විදෙස් තරුණියන් දෙදෙනකු රවටා මැණික් ගල් එබ්බූ මුද්දක් හා මාල 2ක් විකිණූ දෙදෙනාට ඇප

  👤  1375 readers have read this article !
By mawbima 2017-04-13

අමිල අබේරත්න

රිදී සහ ව්‍යාජ මැණික් ගල් යොදා නිමවන ලද 12,700ක් වටිනා මුදු දෙකක් සහ මාලයක් ඇමෙරිකානු ජාතික තරුණියන් දෙදෙනකුට තුන් ලක්ෂ අසූහත්දහසක මුදලකට විකිණීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක සේවය කළ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 2 බැගින් ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
ඉන් එක් පුද්ගලයෙක් ස්වර්ණභරණ අලෙවිසලේ කළමනාකරු වන අතර අනෙක් පුද්ගලයා එහි වෙළෙඳ සේවකයෙකි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට අනුව සහ විත්තිකරුවන්ගේ නීතිඥයන් ඉදිරිපත් කළ නීතමය කරුණු සලකා බලා මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුවන්ට ඇප නියම කරනු ලැබුවාය.

විත්තිකරුවන් දෙදෙනා පැමිණිලිකාර තරුණියන් දෙදෙනාට භාණ්ඩවලට අදාළ විකුණුම් වටිනාකම් ගෙවා නඩුව සමථයකට පත්කර ගැනීමට කැමැති බව ප්‍රකාශ කළ අතර එහිදී කොටුව මහෙස්ත්‍රාත්වරිය දැනුම් දෙනු ලැබුවේ චෝදනාව මුදල් ගනුදෙනුවක් නොවන බැවින් හා අපරාධයකට අදාළ දෙයක් වන බැවින් මුදල් ගෙවීම මඟින් නඩුව අවසන් කළ නොහැකි බවයි.

නඩුව ජුනි 27දා යළි කැඳවීමට නියමිතය.
කොල්ලුපිටිය පොලිසිය විසින් පැමිණිල්ල ගොනුකර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon