පැකට් කළ හොර අරක්කු යතුරු පැදියකින් විකිණීමට ගෙන ගිය දෙදෙනා මාට්ටු

  👤  1335 readers have read this article !
By mawbima 2017-04-13

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්
හලාවත වැලිහේන ධීවර ගම්මානය කේන්ද්‍රකර ගෙන පවත්වා ගෙන ගිය ජංගම හොර අරක්කු වෙළෙ¼දාමක් සමඟ යතුරුපැදියක් සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.

ඉරණවිල, අඹකඳවිල, වැලිහේන, මැදවත්ත ප්‍රදේශවලට යතුරුපැදියකින් එන දෙදෙනකු පැකට් කරන ලද හොර අරක්කු අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව සිදු කළ පරීක්ෂණවලින් මෙම සැකකරුවන් දෙදෙනා වැලිහේන ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක් පිටුපස කළපුව අසල කඩොලාන ගස් අතර හොර අරක්කු පෙරීම සිදු කරන බව හෙළි කරගෙන තිබිණි.

පසුව හලාවත පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් පෙරේදා (11දා) පස්වරුවේ එහි ගිය අවස්ථාවේදී සැකකරුවන් එම ස්ථානයෙහි හොර අරක්කු පෙරීමේ කටයුතු සිදු කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පෙරන අරක්කු කුඩා පොලිතින් පැකට්වල අසුරා පසුව යතුරුපැදියකින් ගමින් ගමට ගෙන යමින් ඉතාමත් සූක්ෂ්ම ලෙසින් අලෙවි කරනු ලබන බවත් මත්පැන්ලෝලීන් ඔවුන් එන වේලාව දැනගෙන මහමඟට වී සිට අරක්කු පැකට් මිලදී ගැනීමට පුරුදුව සිටි බවත් හෙළිකර ගෙන ඇත.
මෙම පෙරුම් මධ්‍යස්ථානයේ තිබී බැරල් දෙකක්, ප්ලාස්ටික් බැරල් 8ක්, පෙරුම් උපකරණ, පෙරීමට සූදානම් කර තිබූ සීනි, ඇමෝනියා, යීස්ට් හා ජලය දමා සකස් කළ ගෝඩා ඩ්‍රෑම් 17,280ක්, මත්පැන් බෝතල 85ක් අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පැවැසීය.

මෙම ජාවාරම පවත්වාගෙන යන පුද්ගලයා කලක් විවිධ අපරාධ සිදු කරමින් සිට එම කටයුතු අත්හැර හොර අරක්කු ජාවාරම සිදු කරන බව පොලිසිය කියයි.
හලාවත පොලිස් අධිකාරි සුරන්ජිත් කුමාරපේලි, හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න, කොස්තාපල්වරුන් වන කුමාර (8420) වීරසේකර (79715) යන මහත්වරු වැටලීමට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon