ලබන ජුනි මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වනවා

  👤  2912 readers have read this article !
By mawbima 2017-01-12

ආරියරත්න ගනේගොඩ

ඔරුවල - ශානිකා එදිරිසිංහ

මැතිවරණ නිර්ණය කොමිෂන් සභා වාර්තාව ජනවාරි මස 17 වැනිදා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාට භාරදීමෙන් එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට රජය අපේක්ෂා කරන විදියට ලබන ජුනි මාසයේදී පළාත් පාලන මැතිවරණය මුළු රටේ පවත්වන බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

අවුරුද්දකට කල්තබන ලද පළාත් පාලන මැතිවරණය යළිත් කල් නොදමන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහතික වූ ප්‍රධාන ඇමැතිවරයා ස්ථීර වශයෙන්ම මෙම වසරේ පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් සෑම පළාත් පාලන ආයතනයකටම තෝරාපත් කරගනු ලබන සභිකයන් සංඛ්‍යාවත්, කොට්ඨාස සංඛ්‍යාවත් ඉහළ නංවා තිබෙනවා යැයි කීය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපතිවරණයට පෙර එතුමා කිසිවකු සමඟ ගිවිසුම් ඇති කරගෙන නැහැ. එතුමා දැන් පක්ෂය වෙනුවෙන් වැඩකටයුතු කරනවා. එතුමාගේ යුතුකම වන්නේ ඊළඟ මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කරවීමයි. දැන් පොදු අපේක්ෂකයෙක් රටේ නොමැති බව මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන ඇමැතිවරයා පැවැසීය.

2015 ජනවාරි මස 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ඉටුකළේ ජනතාවගේ වුවමනාව යැයිද එදායින් පසුව යළි තරග නොකරන කතාවක් සඳහන් කළේ රටේ පොදු අපේක්ෂකයා ලෙස වුවත් අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කීවේය.

කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රධාන ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්