු දෙකකුත් ගෙවිලා ඉවරයි. ඒත් ආණ්ඩුව තවමත් පරණ සටන් පාඨ පාවිච්චි කරනවා තමන්ගේ වාසියට. ආණ්ඩුව, නැති සතුරෙක් මවා පාලා ඇති වෙන්න රටේ ආර්ථිකයට ගහනවා.

රටේ ආර්ථිකය පෝෂණය කරන්න ඉදිරි දැක්මක් ආණ්ඩුවට නැහැ. අලුත් නිෂ්පාදන බලවේග දියුණු කරන්න වැඩපිළිවෙළක් නැහැ. මානව සම්පත දියුණු කරලා රටේ ආර්ථිකය පෝෂණය කරන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. නැති හොරුන් මවා පාලා මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න ආණ්ඩුව උත්සාහ කරනවා.
මෙහිදී අදහස් දැක්වූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ,

අලුත් අවුරුද්ද දිහා බැලුවහම අපිට කියන්න තියෙන්නෙ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද පුස්සක් කියලා. ජනතාවට අවශ්‍ය දේවල් අරගන්න මුදල් නැහැ. ජීවන වියදම ඉතා ඉහළ ගිහින්. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර වක්‍රව බදු වැඩි කරලා. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව අරගෙන තියෙන තීන්දු නිසා තමයි ජනතාවට පීඩනයට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. අපි ඒ නිසයි මේ ආණ්ඩුවට කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වෙන්න එපා කියලා.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ හවුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනවා කියලා උසස් අධ්‍යාපන ඇමැති සඳහන් කරලා තියෙනවා. නමුත් මෙය සිදු කිරීමේදී විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍ය සභාවේ උපදෙස් සහ කොන්දේසිවලට අනුව ක්‍රියාත්මක විය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ රාජා කොල්ලුරේ,
මේ උත්සව සමයේ ජනතාවට හොඳ ආර්ථික තත්ත්වයක් නැහැ. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමා වෙනකොට ජල ගාස්තුත් ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. බඩු මිල ඉහළ ගියාට ජනතාවගේ ආදායම් ඉහළ ගිහින් නැහැ. ගොවීන්ට තමන්ගෙ අස්වැන්න විකුණාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. එළැඹෙන මැයි මාසයේ අපි සමරන මැයි දිනයේ ලොකුම ඉල්ලීම වෙන්නෙ "බඩු මිල පහළ දැමීම සහ සාධාරණ ජීවන තත්ත්වයක් ඉල්ලා සිටීම."

මෙහිදී අදහස් දැක්වූ දේශ විමුක්ති ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ජයෝදා රංග සිල්වා මහතා,
මේ ආණ්ඩුව මේ වෙනකොට මාධ්‍ය නිදහස නැති කරලා ඉවරයි. මාධ්‍ය නිදහස නැති කරලා දාලා මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුඵවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. නෑ. ඒක එහෙම වෙන්නෙ නැහැ. රනිල් අත තියලා තියෙන්නෙ වැරැදි තැනකට. සමහර රූපවාහිනි නාළිකාවලට නිදහසේ කටයුතු කරන්න රනිල් ඉඩ දෙන්නෙ නැහැ. නමුත් රනිල්ගෙ හිතවතුන් අලුතින් ආරම්භ කරපු මාධ්‍යවලට ඔවුන්ට අවශ්‍ය විදියට කටයුතු කරන්න ඉඩ දෙනවා.
ඉස්සර තිබුණු මාධ්‍ය නෙවෙයි දැන් තියෙන්නෙ. දැන් මාධ්‍යවල විවෘතභාවය වැඩියි. ජනතාවට මේ ආණ්ඩුවේ නොහැකියාව මාධ්‍යවලින් දැන ගන්න පුළුවන්. මේ වෙනකොට මේ ආණ්ඩුව වැඩ බැරි ටාසන්ලගෙ ආණ්ඩුවක් බවට පත්වෙලා.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon